2022 දෙසැම්බර් 04 වන ඉරිදා

බඩගෝස්තරවාදීන් පක්ෂයෙන් දොට්ට දැම්මා

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 95

දයාසිරි ජයසේකර - පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

  • පොහොට්ටුව එක්ක ගිහිල්ලා අපි බැට කෑව
  • සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව මෛත්‍රී ජනාධිපතිතුමාගෙ
  • සමහරු මාත් එක්ක තරහයි ඊර්ෂ්‍යයි
  • සන්ධානෙ මහලේකම් වුණාට අමරවීර ඇමැතිතුමා ව්‍යවස්ථාව කියවලා නැහැ
  • පොහොට්ටුව එක්ක ගිහිල්ලා අපි බැට කෑව
  • චාමර සම්පත් තමයි මට විරුද්ධව පාවිච්චි කරන්නෙ
  • ඡන්දය කල් දැම්මොත් අපි උසාවි යනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ දැන් යම් යම් ගැටුම් එළිපිට පේනවා. දැන් එළිපිට මරාගන්නවා. ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ පක්ෂයට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි තීන්දු තීරණ කිහිපයක් ගත්තා මධ්‍යම කාරක සභාව හැටියට. ඒ තීන්දු තීරණවලට අවනත නොවී බඩගෝස්තරවාදය වෙනුවෙන් කටයුතු කරන කට්ටියක් අන්න ඒ තීන්දුවත් එක්ක අපි පක්ෂයෙන් ඉවත් කළා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන්නත් අපි කටයුතු කළා. පක්ෂයකට විනයක් නැති වුණොත් මේ පක්ෂ සියල්ල විනාශ වෙලා යනවා. තනතුරුවලට පක්ෂ මාරු කරන්න ගත්තම පක්ෂයක් කරගෙන යන්න බෑ. පක්ෂයක විනය වැදගත්. විනයක් නැතුව පක්ෂයක් කරගෙන යන්න අමාරුයි.

අයින් කරන්න තරම් පක්ෂය විසින් ගත්ත තීන්දු මොනවද?

අපි පක්ෂයක් හැටියට ජනතාවත් ඒ මොහොතේ රටේ තත්ත්වයත් ගැන හිතලා තමයි තීරණ ගන්නෙ. අන්න ඒ තීරණ එක්ක පක්ෂයෙ අයට ඉන්න බැරි නම් පක්ෂයක් හැටියට ක්‍රියාත්මක වෙන්න වෙනවා.

ඔබේ පක්ෂයේ හිටියේ පක්ෂයට අවනත නොවන හිතුවක්කාරයෝ කණ්ඩායමක්ද?

මේ අර්බුදය 2015 ඉඳලා ආවා. ඔබට මතක ඇති පළවෙනි කණ්ඩායම හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම ගියේ. ඒ අය ඒකාබද්ධ විපක්ෂය කියලා කණ්ඩායමක් හදාගෙන ඉන්නකොට අපිට තේරුණා මේ අය පොහොට්ටුව නිර්මාණය කරන්න යන්නෙ කියලා. ඒ වගේම දිලුම් අමුණුගම එදා නුවර වේදිකාවට නැග්ගම එදාම තිබුණා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒත් එදා ගත්තෙ නෑ. එහෙම ගත්තා නම් අද මේ පක්ෂය මෙහෙම දෙකට මැද්දෙන් කැඩෙන්නෙ නෑ. අද එහෙනම් පොහොට්ටුවක් හැදෙන්නෙත් නෑ. එයාලට ඕන විදිහට වැඩ කරන්න දුන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ.

කවුද ඒ වෙලාවේ ඒ තීන්දු නොගත්තෙ?

ඒ කාලේ පක්ෂයේ මහලේකම් වුණේ දුමින්ද දිසානායක මහතා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දීලත් ඒ දේ කළේ නෑ. ඔය තත්ත්වය 2019 ඇතිවුණා. ඒ නිසා ඒ අය පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන්න ගත්තා. අන්න ඒ නිසා තමයි මේ තීරණය ගන්න වුණේ. මේ පියවර නොගත්තා නම් කට්ටියක් එක පැත්තක. තවත් කට්ටියක් තව පැත්තක ඉන්නෙ.

කවුද ඔය තීන්දු තීරණ ගන්න ඉඩ නොදුන්නෙ?

ඒ වෙලාවෙ ලේකම්වරයා හැටියට හිටියෙ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා. පක්ෂයේ නායකතුමා මේවාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කිව්වට එතුමා අවශ්‍ය පියවර ගත්තෙ නෑ. ඔය තත්ත්වය 2019 න් පස්සෙත් ඇතිවුණා. ඒ ඒ අය ඒ අයගෙ පුද්ගලික දේශපාලන න්‍යයන්වල ඉඳගෙන වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අද මේ වෙනකොට මේ තීන්දු තීරණ ගන්න සිද්ධ වුණේ. පක්ෂයේ තියෙන නීති රීති අනුව අදාළ තීන්දු තීරණ ගත්තා. 

පක්ෂ නායකතුමා අවශ්‍ය උපදෙස් ලේකම්වරයාට ලබා දී තිබියදී මේවා ක්‍රියාත්මක නොවීම යම් ආකාරයක දේශපාලන ගේම් එකක්ද?

නෑ. එහෙම ගේම් එකක් කියලා කියන්න බෑ. ඒ වෙලාවෙ ඒ දේ ක්‍රියාත්මක නොවුණා කියලා විතරයි මට කියන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත්තා නම් අද මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ නෑ. මහින්ද මහත්තයත් එක්ක කණ්ඩායමක් මුලින්ම ගියා. ඊළඟ කණ්ඩායම පස්සෙ ඉවත් වුණා. හේතුව නිසි වෙලාවෙදි නිසි තීන්දු තීරණ නොගැනීම. 

අපිට පේන සහ ඇහෙන කතා එක්ක දැනෙන දෙයක් තමයි ලේකම්වරයා වන ඔබ සමඟ ඇතිව තිබෙන ගැටලු නිසා තමයි මේ වෙන්වීම සිද්ධ වෙන්නෙ කියලා. ඇත්තටම මොකක්ද මේ ප්‍රශ්නෙ?

ඇත්තටම ඒ අයට මාත් එක්ක පුද්ගලික තරහක් තියෙනවා. පුද්ගලික ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. මම පක්ෂයට සෑහෙන්න වැඩ කරන කෙනෙක්. මම පක්ෂයෙ තනතුරු බාරගන්නකොට බිම් මට්ටමේ කිසිම සංවිධානයක් වෙලා තිබුණෙ නෑ. 2015 ඉඳන් ලේකම්වරයෙක් හිටියා. ඔහු කිසිදු පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩක් කරලා තිබුණෙ නෑ. හැබැයි සම්මේලන නම් තිබුණා ලොකුවට. පක්ෂයෙ කිසිම ප්‍රතිසංවිධානයක් නෑ. ඇත්තටම මම චන්ද්‍රිකා මැතිනියට ස්තූතිවන්ත වෙනවා එතුමියයි මමයි සෑහෙන්න පක්ෂයේ රැස්වීම්වලට සහභාගි වුණා ඒ කාලෙ. අපේ උනන්දුව තිබුණට ලේකම්වරයෙක් හැටියට ඔහුගේ කාර්යභාරය සිදුවෙන්න ඕනෙ. මම ලේකම්වරයා හැටියට පත්වුණාට පස්සෙ පුදුම මහන්සියක් වුණා පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න. අලුත් සිස්ටම් එකට හදන්න. මේක සමහර අය හිතුවෙ මම වෙන ගමනක් යන්න හදනවා කියලා. ඒත් පක්ෂයෙ නායකයෙක් ඉන්නකොට මම කොහොමද වෙන ගමනක් යන්නෙ. 

දැන් ඔය අයින් වුණු අය වැඩක් කරලා තිබුණෙ නැද්ද?

ඇත්තටම ගම් මට්ටමින් සමහර අය කිසිම වැඩක් කරලා තිබුණෙ නැහැ. ශාඛා සමිතියක්වත් හදලා තිබුණෙ නෑ. පක්ෂය නැවත ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙළක් ඔවුන් හදලා තිබුණෙත් නෑ. මේකට මූලිකම හේතු වුණේ දයාසිරි ජයසේකරත් එක්ක තියෙන වෛරය. මම ඒ අයට වෛර කළේ නෑ. පුළුවන් තරම් ඒ අයත් එක්ක වැඩ කළා. මම වැඩ කරපු නිසා තමයි ඒ අයට මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒ නිසා ඔවුන් දිගින් දිගටම කිව්වා මාව ඉවත් කරන්න කියලා. 

ඔබ එකපාරක් මා සමඟ සම්මුඛ සාකච්ඡාවකදි කිව්වා ඔබට තර්ජන පවා තියෙනවා කියලා. දැන් ඒ තර්ජන නැද්ද?

මට නම් එහෙම තත්ත්වයක් දැන් නෑ. මම මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන යනවා. 

ඔබේ මහලේකම් තනතුරටත් යම් ආකාරයක සටනක් තිබුණද කට්ටිය අතර?

මහලේකම් තනතුරට එහෙම තරගයක් තිබුණෙ නෑ. කට්ටියට මාත් එක්ක ඊර්ෂ්‍යාවට මාව ඉවත් කරන්න කියන ඉල්ලීම තමයි තිබුණෙ. 

සමහර අය චෝදනා කරනවා ඔබ බලය ලබාගෙන පක්ෂයේ නායකයා වෙන්න උත්සාහ කරනවා කියලා. ඒක ඇත්තද?  

ඒක අමූලික බොරුවක්. මම මොකටද නායකයා වෙන්න හදන්නෙ. මගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මම එතුමාට පිටින් වැඩ කරලා නෑ. අදටත් කරන්නෙත් නෑ. හැබැයි මේ පක්ෂය හරි තැනට ගේන්න අවශ්‍ය කටයුතු එතුමත් එක්ක සාකච්ඡා කරලා කරනවා. 

දුමින්ද දිසානායක කියන්නෙ ඔය යන්න හිටිය අය එක්ක බලද්දි කිසිසේත්ම යන මුහුණුවරක් තිබුණ කෙනෙක් නෙමෙයි. අද ඔහුත් ගිහිල්ලා. මොකක්ද ඔහුගෙ නික්ම යාමට හේතුව?

ඒ ගිය කට්ටියගෙ ලයින් එකේම තමයි එතුමත් ඉන්නෙ. එතුමටත් ඇමැතිකමක් ගැනීමේ වුවමනාවක් තියෙනවා. එතුමට මාත් එක්කවත් මට එතුමත් එක්කවත් ප්‍රශ්නයක් නෑ. 

ඔබලා තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ. අන්තිමට ඔබලම යන්නෙ නෑ කියලා තීන්දු කළා. හැබැයි නිකම් හරි යන්න එකඟ වුණා නම් අද හැමෝම ආණ්ඩුවට වෙලා පක්ෂයත් රුකගෙන ඉන්නවා නේද?

සර්ව පාක්ෂික ආණ්ඩුව සංකල්පය යෝජනා කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඒ සඳහා වැඩපිළිවෙළකුත් එතුමා සූදානම් කළා. නමුත් අපේ පාක්ෂිකයන්ගෙ ඉල්ලීම තිබුණෙ ආණ්ඩුවට එකතු වෙන්න එපා කියලා. ඒ වගේ මොහොතක අපේ මන්ත්‍රී කණ්ඩායමේ තීන්දුවට එකඟවෙලා අපිට යන්න බෑ. අපේ පාක්ෂිකයොයි අපිට වටින්නෙ. අපි එක පාරකුත් පොහොට්ටුවත් එක්ක එකතුවෙලා විශාල වශයෙන් බැට කෑවා. ඒ නිසයි මේ අය ආණ්ඩුවට එකතු වුණාට පාක්ෂිකයො එකතු නොවුණේ. ඒ නිසා පක්ෂයක් හැටියට විපක්ෂයෙ ඉඳන් කටයුතු කරන්න අපි එකඟ වුණා. මධ්‍යම කාරක සභාවෙ ඒ වෙලාවෙ දාහතර දෙනෙක් හිටියා. අපි ආණ්ඩුවට යන්න තීන්දු කළා නම් එතකොට ඒ මතය ඒ දාහතර දෙනාගෙ විතරක් වෙනවා. 

මේ ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් ඒ තීරණය ගන්න ඕනෙ කියලා මධ්‍යම කාරක සභාවෙ කීයක් එකඟ වුණාද?

ඔක්කොම එකඟ වුණා. 

මේ ප්‍රශ්නෙදි අපි දැක්කා චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමැතිවරයා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා ඔබට. මොකක්ද මේ ප්‍රශ්නෙ?

එයාව තමයි දැන් මට එරෙහිව පාවිච්චි කරන්නෙ. කණ්ඩායමේ ඉන්න කට සවුත්තුම මිනිහව පාවිච්චි කරන එක ලේසිනෙ. මෝඩයා වගේ කියවන එක තමයි එයා කරන්නෙ. 

මේ ගන්න තීන්දු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා එකඟද?

අපි එකතු වෙලානෙ තීන්දු ගන්නෙ. එතුමත් ඉන්නෙ ඒ මතයෙම තමයි. 

මෙහෙම අයින් කරලා අයින් කරලා පක්ෂයක් ඉතුරු වෙයිද?

පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් අඩු වුණා කියලා අපේ ගම ඇතුළෙ සංවිධාන ජාල කඩා වැටෙන්නෙ නෑ. මම වුණත් පක්ෂයට වැඩ නොකළොත් පාක්ෂිකයො මාත් එක්ක ඉන්නෙ නෑ. මීට වඩා පක්ෂය කඩා වැටුණු අවස්ථා තියෙනවා. හැබැයි ඊට පස්සෙ පක්ෂය ඉහළට ආවා. 

අපි දන්නවා පොහොට්ටුවෙන් ඉවත් වුණු පිරිසක් ඉන්නවා මේ වෙද්දි පාර්ලිමේන්තුවෙ. ඒ අය කාලයක් හොඳ ශ්‍රී ලංකාකාරයො. ආරංචියක් තියෙනවා ඒ අයත් එක්ක ආයෙ සාකච්ඡාවක් යනවා කියලා අලුත් සන්ධානයක් හදන්න. ඒක ඇත්තද?

අපි ඔවුන් සමඟ සාකච්ඡා කරමින් යනවා. පක්ෂය කෙසේ වෙතත් යම් එකඟතාවයක් උඩ වැඩ කරන්න. ඒක සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා.

මොකක්ද මේ ඔබලා හදන්න යන අලුත් සන්ධානෙ. කවුද ඒකෙ නායකයා?

අපි හැමදාම කළේ ප්‍රතිපත්ති දේශපාලනය. ඒ උඩ තමයි අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා පක්ෂයකට වඩා නායකයකුට වඩා අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති මත ගොඩනැගුණු සන්ධානයක් තමයි අපි අනාගතයෙදි බිහි කරන්නෙ. 

කවුද ඒ පක්ෂයෙ නායකයා?

එහෙම නායකයෙක් නැහැ. මොකද පක්ෂ ගොඩක් එකතු වෙනවනෙ. එතකොට ඒ සියල්ලන්ගෙම එකඟතාවය මත තමයි නව නායකයෙක් තෝරාගන්න ඕනෙ. 

සජිත් ප්‍රේමදාස පුමුඛ සමගි ජන බලවේගය සමඟ යම් දේශපාලන ගමනක් යන්න එකඟතාවයක් තියෙනවද?

පාර්ලිමේන්තුවෙ ප්‍රධාන විපක්ෂය හැටියට එතුමලත් එක්ක අපි ගනුදෙනු කරනවා හැර එකතුවෙලා දේශපාලන ගමනක් යන්න කිසිදු අදහසක් අපේ නැහැ. හැම වෙලාවෙම ඔවුන් සහ අපි අතර තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ පොදු විපක්ෂ එකඟතාවයක් විතරයි. එහෙම නැතුව ඔවුන් එක්ක ඡන්දය කරන්න අදහසක් නැහැ.

මේ වෙනකොට ලොකු කතාබහක් යනවා පළාත් පාලන මැතිවරණය කල් දාන්න යනවා කියලා. එහෙම කල් දැම්මොත් ඔබලා මොකද කරන්නෙ?

මැතිවරණය කල් දාන එක අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. පක්ෂ 21 ක් අත්සන් කරලා මැතිවරණ කොමිසමට අපි ලිපියක් බාරදීලා තියෙන්නෙ මැතිවරණය තියන්න කියලා. දැන් මේ වෙනකොට අවුරුද්දක් කල් දාලා තියෙන්නෙ. තවත් කල් දාන්න බෑ. මැතිවරණ කොමිසමට අයිතියකුත් නෑ කල් දාන්න. හැබැයි ආණ්ඩුව උත්සාහ කරනවා කල් දාගන්න. ඒ අභියෝගයටත් අපි මුහුණ දෙන්න ලෑස්තියි. එහෙම වුණොත් අපි අධිකරණයට යනවා. 

අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න තියෙන්නෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හැටියට තිලංග සුමතිපාල පත් කළා. හැබැයි හිටපු ලේකම් මහින්ද අමරවීර කියලා තිබුණෙ ඔහු තමයි තවම පක්ෂයේ ලේකම් කියලා. මොකක්ද මේ අවුල?

ආණ්ඩුවට වුවමනා කරලා තිබුණා ආණ්ඩුවටත් වඩා අගමැතිතුමා වුවමනා කරලා තිබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය අක්‍රිය කරන්න. ඒකට පාවිච්චි කළේ අපේ මහින්ද අමරවීර ඇමැතිතුමා. අපේ රුස්වීමට එන පක්ෂ ටික නවත්වන්න පවා කටයුතු කළා. ඒ අවශ්‍ය ලිපි අත්සන් කළෙත් අගමැතිතුමාගෙ කාර්යාලයේදි. නමුත් ඒක වුණේ නෑ. පක්ෂ ටික ඇවිල්ලා අපි රුස්වීම තිබ්බා. සන්ධානයේ ලේකම් වුණාට මහින්ද අමරවීර ඇමැතිතුමා සන්ධානයේ ව්‍යවස්ථාව තාම කියවලා නෑ. ඒක තියෙනවා විසිඑක් දෙනෙක් අත්සන් කරලා පක්ෂ නායකයගෙන් රුස්වීමක් ඉල්ලුවොත් ඒක තියන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි අපි වැඩ කටයුතු කළේ.

I ගයාන් ගාල්ලගේ