2022 නොවැම්බර් 27 වන ඉරිදා

පාසල් දරුවන් ’’අයිස්’’ වලින් බේරාගත යුතුයි

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 176

අයිස් ගහන එක එක්තරා කාලයක මේ රටේ රාජ්‍ය සේවයේ සුප්‍රකට කියමනක් වී තිබිණි. බොහොමයක් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවල පිරිසක් රාජකාරි කරද්දී තවත් පිරිසක් හිටියේ අයිස් ගහමිනි. එසේ වැඩ රාජකාරි මගහැර තේ, සිගරුට් බොමින් කාලය ගත කර නිකම්ම ගෙදර යන රාජ්‍ය සේවකයන් හැඳින්වුණේ අයිස් ගහන කට්ටිය කියාය. කාලයකට පසුව ඒ අයිස් කතාව නිකම්ම යට ගියේය.

මේ කාලයේත් අයිස් ගහන කට්ටියක් බිහි වී සිටිති. එහෙත් පරණ කාලයේ අයිස් ගැහිල්ලත් වර්තමානයේ අයිස් ගැහිල්ලත් අතර අහසට පොළොව මෙන් වෙනසක් තිබේ. මේ කාලයේ අයිස් ගහන්නේ මත්වීම සඳහාය. කොටින්ම දැන් අයිස් යනු ශරීරයට ඉතා විෂ සහිත මත්ද්‍රව්‍යයකි. මේ අයිස් ගැහිල්ලෙන් සිදුවන්නේ දැන දැනම මරණය ළඟා කර ගැනීමකි. එසේ වුවත් පහසුවෙන් ලබාගත හැකි මට්ටමට වත්මන් අයිස් ජාවාරම පැතිරී තිබීමෙන් මේ රටේ මත්ලෝලී තරුණයන් අතරේ අයිස් භාවිතය භයානක මට්ටමින් වැඩිවෙමින් තිබේ. එහි වඩාත්ම භයානක තත්ත්වයක් පෙන්වා දෙමින් පාසල් තුළටද මේ අයිස් ජාවාරම ටිකෙන් ටික පැතිරෙමින් තිබෙන බව හෙළි වී තිබේ.

රටේ පාසල් පද්ධතිය තුළ කොතරම් දුරකට මේ තත්ත්වය විහිදී තිබේදැයි තවම සොයාගෙන නැත. එහෙත් ලැබෙන ආරංචි අනුව පැහැදිලි වන්නේ කිසියම් සංවිධානාත්මක පිරිසක් හෝ පිරිස් කිහිපයක් එක්වී පහසුවෙන් මත්ද්‍රව්‍යවලට ගොදුරු කරගත හැකි වයසේ සිටින යොවුන් දරුවන් ඉලක්ක කර ගනිමින් අයිස් ජාවාරම මෙහෙයවන බවය. මේ වනවිට අයිස් ගහන සහ අයිස් විකුණන පාසල් දරුවන් පිළිබඳ වාර්තා වන්නේ සංඛ්‍යාත්මකව සුළු වශයෙන් විය හැකි වුවද එය පුළුල්ව පැතිරිය හැකි වසංගතයක් වන ලකුණු පහළ වෙමින් තිබෙන බවද දැනගන්නට තිබේ. පාසල් බලධාරීන් වහාම පවතින තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිමින් එම උවදුර වළක්වා ගැනීමට හැකි හැම උත්සාහයක්ම දැරිය යුතුය. ඒ සඳහා සියලු මව්පියන්ගේත් ගුරුවරුන්ගේත් සහාය ලබා දීමද සිදුවිය යුතුය. ඒ සමඟ පාසල් දරුවන්ද අවශ්‍ය පමණින් දැනුවත් කර ඔවුන් මත්ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන් ඈත්කර තැබීමටද පියවර ගැනීම අවශ්‍යය.

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විවිධ මට්ටමින් පාසල් පද්ධතිය තුළට රිංගවා ගැනීමේ උත්සාහයන්ට වැට බැඳීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලින් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අපගේ (දේශය) පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් කියැවෙයි. එවැනි මෙහෙයුමක් දියත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීමෙන් පෙනී යන්නේ පාසල් පද්ධතිය අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ උකුසු ඇසට ඉලක්ක ගතවී තිබෙන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවය. පාසල් සිසු දරුවන්ට අනවශ්‍ය ආකාරයට සමීප වීමට උත්සාහ දරණ නාඳුනන පුද්ගලයන් හරහා බොහෝ දුරට මේ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. එසේම මෙකී ජාවාරමට හවුල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ගේ දරුවන් පවා පාසල් තුළ තම ජාවාරම් මෙහෙයවීමට යොදාගැනීමේ අවස්ථාද තිබෙන බවත් දැන සිටිය යුතුය. මේ අපරාධකරුවන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම ජාවාරම පුළුල් කර ගනිමින් අසීමිත ධනයක් උපයා ගැනීම පමණි. ඒ සඳහා පාසල් දරුවන් යොදාගැනීම ඔවුන්ට ටොයින් වැඩකි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලකදී මේ තරම් දුරකට රට පුරා ව්‍යාප්ත වෙමින් පාසල් පද්ධතියද ආක්‍රමණය කරන තත්ත්වයකට මග පෑදුණේ මෙතෙක් කාලයක් (අයිස්) යනු මත්ද්‍රව්‍යවලට අදාළ චෝදනා යටතේ අපරාධ නඩු පැවරිය නොහැකි භාණ්ඩයක් වූ බැවිනි. අයිස් ළඟ තබාගැනීම සහ විකිණීමට අදාළව පමුණුවන දඬුවම සුළු දඩ මුදලකට සහ සිර දඬුවමකට පමණක් යටත් වන වරදක් වීම හේතුවෙන් අයිස් විශාල ලෙස පැතිරීමට ඉඩකඩ විවර වී තිබිණි. නමුත් පසුගියදා බලාත්මක කෙරුණු විෂ මත්ද්‍රව්‍ය නව පනත යටතේ හෙරොයින්, කොකේන්, හෂීස් වැනි භයානක මත්ද්‍රව්‍ය ආකාරයටම අයිස්ද නම් කරනු ලැබ තිබේ. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සන්තකයේ තබාගැනීම ඕනෑම අයකුට මරණීය දණ්ඩනය නියම කිරීමට තරම් වරදක් බවට පත්කර ඇත. පාසල් දරුවකුට වුවද මේ නීතිය එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන්ය.

අයිස් මත්ද්‍රව්‍ය කොතරම් විනාශකාරී වුවද මීට පෙර හෙරොයින්වලට මෙන් දැඩි දඬුවම් නියම නොකිරීම හේතුවෙන් රට පුරා අයිස් ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. කෘත්‍රිම රසායන ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් නිෂ්පාදනය කෙරෙන අයිස් භාවිතයට ගැනීම දවසින් දවස මරණය සමීප කර ගැනීමක් බවත් එයට ඇබ්බැහි වී වසර කිහිපයකදී ඕනෑම අයකු මරණයට පත්වන බවත් වෛද්‍යවරුන් පවා පසුගිය කාලය තුළ වරින් වර ප්‍රකාශ කර තිබිණි. විෂ, විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ සංශෝධන පනත් කෙට්මුපත බලාත්මක කිරීම භයානක මට්ටමින් අයිස් මත්ද්‍රව්‍ය පාසල් තුළට ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමක් වශයෙන් සලකා අත සෝදාගැනීමට පාසල් බලධාරීන්ට ඉඩක් නැති බවද ඒ සමඟ සඳහන් කළ යුතුය. නිරන්තරයෙන් පාසල් පද්ධතිය නිරීක්ෂණය කරමින් අයිස් ජාවාරම දියකර හැරීමට පියවර ගැනීමකින් තොරව මේ මහා ව්‍යසනය මර්දනය කළ නොහැකි වනු ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම දේශපාලනය සමඟ ගහට පොත්ත මෙන් ඇලී තිබෙන්නකි. මේ ඇතැම් ජාවාරමුන් මැති ඇමැතින් සමඟ ද අත්වැල් බැඳගෙන තම ජාවාරම් මෙහෙයවන බවත් තමන්ගේ ගෝල බාලයන් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටු වූ විට ඔවුන් නිදහස් කරන මෙන් පොලීසියට බලපෑම් කරන්නේ එම දේශපාලකයන් හරහා බවත් ප්‍රකට රහසකි. පොලීසියේ ඉතා සුළු පිරිසක්ද මේ ජාවාරමට සම්බන්ධය. පාසල් දරුවන්ට අයිස් අලෙවි කරන ගෝල බාලයන්ද නිදහස් කර හැරීමට එසේ බලපෑම් කරන දේශපාලකයන් සිටී නම් ඔවුන් කරන්නේ මහා පාප කර්මයක් බවත් සඳහන් කළ යුතුය. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00