2023 ජනවාරි 15 වන ඉරිදා

ඡන්දෙ ගැන මහින්ද සමඟ පිළිසඳරක්

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 125

මේ රටේ දෙවරක් ජනාධිපති ධුරය දැරූ දෙවරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පතේ දේශපාලන කර්තෘවරයා සමඟ සාකච්ඡාවකට සහභාගි විය. කොළඹ ස්ටැන්මෝ ක්‍රෙසන්ට් හි තාවකාලික නිල නිවෙසේදී මේ හමුව සිදුවිය. ඒ පිළිබඳ වාර්තාවේ මෙසේ ද සඳහන් වී තිබිණි.

ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ ප්‍රබල ආරක්ෂාවක් මැද ඔහු එම නිවෙසේ නිල් පැහැ ක්‍රීඩා ඇඳුමකින් සැරසී සැහැල්ලුවෙන් සුව පහසු අසුනකට බර දී සිටියේය. මෙම නිල නිවෙසේ මීට පෙර රුඳී සිටි මංගල සමරවීර වැනි දේශපාලනඥයන් සිටියදීට වඩා වෙනසක් තිබිණි. ඒ හොඳ සූදානමකින් සිටින ආරක්ෂක නිලධාරීන් සමූහයක් එහි රුඳී සිටීමය. එහි ඉදිරිපස ආලින්දයේ රුඳී සිටි කොමාන්ඩෝ භටයාගේ ඇඟිල්ල ස්වයංක්‍රීය ගිනි අවියේ කොකා මත රුඳී තිබිණි.

රාජපක්ෂ මහතා ප්‍රීතිමත් ස්වභාවයකින් සිටි අතර හැමදාමත් දුටු විහිලු තහලු කිරීමේ පුරුද්ද ඒ ලෙසින්ම ඔහු තුළ රුඳී තිබිණි. ''ඔබ කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දයට ඉදිරිපත් විය යුතු බව. මොකද වෙන්නේ නරක විදියට පැරදුණොත්?'' මම ඇසුවෙමි. ඔහු පිළිතුරු දුන්නේ ඔහුට ආවේණික ලෙස සුපුරුදු ලෙස මහ හඬින් සිනාසෙමිනි.

''අපිට ජනතාවගෙන් පලා යන්න බෑ. මම කියන්නෙ නෑ අපි පරදිනවා කියලා. පැරදුණත් ඒක පිළිගන්න අපි සූදානම්ව සිටිය යුතුයි. වඩාත්ම වැදගත් වෙන්නේ අපට වැරදුණේ කොතනද කියලා හොයාගන්න එකයි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍යයයි. අපට පලා යන්න බෑ.''

''පළාත් පාලන මැතිවරණයට අපි එක්ක එකතු වෙන්න එන ඕනෑම පක්ෂයක් අපි පිළිගන්නවා. ඔවුන්ට අවස්ථාව දෙන්න අපි කැමැත්තෙන් ඉන්නවා.'' මහින්ද රාජපක්ෂ සඳහන් කළේය. ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ ප්‍රධානම තරගකරු බවයි.

අනාගත ජනාධිපතිවරණයකදී මොකද වෙන්නේ?

''අපි අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. අපේ පක්ෂය ඒ අවස්ථාව අතහරින්නෙ නෑ. ඒ වුණත් තව බොහෝ කාලයක් තිබෙන නිසා ඒ ගැන අපි දැන්ම අවධානයක් යොමු කර නෑ.''

ආර්ථිකය විනාශ කර රට බංකොළොත්භාවයට ඇද දැමීම ගැන වගකිව යුතු අයට යෝජනා කරන්නේ මොකක්ද?

''මම ඔබට කලින් වතාවකත් කිව්වා අපි ඔක්කොම මම කියන්නේ සියලුම දේශපාලන පක්ෂ මේ තත්ත්වයට වගකිව යුතු බව. ජනතාව අතර වැරදි මතයක් නිර්මාණය කරල තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිටින අතරේ මේ තත්ත්වයට මම වගකිව යුතුයි කියලා. ඒක සත්‍යයෙන් බොහෝ ඈත දෙයක්. ඔහු කළ දේ වලට මම මැදිහත් වුණේ නෑ. ඇත්තම කිව්වොත් ගෝඨාභය දේශපාලනය ගැන දන්නෙ නෑ. ඔහු හමුදා නිලධාරියෙක්. ඔහු ක්‍රියාත්මක කළේ තමන්ගේම තීරණයි. නමුත් ඔහු එක්ක සිටි සමහරු එයාව අමාරුවේ දාපු එක අවාසනාවන්ත දෙයක්. මම නම් හිතන්නෙ නෑ ගෝඨාභය යළිත් වරක් ජනාධිපතිවරණයකට තරග කරයි කියලා.''

භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින පීඩනය ගැන විමසූ විට මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ''ඔබට කේක් එක තියාගන්නයි කන්නයි දෙකම කරන්න බෑ. එක කාලෙක අපි බදු අඩු කළා. ජනතාව ඒ වෙලාවේ අපිව විවේචනය කළා. දැන් බදු ඉහළ යනවා. ඒගොල්ලො ආපහු අපිව විවේචනය කරනවා. ඉතින් මේක සංකීර්ණ තත්ත්වයක්. ජනතාව මේ තත්ත්වය අවබෝධ කර ගත යුතුයි.''

ඔබේ දේශපාලන ජීවිතයේ ගනු ලැබූ වඩාත්ම වැදගත් තීරණය මොකක්ද?

''කිසිම සැකයක් නෑ. ඒ කොටි සංවිධානය පරාජයට පත් කිරීමේ තීන්දුවයි. මට ඒ වෙලාවේ සිදු වුණා ලෝක නායකයන් මාව සම්බන්ධ කර ගන්න උත්සාහ දැරීම වළක්වා ගැනීමට. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් කොළඹට ආවා මාව මුණගැහෙන්න. ඒ වෙලාවෙ මම නිල වැඩවලට සහභාගි වීමට ඇඹිලිපිටියට ගිහින් හිටියේ. මට කොළඹට එන්න හැකියාවක් තිබුණෙ නෑ. මාව හමුවෙන්න ඕන නම් ඇඹිලිපිටියට එන්නැයි මම ඔහුට දැනුම් දුන්නා. ඔහු ආවා. ඇවිත් කිව්වා යුද්දෙ නවත්වන්න කියලා. මම ඒ ඉල්ලීම ඉටු කළේ නෑ. දැන් බෝම්බ පුපුරන්නෙ නෑ. මිනිස්සු මැරෙන්නෙ නෑ. ඕනම කෙනකුට උතුරට හරි නැගෙනහිරට හරි යන්න පුළුවන්.''

අමාත්‍යාංශ ඇතුළේ වාහන මාෆියාවක්

තම අමාත්‍යාංශයට නිල රාජකාරි සඳහා අවශ්‍ය වාහන සපයා ගැනීමේ දුෂ්කරතා පිළිබඳ සඳහන් කරමින් කැබිනට් අමාත්‍යවරයකු රාජ්‍ය අමාත්‍යවරයාට යවන ලද ලිපියක් හේතුවෙන් අමාත්‍යාංශවල පවතින වාහන මාෆියාවක් ගැන තොරතුරු එළියට ඇදී තිබේ. ඒ අනුව අමාත්‍යවරුන්ට වඩා ඇතැම් නිලධාරීන්ට සුපිරි වාහන ලබාගැනීම වඩාත් පහසු බව සඳහන්ය.

අමාත්‍යවරයා මේ ලිපිය රාජ්‍ය ඇමැතිට යොමු කර තිබුණේ නිල වාහන ආපසු බාරදීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති එවා තිබූ ලිපියට පිළිතුරු වශයෙනි. එහි දක්වා ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තම අමාත්‍යාංශයට නිල වාහනයක් නිකුත් කර නැති බවත් තමන් කලින් සිටි අමාත්‍යාංශයේදී භාවිත කළ V-8 වාහනය අලුත් අමාත්‍යාංශයට රුගෙන ආ බවත්ය. අතිරේක ලේකම්වරියකගේ භාවිතයට ඩබල් කැබ් රථයක් වෙන් කර ඇති බවත් තවත් අතිරේක ලේකම්වරයකුට ප්‍රාඩෝ රථයක් ලබා දී ඇති බවත් සඳහන්ය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල වාහනය අලුත්වැඩියා කිරීමට සිදුව තිබුණත් පවතින තත්ත්වය යටතේ අමතර කොටස් ගෙන්වා ගැනීමට තිබෙන දුෂ්කරතා හේතුවෙන් එය සිදු කරගත නොහැකි වී තිබේ. වෙනත් වාහනයක්ද නොමැති වීම හේතුවෙන් කැබිනට් අමාත්‍යවරයා රාජ්‍ය ඇමැතිට දන්වා ඇත්තේ තමන්ට අනුයුක්ත කර තිබෙන V-8 වාහනය තාවකාලිකව රාජ්‍ය අමාත්‍යවරයාගේ පරිහරණය පිණිස ලබා දෙන බවය. ඒ අතරවාරයේ කැබිනට් අමාත්‍යවරයා ඔහුගේ මිතුරකුගේ පෞද්ගලික වාහනයක් භාවිත කරනු ඇත.

වෙනත් බොහොමයක් අමාත්‍යාංශවලද තත්ත්වය එසේම බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ ආරංචි මාර්ගයට අනුව ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හොඳම වාහන තමන්ට වෙන්කර ගන්නා අතර අමාත්‍යවරුන්ට සිදුවන්නේ ලබාගත හැකි කුමක් හෝ වාහනයක් භාවිත කිරීමටය. මේ බොහොමයක් අමාත්‍යාංශවල වාහන මාෆියාවක් ක්‍රියාත්මක බව එම ආරංචි මාර්ග කියයි.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00