2023 ජනවාරි 22 වන ඉරිදා

ජාතික ජනබලවේගය ව්‍යාපාරික ක්ෂේත්‍රය හමුවෙයි

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 91

ජාතික ජනබලවේගයට එරෙහිව ඇතැම් පාර්ශ්ව ගෙන එන ප්‍රබල විවේචනයක් වන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තියේ අපැහැදිලි බවයි. ඔවුන් ජාතික ජන බලවේගය නමින් පෙනී සිටියත් තවමත් රැඳී සිටින්නේ යල් පීනූ ගිය ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ආර්ථික ප්‍රතිපත්ති මත බවටත් ඔවුන් බලයට පැමිණියහොත් කොස්, දෙල්, බතල කන යුගයකට පාර කැපෙනු ඇති බවත් යළිත් සමුපකාර පෝලිම් ඇති වන බවටත් ජාතික ජනබලවේගයට එරෙහිව මත දක්වන්නෝ කියති. ඔවුන් පසුගිය කාලය තුළදී රටේ විවිධ පෙදෙස්වලදී පැවති ජනහමුවලදී ද මුල් තැනක් ලබාදී තිබුණේ ආර්ථිකයට වඩා දේශපාලන කාරණාවලට බවද පෙනී ගියේය. එම ජනහමු වලට විශාල ජනකායක් සහභාගි වී සිටියත් ආර්ථික අහේනිය ගැන කතා කළා මිස ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කිරීමට මුල්තැනක් දී තිබුණේ නැත.

කෙසේ වුවද තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති රට හමුවේ තැබීමට දැන් කාලය එළඹ ඇතැයි ජාතික ජන බලවේගය කල්පනා කරන බවත් පෙනී යයි. ලබන 24 වැනිදා (අඟහරුවාදා) පස්වරු 5.30ට ගලධාරි හෝටලයේදී ජාතික ආර්ථික සමුළුවක් පැවැත්වීමට ඔවුන් සංවිධානය කර ඇත්තේ ඒ නිසා විය යුතුය.

මෙම සමුළුව සඳහා සියලු ව්‍යාපාරික අංශ නියෝජනය කරමින් ආයතනික නායකයන් 500කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුද පර්යේෂකයන්ද ශ්‍රී ලංකාවේ විදෙස් ආයෝජකයන්ද මේ සමුළුවට සහභාගි වන පිරිස අතරේ වෙති.

මෙම ඉහළ පෙළේ රැස්වීමේදී ජාතික ජනබලවේගය තම ආර්ථික ප්‍රතිපත්ති රාමුව රට හමුවේ තබනු ඇත. මේ සමුළුව හරහා ව්‍යාපාරික ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා ඇති කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරවලට හිතකර නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට ජාතික ජනබලවේගය අරමුණු කරගෙන සිටී.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම සමුළුව අමතනු ඇත.

තමිල්නාඩුව ''ලොකු අයියා'' කෙනෙක් - සුමන්තිරන් කියයි

රජය සමඟ මේ දිනවල ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡාවලට සහභාගී වන අතරවාරයේ දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ.) මෙරට සහ විදේශගත විවිධ සංවිධාන සමඟ එම සාකච්ඡා සම්බන්ධව අදහස් හුවමාරු කරගනිමින් සිටී. මේ සඳහා දෙමළ ඩයස්පෝරා එකතුවද සහභාගි වෙයි.

ඉකුත් සතියේදී ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් චෙන්නායිහි පැවති සංස්කෘතික උළෙලකට සහභාගී විය. එම උත්සවය සඳහා ගෝලීය වශයෙන් විසිරී සිටින දෙමළ ප්‍රජාවගේ නියෝජිතයන්ද එක්ව සිටි අතර එහි ප්‍රධානත්වය උසුලනු ලැබුවේ තමිල්නාඩු ප්‍රධාන ඇමැති එම්.කේ. ස්ටාලින්ය.

ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතාකරන ජනතාව නියෝජනය කරමින් සුමන්තිරන් එහිදී ප්‍රධාන අමාත්‍යවරයාට සිහිවටනයක් ප්‍රදානය කළේය. කෙටියෙන් කළ තමන්ගේ කතාවේදී සුමන්තිරන් ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතාකරන ජනතාවට තමිල්නාඩුව ''ලොකු අයියා'' වීමේ වැදගත්කම ගැන අවධාරණයෙන් කතා කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනයන අරගලයේදී තමිල්නාඩුවේ සහාය දිගටම ලබාදිය යුතු බවටද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ අතර ඊට පසුදිනයේම තමිල්නාඩු ප්‍රාන්ත රජය ''සේතු සමුද්‍රම්'' ව්‍යාපෘතිය ආරම්භ කරන්නැයි නවදිල්ලියේ මධ්‍යම රජයට බලකෙරෙන යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගත්තේය. මේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර නැව් මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිතය.

මේ ව්‍යාපාතිය දේශපාලනිකව සහ ආගමික වශයෙන්ද දෙරටටම මතභේදාත්මක වශයෙන් පසුගිය කාල සීමාවේදී සැලකිණි. කාලයකට ඉහතදී භාරතීය ජනතා පක්ෂ විසින් එරට අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව එම තත්ත්වය උදාවිය.

- සන්ඩේ ටයිම්ස්

මොරගොඩ - අදානි හමුවක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා ගුජරාට ප්‍රාන්තයේ සිදුකළ නිල සංචාරයක් අතරතුරදී අදානි සමාගම් සමූහයේ සභාපති ගෞතම් අදානි මුණගැසුණේය. අහමදබාද් නගරයේ ශාන්තිග්‍රාම්හි පිහිටි එම සමාගම් සමූහයේ ආයතනික නිවහනේදී මේ හමුව සිදුවිය.

එහිදී මහ කොමසාරිස් මොරගොඩ මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගත් ගෞතම් අදානි අනතුරුව සාකච්ඡාවක්ද පැවැත්විය. ශ්‍රී ලංකාව තුළ අදානි සමූහයේ ආයෝජන එම සාකච්ඡාවට මාතෘකා වී තිබිණි. එම සමාගම මගින් දැනටමත් ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ආයෝජන ආරම්භ කර තිබෙන අතර මේ සාකච්ඡාවේදී එම ආයෝජනවල ප්‍රගතිය සලකා බලනු ලැබීය.

අදානි සහ මිලින්ද මොරගොඩ මහත්වරු ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති අංශයේ ආයෝජන සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගත්හ.

- ඩේලි එෆ්.ටී.