2023 ජනවාරි 08 වන ඉරිදා

ජනතාව පීඩනයෙන් ඉන්න වෙලාවක ඡන්දයකට යන්න බැහැ

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 60

- ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

  • රට දැන් තිබෙන්නේ යන්තම් හරි සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් තැනක
  • පෝලිම්වල හිරවෙලා හිටපු ජනතාවට හුස්ම ගන්න ඉඩදුන්නේ ජනාධිපතිතුමයි අපේ ආණ්ඩුවයි
  • ජනතාව කබලෙන් ළිපට වට්ටන්න සමහරු වැඩ කරනවා
  • ආධාර, ණය ගැන විතරක් අපට බලා ඉන්න බෑ
  • අරගල දිහා මම බලන්නේ සුබවාදීව
  • ධීවර ගැටලු විසඳන්න අපි සාර්ථකව පියවර ගන්නවා
  • ඕනෑම වෙලාවක පොහොට්ටුව අපි ඡන්දෙට සූදානම්
  • කැඩිලගිය අයට කළ හැකි බලපෑම ඉතා සුළුයි

විපක්ෂය කියනවා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය තියන්න යනව වගේ පෙන්නලා යටින් මැතිවරණය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ කරනවා කියල. ඔබතුමාලා ඇත්තටම කුමන්ත්‍රණයක් ද මේ කරන්නෙ?

ආණ්ඩුව කියල කියන්නේ එක පක්ෂයකින් සැදුම්ලත් කණ්ඩායමක් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපිට උපදෙස් ලැබිල තියෙන්නේ ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් වෙන්න කියලා. අපේ පක්ෂයට ග්‍රාමීය මට්ටම දක්වා විහිදිච්ච ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් තියෙනවා. මේ සියල්ලම මැතිවරණයක් වෙනුවෙන් අපි සූදානම් කරල තියෙන්නෙ. විපක්ෂය චෝදනා කළාට අපි ඕනෑම වෙලාවක කැමතියි මැතිවරණයකට මුහුණ දෙන්න. පළාත් පාලන මැතිවරණයට කළුතරින් අපි ඇප මුදල් පවා තැන්පත් කළා. මම හිතන්නේ විපක්ෂය මැතිවරණයකට සූදානමින් නොසිටීම තමා මේ කතාවලට හේතුව.

ජල ගාස්තු, විදුලි ගාස්තු, බඩු මිල, බදු සංශෝධන ඇතුළු ගොඩක් දේ වලින් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නෙ. මේ වෙලාවේ පොහොට්ටුවට මැතිවරණයක් දිනන්න පුළුවන්ද?

ඔව් අපි දන්නවා. ජනතාව ඉතාම පීඩාවට පත්වෙලා ඉන්නෙ. ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න අවස්ථාවක මැතිවරණයකට යන එක නෙවෙයි යුතුකම. මේ වෙලාවේ ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙළට මූලිකත්වය දෙන්න ඕනෑ.

නමුත් විපක්ෂය උත්සාහ කරන්නේ මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න. මැතිවරණය කල් යනවා නම් හොඳයි. නමුත් කවුරුහරි කියනවා නම් අපි මැතිවරණයට බයයි කියලා. නැහැ... අපි බය නැහැ. අපි ලෑස්තියි. අපිට හොඳ ඡන්ද පදනමක් තියෙනවා. අපි මේ මැතිවරණය දිනනවා. ගමේ ජනතාව ඉන්නේ අපිත් එක්ක. විපක්ෂයේ කයිවාරු ගහන අය එක්ක නෙවෙයි.

එක්සත් ජාතික පක්ෂය එක්ක හදනව කිව්ව සන්ධානයට මොකද වුණේ?

එක්සත් ජාතික පක්ෂය අපිත් එක්ක එකතු වෙනවාද නැද්ද කියන කාරණාව නෙවෙයි මේ වෙලාවේ වැදගත්. අපි ඕනෑම මොහොතක මැතිවරණයකට ලෑස්තියි. අපේ ප්‍රතිපත්තිවලට අපේ වැඩපිළිවෙළට එකඟ නම් ඕනෑම කෙනෙක් එක්ක එකතුවෙලා තරග කරන්න අපි ලෑස්තියි.

එතකොට තනියමද තරග කරන්නේ?

මෑතකාලීනව සන්ධාන ගතවුණ කණ්ඩායම් තමා මැතිවරණ ජයග්‍රහණ කළේ. අපට මතවාදීව සහාය දෙන පක්ෂ, කණ්ඩායම් ඕනෑතරම් ඉන්නවා. අපි ඒ හැමදෙනාම එකතුකරගෙන තමයි මේ මැතිවරණයට යන්නේ.

ආණ්ඩුවෙන් කැඩිලා ගියපු මෛත්‍රී, විමල්, ඩලස් එකතු වෙලා විපක්ෂයේ පුළුල්ම සන්ධානය හදන්න යනවා. ඒක පොහොට්ටුවට ලොකු අභියෝගයක් නේද?

නැහැ මම හිතන්නෙ නෑ. යම් සුළු ඡන්ද ප්‍රතිශතයකට බලපෑමක් කරන්න පුළුවන් ඔය පක්ෂවලට. ඒත් අපි ඉතිහාසේ ඉඳන් දන්නවා මේ රටේ ජනතාව මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ දැවැන්ත ශක්තිමත් පක්ෂයක්. ඒ නිසා ඔය කොයි කවුරු එකතුවෙලා ආවත් අපිට අභියෝගයක් වෙන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.

ඒ කියන්නේ හැට නම ලක්ෂයම පොහොට්ටුව එක්ක ඉන්නවද?

ඇතැම් අයට යම් යම් කලකිරීම් තියෙනවා. පසුගිය කාලේ සිද්ධවෙච්ච දේවල් සම්බන්ධව. ඒක මම පිළිගන්නවා. ඒත් බහුතර ජනතාව දන්නවා වසංගතය, ලෝක ආර්ථික අර්බුදය වගේ ගොඩක් දේවල් වර්තමාන තත්ත්වය නිර්මාණය වෙන්න හේතු වුණා.

ආණ්ඩුව ජනතාවට සහන දෙනවා කියලා කියනවා. අනික් පැත්තෙන්  විදුලි බිල වැඩි කරලා, බදු ගහලා ජනතාව පීඩාවට පත්කරනවා. කෝ ඔය දෙනවා කියන සහන?

ජනතාවට සහන ලබා දුන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? සමහරක් තීරණ ගන්න වෙනවා රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න. බදු ආදායම නැතුව රටක් ගෙනියන්න බැහැ. මතකද? පෝලිම්වල හුස්ම ගන්න බැරුව හිටපු ජනතාවට නිදහසේ හුස්ම ගන්න අවස්ථාව ජනාධිපතිතුමා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව නිර්මාණය කරලා දුන්නා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ යම් මිල පාලනයක් තවමත් පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන්.

අපිට මතකයි පහුගිය කාලේ වැඩි මුදලටවත් ගන්න සමහර භාණ්ඩ වෙළෙඳ පොළේ තිබුණෙ නැහැ. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. බොහෝදෙනා කතා නොකළත් පහුගිය කාලය පුරාම අඩු ආදායම්ලාභී ජනතාවට සෘජුවම ආණ්ඩුව මූල්‍යමය සහන ලබා දුන්නා.

ඒ කියන්නේ දැනට ලබාදීල තිබෙන සහන ඇති කියන එකද?

නැහැ. ජනතාවට තව සහන ලබාදෙන්න වුවමනායි. අඩු ආදායම්ලාභී පවුල්වලට තවදුරටත් සහනාධාර ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරනවා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ.
මෙතන පටු දේශපාලන වාසිගන්න පිරිසක් කටයුතු කරමින් ඉන්නෙ. ඒ අය කියන විදියට සහන දෙන්න ගියොත් නැවතත් ජනතාව කබලෙන් ලිපට වැටෙයි. අපිට ආයේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ඇති කරන්න ඕනේ නැහැ. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහන් රුසක් අපි ක්‍රියාත්මක කරනවා.

ධීවරයන්ට දෙනවා යැයි කිව්ව ඉන්ධන සහනවලට මොකද වුණේ?

ධීවරයාට තියෙන ගැටලුවලින්, ඉන්ධන කියල කියන්නේ එක ගැටලුවක් විතරයි. තවත් ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. පහුගිය කාලේ ඉන්ධන ටික ප්‍රමාණවත් පරිදි ධීවරයන්ට ලැබුණෙ නැහැ. අමාත්‍යාංශයක් විදියට මැදිහත් වෙලා ධීවර වරායවල්වලට ඉන්ධන ටික ලැබෙන වැඩපිළිවෙළ අපි හැදුවා. ලැබෙන පළවෙනි අවස්ථාවෙම ධීවරයාට ඉන්ධන සම්බන්ධ යම් සහනයක් දෙන්න පුළුවන් නම්, අපි පසුබට වෙන්නේ නැහැ. මම ධීවර කර්මාන්තය ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයෙක් විදියට ධීවරයන්ගේ දුක හොඳට දන්නවා.

මේ වෙලාවේ, ධීවර රක්ෂණය, ධීවර විශ්‍රාම වැටුප වගේ සුභසාධන කටයුතු සම්බන්ධව අවධානය ලබාදීලා අපි විශාල සාර්ථකත්වයක් අත්පත් කරගෙන තියෙන්නෙ බොහොම කෙටි කාලයක් ඇතුළත. ධීවර ගැටලු විසඳන්න ජංගම සේවා පවා අපි ස්ථාපිත කළා. පසු අස්වනු නාස්තිය අවම කර ගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙළකුත් මේ දිනවල අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

රට වටේ ආයෙත් විරෝධතා උද්ඝෝෂණ පටන් අරගෙන. වෛද්‍යවරු ඇතුළු වෘත්තීයවේදීන් බදුවලට විරුද්ධව සටන් කරනවා. ආයෙත් අරගලයකට මුහුණ දෙන්න ආණ්ඩුව සූදානම්ද?

මම අරගල දිහා බලන්නේ සුබවාදීව. එදා තිබුණු අරගලයත් සාධාරණයි. අඳුරෙ ඉන්නකොට, පෝලිම්වල ඉන්නකොට, ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නැතිකොට, ජනතාව පාරට බැහැල අරගල කරන එක සාධාරණයි. රටක් දේශපාලනිකව ඉදිරියට යන්නත් අරගල තිබිය යුතුයි. ඒ නිසා අරගලය සම්බන්ධ මට කිසි ප්‍රශ්නයක් නැහැ.

මෙතන ගැටලුව තියෙන්නේ අරගලය මුවාවෙන් බලලෝභී පිරිස් පටු අරමුණු සහිතව අවස්ථාවාදී විදිහට ක්‍රියා කිරීම. සාධාරණ හේතුත් එක්ක අවංකව අරගල කරන අයට මම කියනවා, පටු දේශපාලන වාසිගන්න පිරිස්වලින් ඈත් වෙන්න. යම් අරගලයක් නිර්මාණය වෙමින් පවතිනවා නම්, ඒකට හේතු කාරණා වෙන දේවල් සම්බන්ධව සාකච්ඡා කරල විසඳුම් ලබාදෙන්න රජයක් විදියට අපි සූදානම්.

අරගල මර්දනය කරන්න ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය මුදාහරිනව කියලා චෝදනාවකුක් තිබෙනවා නේද?

ආණ්ඩුවක් විදිහට අපි කිසිසේත්ම අරගල මර්දනය කිරීමට සූදානම් විය යුතු නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අපේ රජය එවැනි උත්සාහයක් දරන්නෙත් නැහැ. ජනතාව දැඩි පීඩනයකට ලක්වෙලා ඉන්න මේ මොහොතේ අපි උත්සාහ කරන්නේ සවන් දීමෙන්, සාකච්ඡා කිරීමෙන් ප්‍රශ්න විසඳන්න.

මේ වෙලාවේ රට තුළ සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙමින් තියෙනවා. සංචාරකයන් පැමිණෙන්න පටන් අරගෙන. ඒ නිසා අරගල විරෝධතා කරන අයටත් යුතුකමක් තියෙනවා යම් පාලනයක් සහිතව ඒ දේවල් කරන්න.

ආණ්ඩුව ප්‍රශ්න විසඳන්න හදන්නෙ ණය අරගෙන, ජනතාවට බදු පනවලද?

නැහැ. ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා. අපේ අමාත්‍යාංශය දිහා බැලුවත්, අපි කට ඇරගෙන අත්දෙක උස්සගෙන කොහෙන් හරි දෙන ණයක් දිහා බලාගෙන ඉන්නෙ නැහැ. අපි වැඩ කරනවා. උත්සාහයෙන් වැඩ කරන්න මුදල් හොයා ගන්නවා.

ආධාර ණය බදු දිහා විතරක් බලාගෙන ඉන්නවා නම් අපි අක්‍රීය ජාතියක්. අපි අලුතින් මුදල් උත්පාදනය කරන ක්‍රමවේදයක් සකස් කරන්නට ඕනෑ.

ඉතින් එහෙම වැඩපිළිවෙළක් ආණ්ඩුවට තියනවද?

ඔව්. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනවා. සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරන්න අපි සමත් වුණා. දුෂ්කර අවස්ථාවක වුණත් ආයෝජකයන් ලංකාවට ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. නව ආර්ථික ක්‍රමෝපායන් ජනාධිපතිතුමා භාවිතා කරන බව අපි කවුරුත් දන්නවා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා.

අපි හැමෝම මේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගන්න ඕනෑ. ඒ සඳහා රටේ ජනතාව විදිහටත් අපි ආකල්පමය වශයෙන් වෙනස් වීම වැදගත්. මම හිතන විදිහට මේ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආකල්පමය වෙනසක් සහ ඒකාබද්ධ ප්‍රවේශයක් ඇතිකර ගැනීම අතිශය වැදගත්.

I චමිඳු නිසල් ද සිල්වා