2022 දෙසැම්බර් 11 වන ඉරිදා

විදුලි බිලට යළිත් අත තබනු එපා

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 80

76% කින් වැඩි කළ විදුලිය බිලේ උණුසුම පහවී යාමටත් පෙර යළිත් වරක් විදුලිය බිල වැඩි කළ යුතු බවට දිගින් දිගටම ආණ්ඩුවෙන් ප්‍රකාශ නිකුත් වෙයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එළඹෙන ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩි කළ යුතු බවය. එසේ නොවුණොත් පැය 06ක සිට 08ක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවටද අමාත්‍යවරයා අනතුරු අඟවා තිබිණි.

විදුලි බිල ඉහළ දැමිය යුතු බවට දැඩිව ප්‍රකාශ කරන අතරේ අමාත්‍යවරයා මහජන උපයෝගිතා කොමිසමද විවේචනය කළේය. අඛණ්ඩ විදුලිය සැපයුමක් සඳහා රුපියල් බිලියන 423ක් මහා භාණ්ඩාගාරයෙන් විදුලිබල මණ්ඩලයට ලැබිය යුතු වුණත් එය ලබා දීමට හැකියාවක් නොමැති නිසා ඍජු බදු හෝ වක්‍ර බදු ලෙස මෙම මුදල අයකර ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා කියයි. එසේ නොවුණහොත් ලබන අවුරුද්දේ පැය 06 – 08ක විදුලි කප්පාදුවකට යාමට සියලු දෙනා සූදානම් විය යුතු බවද අමාත්‍යවරයා කියා තිබිණි.

විදුලි කප්පාදුවේ ආනිසංස නොදන්නා මැති ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ සිටිය නොහැක. මේ රටේ ලක්ෂ 69ක ජනවරමකින් පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ධුරය අතහැර යාමට බලකෙරුණු ප්‍රධානම හේතුවක් වූයේ රටේ පැය ගණන් ඉදිරියට ඇදී ගිය විදුලි කප්පාදුවයි. අග්‍රාමාත්‍යවරයාටද ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අතර ආණ්ඩුවටද යන එන මං නැති විය. මේ නිසා විදුලි කප්පාදුව නොකරන්න නම් බිල නැග්ගිය යුතු වැනි කතා ප්‍රකාශ කිරීමේදී මැති ඇමැතිවරුන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. විදුලි කප්පාදුවත් ජනතාවගේ කෝපයත් එකිනෙකට වෙලී පවතින සාධක දෙකක් බැවිනි.

ජනතාව අද හැම අතින්ම සිටින්නේ දැඩි ආර්ථික පීඩනයකිනි. පසුගිය කාලයේ සිදු කළ විදුලි බිල නැග්ගීම ද ඔවුන් දරාගත්තේ දැඩි අසීරුවකිනි. ඒ දරාගැනීම තුළ සුළු ව්‍යාපාර සිදු කරමින් සිටි ඇතැමුන්ට තම ජීවනෝපාය අහිමි විය. තවත් වරක් විදුලි බිල ඉහළ දැමීම යනු එම තත්ත්වයම ඉදිරියට ඇදී යාමකි. තවදුරටත් විදුලි බිල ඉහළ දැමුවහොත් කුඩා ව්‍යාපාර පමණක් නොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරවලද නිෂ්පාදන වියදම් අධික වීම හේතුවෙන් ඒවාද අඩපණ වීමටත් කඩා වැටීමටත් ඉඩ තිබෙන බවද සඳහන් කළ යුතුය. එවිට සිදුවනු ඇත්තේ විදුලිබල අමාත්‍යාංශය බලාපොරොත්තු වන රුපියල් බිලියන 423ක් ලැබීම නොව දැනට ලැබෙන ආදායමද කර්මාන්ත කඩා වැටීම හේතුවෙන් නොලැබී යාමය. බිල කොතරම් වැඩි කළත් ඒවා ගෙවා දැමීමට ජනතාව අතේ මුදල් නැත. මේ නිසාද සිදුවිය හැක්කේ අනපේක්ෂිත අවුලකට රට ඇදී යාමය. රටේ විදුලි පාරිභෝගිකයන්ගේ සැබෑ ආර්ථික තත්ත්වය පිළිබඳව විධිමත් හැදෑරීමකින් තොරව විදුලි බිල තවදුරටත් වැඩි කිරීම නිසැකවම අත පුච්චා ගැනීමක් වීමට ඉඩ තිබේ.
විදුලිය ඒකකයක් උත්පාදනයට සාමාන්‍ය වශයෙන් රුපියල් 56 ශත 90ක් වැය වන බව මණ්ඩලය උපකල්පනය කර තිබේ. පැය 24ම විදුලිය ලබා දෙනවා නම් විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ අඩුම තරමින් ගිගා වොට් පැය 17,55ක් උත්පාදනය කළ යුතු බවය. මේ උත්පාදනයට ජල විදුලිය සහ ගල්අඟුරු බලාගාර ධාරිතාව උපරිමව යොදාගනු ලැබුවත් අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට දැවි තෙල් සහ ඉන්ධන භාවිත කිරීම සිදුවන බවද සඳහන්ය. මේ සියලු සංඛ්‍යාලේඛනවලින් දැක්වෙන්නේ මෙරට විදුලිය උත්පාදනය ප්‍රබල කුණාටුවකට හසුවෙමින් පවතින බවය. රටේ අනාගත විදුලිය උත්පාදනයට ජල විදුලිය සහ ගල්අඟුරු බලාගාරවලට අමතරව විකල්ප බලශක්ති ක්‍රම භාවිත කිරීම සම්බන්ධයෙන් සෙසු බොහොමයක් රටවලට වඩා ඉතා දුර්වල සැලසුමක් තිබූ විදුලිබල මණ්ඩලය මේ පවතින පවතින අර්බුදයේ එක් වගඋත්තරකරුවෙක් බවද කනගාටුවෙන් වුවද කිව යුතුය.

ගිගා වොට් පැය ගණන සහ ඒකකයක් උත්පාදනයට යන වියදම පිළිබඳ ගණන් හිලව් පැවසීම පමණක් මණ්ඩලයේ කාර්යභාරය නම් ලක්ෂ ගණන් වැටුප් ගෙවා මණ්ඩලයක් නඩත්තු කිරීමෙන් පළක් නැත. වරින් වර බලයට පත්වූ ආණ්ඩු තමන් ඉදිරිපත් කළ සැලසුම් නොපිළිගැනීම මේ තත්ත්වය උද්ගත වීමට හේතුවක් බවද මණ්ඩලයේ බලධාරීහු කාලයක් තිස්සේ කියති. එය එසේ නම් විදුලිය උත්පාදනය අනාගත අවශ්‍යතාවලට සරිලන සේ ගලපා ගැනීමට පෞද්ගලික අංශය සමඟ එක්විය යුතු බවට හෝ යෝජනා කිරීමට හෝ මණ්ඩලයට හැකි විය යුතුව තිබිණි.

එහෙත් ඒ වෙනුවට තමන්ගේ වැටුප්, දීමනා සහ වරප්‍රසාද වැඩිකර ගැනීම සඳහා බලයේ සිටින ආණ්ඩු සමඟ ''එකගෙයි කෑමේ'' ප්‍රතිපත්තියකට මණ්ඩලයේ ඉහළ නිලධාරීන් තල්ලුවීම නිසා අද රටම බලශක්තිය අතින් බරපතළ අර්බුදයකට ගමන් කරමින් සිටී. එම අර්බුදය නවත්වා ගැනීමේ එකම මාර්ගය කිසිදු පාරිභෝගිකයකුට ගෙවාගත නොහැකි මට්ටමකට විදුලිය බිල වැඩි කිරීම පමණක් නම් එම වැරුද්දේ වගකීම ''එක ගෙයි කෑ'' මණ්ඩලයත් ආණ්ඩුවත් බෙදාගත යුතුය. සියල්ල සිදුවන තුරු බලා සිට ජනවාරියේ සිට විදුලි බිල ඉහළ නොදැම්මොත් පැය 06 – 08 විදුලි කප්පාදුවකට සූදානම් වන්නැයි ජනතාවට කීම ජනතාවගේ පැත්තෙන් මහත් අසාධාරණයක් බවත් පෙන්වා දිය යුතුය.

අමාත්‍යවරයා කොතරම් සංඛ්‍යාලේඛන ගෙනහැර පාමින් කරුණු පෙන්වා දුන්නත් දැඩි ආර්ථික අපහසුතා මැද කල් ගෙවන පාරිභෝගික ජනතාවට එයින් පළක් නැත. ඔවුන්ට දැනෙන්නේ ඊළඟට වැඩිවන විදුලි බිල තමන්ට කිසිසේත් දරාගත නොහැකි බව පමණි. විදුලි බිල වැඩිවීමෙන් තමන්ගේ ව්‍යාපාර අඩපණ වනු ඇති බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයද කැළඹී සිටී. මේ හේතුවෙන් ඇතැම් ව්‍යාපාර රටින් පිටට ගෙන යාමට ද ඇතැම් ව්‍යාපාරිකයෝ කටයුතු කරමින් සිටිති. මේ සාධක කිසිවක් නොසලකා හරිමින් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් එහි ප්‍රතිවිපාක දරාගැනීමට ද ආණ්ඩුව සූදානම් විය යුතුය.