2023 ජනවාරි 08 වන ඉරිදා

පන්දුවක් වූ ඡන්දය

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 148

හැත්තෑ හතේදී හයෙන් පහක ආසන බහුතරයකින් ජේ.ආර්. පිහිටුවූ ආණ්ඩුව අදත් සැලකෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් බිහි වූ ශක්තිමත්ම ආණ්ඩුව හැටියටය. ඒ ආණ්ඩුව පිහිටුවා වසරක් ගතවෙද්දී ජේ.ආර්. එතෙක් ලංකාවේ තිබූ පාර්ලිමේන්තු පාලන ක්‍රමය වෙනස් කර විධායක ජනාධිපති ක්‍රමයකට රටේ පාලනය හැරෙව්වේය. ඒ ව්‍යවස්ථාව යටතේ ජේ.ආර්. ජනාධිපති හැටියටත් යූ.එන්.පී. ආණ්ඩුව පාර්ලිමේන්තුවේත් අසීමිත බලයක් භුක්ති වින්ඳේය. කොටින්ම ඒ කාලේ රට පාලනය කෙරුණේ ජේ.ආර්. ගේ යකඩ හස්තයකින් බව පක්ෂ විපක්ෂ කාගේත් පිළිගැනීම වී තිබුණි.

එහෙම කරපු ආණ්ඩුව ඊළඟ මහ මැතිවරණයට මුහුණ දීමට නියමිතව තිබුණේ 1982 දීය. යකඩ හස්තයකින් රට පාලනය කරපු ජේ.ආර්.ට මහ මැතිවරණය ජය ගැනීම ගැන ලොකු අවිශ්වාසයක් නොතිබුණත් හයෙන් පහක බලයක් නම් නොලැබෙන බව හොඳින්ම දැන සිටියේය. මේ බව වඩාත් දැනුණේ අත තිබෙන හයෙන් පහක බලය තමන්ට රිසි පරිදි හැසිරවූ ජේ.ආර්.ගේ ගෝල බාලයන්ටය. ඇතැම් ජ්‍යෙෂ්ඨ සහ තරුණ අමාත්‍යවරුන් එහෙම නොවුණත් වැඩි දෙනකු මැතිවරණයක් පවත්වා හයෙන් පහේ බලය අතහැරීමට කැමැති වුණේ නැත. මේ පීඩනය තදින්ම ජේ.ආර්.ටද දැනුණේය. එහෙම වුණත් නියමිත මහ මැතිවරණය කල් දැමීමටද ජේ.ආර්. අකැමැති විය. මේ නිසා දේශපාලනයේ ඉතාම සූක්ෂම නායකයකු වූ ජේ.ආර්. කළේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට ව්‍යවස්ථා උප්පරවැට්ටියක් යෙදීමය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි සංශෝධනය සිදුකෙරුණේ ඒ අනුවය.

මහ මැතිවරණය වෙනුවට ආවේ ජනමත විචාරණයකි. ලාම්පු, කළගෙඩි සෙල්ලමක් වශයෙන් හැඳින්වුණු එයින් ජේ.ආර්.ගේ යූ.එන්.පිය ජය ගත්තේය. හයෙන් පහක පාර්ලිමේන්තුව තවත් අවුරුදු 05කට දීර්ඝ විය. 1982 පැවැති එම ජනමත විචාරණය ඡන්ද දූෂණ බහුලව සිදුවූ දූෂිත ඡන්දයක් බවට විපක්ෂ විසින් හංවඩු ගසනු ලැබීය. පිටතින් පෙනෙන්න තිබුණේ රටේ ජනතාවද එම තීන්දුවට හිස නමා නිහඬව සිටිනු ඇතැයි කියාය.

එහෙත් වුණේ වෙනම අතකට රට හැරීමය. ඊළඟ වසරේ එනම් 1983 දී එතෙක් උතුරේ ගිනි පුපුරු විසිවෙමින් තිබූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්ත ව්‍යාපාරය කොළඹට කඩා වැදුණේ ජාතිවාදී කෝලාහල ස්වරූපයකිනි. ඊට පසුව කොළඹ කොටි බෝම්බ පුපුරන්න පටන් ගත්තේය. තවත් අවුරුදු කිහිපයක් යද්දී දකුණ ද ත්‍රස්තවාදී ව්‍යාපාර හේතුවෙන් අඩපණ විය. උතුරත් දකුණත් ත්‍රස්ත යුද ගිනි දැල්වලින් වෙලී යද්දී වඩාත් අසරණ වූයේ රටේ ජනතාවය. හැබැයි මැති ඇමැතිලාටද ගැලවීමක් නොතිබිණි. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයෙන් කළ හැකි කෙංගෙඩියක් නොතිබිණි. අන්තිමේදී පාර්ලිමේන්තුවේත් බෝම්බයක් පුපුරා ගියේය. ජේ.ආර්.ගේ විධායක බලතලද බොරුල්ල වෝඩ් පෙදෙසේ නිවෙසට සීමා විය.

රට ඒ තරමට ව්‍යාකූල වූයේ ඡන්දය නියම කාලයේදී නොපැවැත්වීම හේතුවෙන් බවට චෝදනා නැගුණේය. ^82 දී නියමිත පරිදි ඡන්දය තිබුණා නම් ඒ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ටිකෙන් ටික සමීප වෙමින් සිටි රෝහණ විජේවීරගේ ජවිපෙට පාර්ලිමේන්තු ආසන කිහිපයක් දිනාගැනීමට අවස්ථාව තිබිණි. එහෙම වුණා නම් ඔවුන් කැලේට පැන ත්‍රස්ත වැඩ නොකර සිටීමට ඉඩ තිබිණි. උතුරේ රුඩිකල් අදහස් දැරෑ තරුණයන්ටද පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩක් තිබිණි. ඒ වගේම රටේ ජනතාවට ආණ්ඩු විරෝධය ප්‍රකාශ කිරීමට තිබූ හොඳම අවස්ථාවද අහිමිව ගියේය. එසේම යූ.එන්.පියට සිටි විශිෂ්ටම ජ්‍යෙෂ්ඨ නායකයන්ටද දිවි අහිමි විය. මේ සියල්ල රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට හේතු විය. 

එය ඉතිහාසයේ ඡන්ද කල් දැමූ එකම අවස්ථාව නොවේ. ඊට පෙර 1970 දී තුනෙන් දෙකක ජනවරමක් අතැතිව බලයට පැමිණි සිරිමාවෝගේ රජය ද 1972 සිදු කළ ජනරජ ව්‍යවස්ථාව උපයෝගී කරගෙන 1975 දී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් දැම්මේය. කල් දැමීමෙන් පසු පැවැත්වූ ඡන්දයෙන් සිරිමාවෝගේ රජයට අත්වුණේ අන්ත පරාජයකි. අන්තිමට ශ්‍රීලනිපය ද කැඩී බිඳී ගියේය. 

ඡන්ද කල් දැමීම ගැන මෑත කාලීන උදාහරණය 2015 දී රාජපක්ෂවරුන්ගේ දස අවුරුදු පාලනය පරාජයට පත් කරමින් බලයට පත්වූ යහපාලන රජය සිදු කළ පළාත් පාලන ඡන්දය කල් දැමීමය. වසරකින් කල් දැමූ එම ඡන්දය 2018 පෙබරවාරි මාසයේදී පැවැත්වුණි. ජනාධිපති මෛත්‍රීපාල සහ අග්‍රාමාත්‍ය රනිල්ගේ ආණ්ඩුවට එම පුංචි ඡන්දයේදී ලාබාල පොහොට්ටු පක්ෂයෙන් අත්වූයේ බරපතළ පරාජයකි. මුළු රටෙන්ම පාහේ යහපාලනය අතුගෑවී ගියේය. ඉන් වසර එකහමාරකට පසුව පැවති ජනාධිපතිවරණයෙන් යහපාලනය පරාජය වී යළිත් රාජපක්ෂවරු බලයට පත්වූහ.

ඡන්ද කල් දැමීමේ එකම ප්‍රතිඵලය එය කල් දැමීමට පියවර ගත් ආණ්ඩුවට අන්ත පරාජයක් අත්වීම පමණක් බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. 2018 දී බලයට පත් පළාත් පාලන ආයතන සඳහා පසුගිය වසර මුලදී ඡන්දය පැවැත්වීමට නියමිත විය. එහෙත් ඒ වන විට රට තුළ උග්‍ර වෙමින් පැවති අරගලකාරී තත්ත්වය හේතුවෙන් රජයට මැතිවරණයක් පැවැත්වීමක් ගැන හිතන්නත් බැරි විය. විශේෂයෙන් රසායනික පොහොර තීන්දුව හේතුවෙන් මුළු රටේම ගොවි ජනතාව ආණ්ඩුවට එරෙහිව යුද වැදී සිටියදී ඒ ඡන්දය තියන්න ආණ්ඩුව බය විය. රාජපක්ෂ ආණ්ඩුවල ඡන්ද පදනමේ පිට කොන්ද වී තිබුණේ රටේ ගොවි ජනතාවගේ ඡන්දයයි. ඒ වගේම සමෘද්ධි පවුල්වල ඡන්දයයි. මේ දෙකම ආණ්ඩුවේ පාලනයට විරුද්ධව යනු ඇති බවට පොහොට්ටුවේ නායකයන්ට අවබෝධ වී තිබෙන්න ඇත. ඒ නිසා ආණ්ඩුව වසරකින් පුංචි ඡන්දය කල් දැම්මේය. දැන් මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කල් දැමූ එම ඡන්දයයි.

වරක් කල් දැමූ ඡන්දයක් තවත් වරක් කල් දැමීමක් ගැන මීට පෙර අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ නැත. එසේ නම් මෙවර ඡන්දය කල් ගියොත් එසේ වන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ වගේම මැතිවරණයක් අබියස ලංකාවේ මෙහෙම දේශපාලන වාතාවරණයක් තිබෙන්නේත් පළමු වතාවටය.

ඡන්දය කල් දැමීමට තිබෙන අවශ්‍යතාව වඩාත්ම පැහැදිලිව ප්‍රකාශ කරමින් ඉන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ යූ.එන්.පී. නායකයන් සහ ඔවුන්ගේ සහායක කණ්ඩායම්ය. ඒ හැර පොහොට්ටුවේ විශාල මැති ඇමැති පිරිසක්ද ''වහෙන් ඔරෝ'' භාෂාවෙන් තමන්ගේ අකැමැත්ත ප්‍රකාශ කරමින් සිටී. ඔවුන් සියලු දෙනාම කියන්නේ මේ වෙලාවේ ඡන්දයකට වියදම් කිරීමට රටට මුදල් නැති බවය. මේ සඳහා වැය කිරීමට වෙන්කර ඇති රුපියල් බිලියන 10ක මුදල ඉදිරි කන්නයේදී වී මිලදී ගැනීම සඳහා වෙන්කර දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ. ''ඡන්දෙ තිබ්බොත් ගොවීන්ගෙන් වී ගන්න සල්ලි නැහැ'' යන්න දැන් රජයේ ලොකුම සටන් පාඨයක් බවට පත්ව තිබේ.

ඒ කෙසේ වුවත් ඡන්දය පැවැත්වීමට මුදල් නැති බව හෝ ආරක්ෂාව ලබා දීමට නොහැකි බව හෝ වෙනත් හේතුවක් හෝ යොදාගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්දය කල් දැමුවහොත් ඒ උපාය මාර්ගයම යොදාගනිමින් ඉදිරියේදී කිසිදු මැතිවරණයක් නොපවත්වා සිටීමට පාර කැපෙනු ඇතැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම පෙන්වා දී තිබේ. පොහොට්ටුවේ සභාපතිවරයා වන මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේදී ඡන්දය කල් දැමීම ඉදිරියේදී මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පවා නොපවත්වා සිටිමින් ඒකාධිපති පාලනයක් දක්වා යන ගමනක ප්‍රථම පියවර විය හැකි බවයි. ඡන්දය කල් දැමීමට විශේෂ සාධාරණ හේතුවක් නොමැති බවද සමහරු කියති.

කවුරුන් කෙසේ කීවත් අපේ රටේ පවතින පාලන ක්‍රමය තුළ රාජ්‍ය නායකයාට අවශ්‍ය නම් ඡන්දයක් කල් දැමීම හෝ නොපවත්වා සිටීම හෝ කළ හැකිය. මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වීමේ ක්‍රියාදාමය ආරම්භ කර පවත්වාගෙන ගියත් ඡන්දය පැවැත්වෙන දිනය පවා ප්‍රකාශ කළත් රජයේ නායකයන්ට අවශ්‍ය නම් එය කල් දැමීමට ගත හැකි පියවර ගණනාවක් තිබේ. ඒ පියවර කොතරම් දුරකට ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇතිදැයි කියන්න බැරි වුණත් ඊළඟට කවදා හෝ ඡන්දය තබන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නම් කල් තබා කිව හැකිය.

විපක්ෂයේ සියලු පක්ෂ බොහෝ දරට දරන මතය වන්නේ මේ අවස්ථාවේදී නියමිත පරිදි ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා නොකළොත් තමන් ඡන්දය ලබාගැනීම සඳහා ජනතාව සමඟ සටන් කරන බවය. පොහොට්ටුව මේ සම්බන්ධයෙන් දරන මතය දෙකට බෙදී තිබෙන බවද පෙනී යයි. අමාත්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද මන්ත්‍රීවරුන් පිරිසක්ද ප්‍රකාශ කරන්නේ මේ වෙලාවේ ඡන්දයක් පැවැත්විය යුතු නැති බවය. ඔවුන් පෙන්වා දෙන ප්‍රධානම කාරණය වන්නේ රටේ ජනතාව දැඩි ලෙස පීඩනයට පත්වී සිටියදී ඔවුන්ගේ සුබසාධනයට තිබෙන බිලියන 10ක මුදලක් ඡන්දයට වැය කිරීම සාධාරණ නොවන බවය. එසේම රටේ ආර්ථිකය යහපත් අතට හැරෙන තුරු ඡන්ද පැවැත්වීම සාධාරණ නොවනු ඇති බවය.

ඊට ප්‍රතිතර්ක ඉදිරිපත් කරන පිරිස පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය බංකොළොත් වූයේත් ජනතාව පීඩනයට පත්වූවේත් පොහොට්ටු ආණ්ඩුවේ තීරණ හේතුවෙන් බවය. මේ තත්ත්වයට වගකිව යුතු එම පිරිසම ඒ හේතු යොදාගෙන ඡන්ද පැවැත්වීම නොකළ යුතු යැයි ප්‍රකාශ කිරීම විහිලුවක් බවද ඒ අය කියති.

එහෙම වුණත් පොහොට්ටුවේ තවත් ප්‍රබල පිරිසක් ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේදී ඡන්දයට මුහුණ දී ලැබෙන ප්‍රතිඵලය මත අනාගත සැලසුම් හදාගැනීම වඩා වැදගත් බවය. ඊළඟ ප්‍රධාන මැතිවරණයකට මුහුණ දීමට නම් මේ අවස්ථාවේ රට තුළ තමන්ට තිබෙන කැමැත්ත විමසා බැලීම සුදුසු බව ඔවුන්ගේ මතයයි. කළුතරදී පළමුවෙන්ම පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට පියවර ගත්තේ ඒ මතය අනුව යමින් බවද පෙනෙන්නට තිබේ.

කවුරුන් කෙසේ කීවත් ජනාධිපතිවරයා නම් සිටින්නේ පළාත් පාලන ඡන්දය මේ අවස්ථාවේදී නොපවත්වා කල් දමන මතයක බව පැහැදිලිය. ඔහු ඒ මතය තහවුරු කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි පැහැදිලි නැත. පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්තගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවද ඡන්දය කල් දැමීමේ උපක්‍රමයක් බවට සජබ ජ්‍යෙෂ්ඨයෝ චෝදනා කළහ. කොහොම වුණත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කිසිම නායකයෙක් පළාත් පාලන ඡන්දය නියමිත පරිදි පැවැත්වෙන බවට පැහැදිලිව ප්‍රකාශ නොකිරීම කැපී පෙනුණේය.

ඡන්දයක් කල් දැමීමට හේතු සොයන ඕනෑම කෙනකු කල් දැමූ ඡන්දයක් පැවැත්වූ පසුව ලැබෙන ප්‍රතිඵල ගැනද හැදෑරීමක් කරනවා නම් හොඳය. බැසිල් නම් හැසිරෙන්නේ ඒ ගැන හොඳ වැටහීමකින් බව පැහැදිලිය.

I ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00