2022 නොවැම්බර් 27 වන ඉරිදා

කුමාර් ගුණරත්නම් එක්ක ගිය සජිත්ට ලැබුණෙ හූවක් විතරයි

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 160

- සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

  • වැටෙන්න ගිය රට බේරාගන්නයි ආණ්ඩුවට ගියේ
  • මම ස.ජ.බට වැඳල කිව්ව අභියෝගය භාරගනිමු කියල
  • සජිත් මහත්තය මන්ත්‍රීවරු දාල මට ගස්සනව
  • සර් ෆේල් සජිතුත් ෆේල්
  • මම රාජපක්ෂල එක්ක ගියේ නැහැ
  • විපක්ෂයට පුළුවන් නම් අයවැය පරද්දන්න කියන්න
  • මගේ ප්‍රචාරක වැඩ නිසයි සජබය ඡන්ද ගත්තෙ

ඕනෑම පුද්ගලයෙක් තමන් කරන කියන දේ ගැන තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. තමන් කරන දේ සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. මම ඔබෙන් අහන්නේ ඔබ ගත්ත මේ දේශපාලන තීන්දුව ගැන මේ වෙද්දී තෘප්තිමත්ද?

මම මේ දේශපාලන තීන්දුව ගත්තේ රට වෙනුවෙන්. මට බැනලා පුංචි පැංචිගේ බෝඩ් එල්ලන් හිටියට මම ඒ මොහොතේ මේ අභියෝගය ගන්නකොට අන්තිම සංචාරකයත් මේ රටෙන් යන්න හිටිය වෙලාවක්. විශේෂයෙන් හිටිය ජනාධිපතිවරයා එලවන්න ජනතාව පාරට බැහැලා ඉන්න මොහොතක මම මේ අභියෝගය ගත්තේ මගේ රට වෙනුවෙන්. ඒ වෙද්දී එක සංචාරකයෙක් මේ රටට එන්න බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. ඒත් මම අරගෙන මාස දෙක තුනක් යද්දී යම් සාධනීය වර්ධනයක් සංචාරක ක්ෂේත්‍රය තුළ වුණා. ඒ ගැන මම තෘප්තිමත්. ඒත් තව විශාල වැඩ කොටසක් තියෙනවා සංචාරක ක්ෂේත්‍රයේ වෙනස්කම් කරන්න.

අපි දන්නවා දේශපාලකයෙක් තීන්දු ගන්නේ තමන්ගේ දේශපාලන අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන. දැන් ඔබ ගත්ත දේශපාලන වෙනස ගැන සමහර අය කියන්නේ හරීන්ගේ දේශපාලනය ඉවරයි කියලා. මට කියන්න ඔබේ දේශපාලන ඉලක්කය මොකක්ද දැන්?

මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අමු අමුවේ මහපාරේ ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනවා. මම දැක්කා ගෙදර හුරතලයට හදන බල්ලෝ ගින්නට දාලා පුච්චනවා. ඒ වගේම ඒ වෙලාවේ රට තුළ ම්ලේච්ඡත්වය ඉහළට එසවමින් තිබුණේ. පැවති ආණ්ඩුවට එරෙහිව මමත් කතා කළ, සටන් කළ කෙනෙක් නිසා ඒ සිදුවීම් දැක්කට පස්සේ මම පුදුම කලකිරීමකට පත්වුණා. මට යම් වගකීමක් ඒ මොහොතේ තියෙනවා කියලා හිතුවා. මගේ දේශපාලනය කොතනින් ආරම්භ කරලා කොතනින් අවසාන කරනවද කියලා මම හිතුවේ නෑ. ඒ වෙලාවේ මම වැඩකළේ මගේ හෘද සාක්ෂියට අනුව. මට කවුරුත් හිටියේ නෑ මේ තීරණය ගද්දී. මට හිතවත් ගොඩක් අය කිව්වේ මම දේශපාලනමය වශයෙන් සියදිවි හානිකරගන්න යන්නේ කියලා. හැබැයි මම කවදාහරි විශ්‍රාම ගියාම තේ කෝප්පයක් බොනගමන් කල්පනා කරන්න පුළුවන් නම් එදා වැටෙන්න ගිය රට වෙනුවෙන් මම සියල්ල අත හැරදාලා පෙනී සිටියා නේද කියලා, ඒක තමයි මගේ සංසාර පැතුම.

ඔබ එක් වතාවකදී එජාපය ගොඩදානවා. පස්සේ කඩාගෙන යනවා. ඊටපස්සේ සජබය හදන්න මහන්සි වෙනවා. ඊටත් පස්සේ සජබය දාලා යනවා. ඔබ දේශපාලන ගේම් එකක්ද මේ කරන්නේ?

මම ඇත්තටම තීන්දු තීරණ ගන්නේ හරිම සංවේදීව. විශේෂයෙන් රට ගැන හිතලා. විශේෂයෙන් තෙල් නැතුව මිනිස්සු පෝලිම්වල ඉන්නකොට, පාසල් වැහෙනකොට, කන්න නැතුව ඉන්නකොට, මමත් මේ පාර්ලිමේන්තුවේම කෙනෙක් කියලා හිතුණ නිසයි කිසිම ලාබ ප්‍රයෝජනයක් ගැන නොහිතා මේ තීන්දුව ගත්තේ. මම සජබයට කාරුණිකව වැඳලා ඉල්ලුවා අපි මේ අභියෝගය ගමු කියලා. ඒ වෙලාවේ රට තිබ්බේ ඝන අඳුරේ. ඒ නිසා මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණාමත් අපි සටන් විරාමයකට ගිහින් මේ රට ගොඩනගන්න එක්වෙමු කියලා.

ඔබ සජබය කඩන්න කොන්ත්‍රාත් එකක් කළා නේද?

කිසිම විදිහකින් සජබය කඩන්න වැඩ කළේ නෑ. එහෙම ඕනනම් මනූෂ නානයක්කාර විතරක් එන්නේ නෑ. ගොඩක් අය හිටියා මම ගත්ත තීරණය හරි කියන තැන.

දැන් ඉතිං සජබයෙන් නිතරම ප්‍රහාර නේද?

නෑ. මම දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා මගේම සහෝදර මන්ත්‍රීවරු දම්මලා මට ගස්සන බව. මම කිසිසේත් ඒවට සැලෙන්නේ නෑ. හේතුව ඔහුගේ දේශපාලන දර්ශනයයි, මගේ දේශපාලන දර්ශනයයි දෙකක්. ඔහු අභියෝග බාරගන්න අකමැති නායකයෙක්. මම අභියෝග බාරගන්න කෙනෙක්. ඒ නිසා අද මට ප්‍රහාර එල්ලකරන සහෝදර මන්ත්‍රීවරුන්ට තේරෙයි කවුද හරි කියලා.

දැන් සජිත් ප්‍රේමදාස එක්ක තරහද?

අනේ නෑ. අදටත් ඔහු මගේ සහෝදරයෙක් වගේ. අපි ඇසුරු කළේ එහෙම. ඒත් පක්ෂයේ සාමාජිකයකු ලෙස අපි කියන දේට වටිනාකමක් නැත්නම් මම මගේ තීරණය අරන් අයින් වෙන එක හොඳයි අනාගතයේ මොන දේ වුණත්.

අද ඔබ අරගලය ගැන කලකිරීමෙන් කතා කරන්නේ. ඒත් ඉස්සෙල්ලම ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණය කරන්නේ. ඔබයි මනුෂ නානයක්කාරයි ?

ගෝඨා ෆේල් කියලා, ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් වූ කලකිරීම තමා එදා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපි පෙන්නුවේ. ඒ වෙලාවේ මම කිව්වා මාස තුනකින් මේ ආණ්ඩුව පෙරළනවා කියලා. මොලේ තියෙන ඕන කෙනෙක්ට ඒක ගැන හිතන්න පුළුවන් මම කළ දේ. ඒ නිසා මට ඔය ගහන මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලන්නේ, බලන්න මගේ දිහා, මම කරන වැඩ දිහා කියලා.

ඔබ තමා වැඩියෙන්ම රාජපක්ෂවරුන්ට ගැහුවේ. එහෙම ගැහුව ඔබ අවසානයේ රාජපක්ෂ කණ්ඩායම එක්ක හිටගන්නවා. මොකක්ද එහෙම හිටගන්න තියෙන පදනම?

සාමාන්‍යයෙන් දේශපාලකයෝ එහෙටයි මෙහෙටයි පනින අත්දැකීමක් අපිට තියෙන්නේ. මම ගත්ත තීරණය සම්බන්ධයෙන් අවබෝධ කරගන්න කාටවත් තවම බෑ. මම රාජපක්ෂලට විරුද්ධව කතා කළා. හරි, දැන් මට කියන්න මම රාජපක්ෂලාගේ සහයෝගයට කොයිහරි තැනක කතා කරලා තියෙනවද කියලා. නෑ. මම කතා කළේම මේ රට හදන හැටි, ගොඩනගන හැටි. මම තීරණය ගන්නේ ප්‍රතිපත්තිමය කාරණා එක්ක. අනික මම රාජපක්ෂලා එක්ක ගියේ නෑ. මම ගියේ මගේ හිටපු නායකයා බාරගත්ත අභියෝගයට සහාය දෙන්න.

දැන් මේ ඇමැතිකම නැතිවුණදාට මොකද කරන්නේ?

මේ තනතුරු සියල්ල තාවකාලිකයි. මගේ අරමුණ මගේ ජොබ් එක හරියට කරන එක. ඒක කළාට පස්සේ මගේ පෞද්ගලික ගමන මම එදාට තීරණය කරනවා.

දැන් ඔබේ අරමුණ මොකක්ද?

ඇත්තටම මේ වෙලාවේ අපේ රටට ලොකුම ආදායම ගේන්නේ සංචාරක කර්මාන්තය. ඒ කර්මාන්තය නැවත වෙනම කන්සෙප්ට් එකක් හැටියට වෙනස් කරන එක තමා මගේ අරමුණ. සංචාරකයෙක් ආපු දවසේ ඉඳලා ඔහු යනකල් අපේ සමාජය හැසිරෙන එක ඉඳලා වෙනස් කරන්න ඕන. මේ වෙද්දී සංචාරක කලාප 49කට වෙන්කරලා තියෙන්නේ. ඒක ඉදිරියේ ගැසට් කරනවා. ආණ්ඩුව ඉන්නේ ප්‍රතිපත්ති හදන්න මිසක් ව්‍යාපාර කරන්න නෙමෙයි. ලංකාව මේ ආකාරයෙන් වෙනස් වුණොත් මේ ණය බරත් අපිට නැති කරන්න පුළුවන්. දැනට ලංකාවේ තුන්වෙනියට වැඩිම ආදායම් ලබන ක්ෂේත්‍රය සංචාරක ක්ෂේත්‍රය. විදේශ ශ්‍රමිකයෝ ඩොලර් බිලියන 7ක් ගේනකොට, සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 4.5ක ආදායමක් ගේනවා රටට. මගේ අරමුණ සංචාරක ක්ෂේත්‍රයෙන් බිලියන 15ක ආදායමක් ලබන වැඩසටහනක් හදන්න.

ඔබ සජිත් ප්‍රේමදාසට ආසයි බයයි කියනවා. අභියෝග බාරගන්නේ නෑ කියනවා. දැන් ඔබලා කිව්ව විදිහට බාරගත්තා නම් ඔහුගේ මේ අඩුපාඩු ඉස්මතු වෙන එකක් නැද්ද?

ඇත්තටම ඒ වෙලාවේ ඕන වුණේ මේ අභියෝගය බාරගන්න ඕන කෙනෙක්. ඒ වෙනුවෙන් තමයි සජිත් ප්‍රේමදාසට යෝජනා කළේ. මොකද මේ ප්‍රශ්නයේ අපි කොටස්කාරයෝ. අපි මිනිස්සුන්ව පාරට ගෙනාවා නම් ඒ මිනිස්සු වෙනුවෙන් සහ රට වෙනුවෙන් අභියෝගය බාරගන්න ඕන. ඒක බාරගන්න බැරිනම් අනිවාර්යෙන් අපේ අඩුපාඩුවක් තියෙන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තයින් පස්සෙන් අපි කිව්වා මේකට සහාය දෙමු කියලා රට හදන්න.

දැන් ඔබලත් එක්ක හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක වගේ අය එයි කියලා කතා ගියා. ඒත් කවුරුත් ආවේ නෑ. මොකක්ද ඒකට හේතුව?

ඔවුන් බය වුණා, ඒ වෙලාවේ ඔවුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් අනතුරක් වෙයි කියලා. අපිටත් වරදී කියලා ඒ අය හිතුවා. හැබැයි එක දෙයක් හොඳ දෙයක් හරි වෙලාවට කළා නම් ඒකේ රිටන් එක හරි විදිහට ලැබෙනවා. ඒත් මම රිටන් එක බලාපොරොත්තු වෙන්නේ නෑ. මට සතුටුයි තිබ්බ ප්‍රශ්න යම් අඩුවීමක් කරන්න හැකිවීම ගැන.

ඔබ දිගින් දිගටම එදා පාර්ලිමේන්තුවේදී කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයාව එයාගේ පක්ෂයේ අය වැරදි රෑපයකින් ස්ථාන ගත කරනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා අරගලය වෙනුවෙන් පෙනී සිටින එකේ වැරුද්ද මොකක්ද? ඔහු විපක්ෂ නායක? ඒකෙන් පේන්නේ ඔහු තමයි පොර කියලා?

මෙහෙමයි සජිත් ප්‍රේමදාස මහත්තයා එජාපයෙන් ඇවිල්ලා මාස කීපයක් තුළ ලක්ෂ 55ක ඡන්දයක් ගන්න හැකිවුණේ සහ සජබය ඔය තැනට ආවේ මගේ ප්‍රචාරණ සහ විවිධ කන්සෙප්ට් නිසා. ඒ නිසා මමත් හිතනවා මටත් ඒක අයිති කියලා. ඒත් මේ මෑතක එතුමා අර ද්විත්ව පුරවැසියෙක් වෙච්ච කුමාර් ගුණරත්නම් එක්ක එකතුවෙලා අරගලයට නැගලා අරගලයේ මිනිස්සුන්ගෙන් හූ හඬ මැද්දේ යන්න ගියා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයව අරගලයේ අය වුණු සුලු පක්ෂ එක්කද දකින්න ඕන නැත්නම් දැක්මක් සහිත නායකයෙක් හැටියටද? වගකීමක් තියෙන අනාගතයේ සුබසාධක ජනාධිපති කෙනෙක් වීමද? ඔහුට ඕන ඡන්දයක් තියලා ඉක්මනින් ජනාධිපති වෙන්න. හැබැයි එතුමාට කවදා හරි මතක් වෙයි මූණට මූණ එතුමාට මම කිව්ව දේවල්. මම සහෝදරයෙක් හැටියට මේ විවේචනය කරන්නේ.

ඔබට සජබයෙන් ගහද්දි ඔබ එකපාර කියනවා පක්ෂයේ ණය වගයක්.මොකක්ද මේ ණය.කොච්චර සල්ලියක් පක්ෂයට දුන්නද?

ඇත්තටම සල්ලිවලට වඩා මම ඒ පක්ෂය වෙනුවෙන් දුන්න අදහස්, කන්සෙප්ට්, ඒවා මිල කරන්න බෑ. සර් ෆේල් කියන කන්සෙප්ට් එක කොච්චර වාසිවුණාද සජිත්ට. සර් ෆේල් වෙද්දී සජිත් පාස් වෙනවා. ඒත් කවුරු හරි කියනවා නම් සජිත් පාස් කියලා. ඒ සජිත් ෆේල් කියන එක. මම පක්ෂය වෙනුවෙන් කළ දේවල් කවදා හරි තේරුම් ගනී. එදාට මගේ අගේ තේරෙයි.

ඔබයි ඩයනා රාජ්‍ය ඇමැතිතුමියයි අතර තියෙන ගැටුම මොකක්ද?

ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය අඳුරන්නේ මම සජබයේ ඉන්න කාලයේ ඉඳලා. මට එතුමිය එක්ක ප්‍රශ්නයක් නෑ. එතුමිය වැඩ බාරගත්ත වෙලාවෙත් මම එතෙන්ට ගිහින් සුබ පතලා ආවා. එතුමියගේ ළඟ ඉන්න අයට මේක තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. සංචාරක අමාත්‍යංශය තියෙන්නේ ආයතන හතරක් යටතේ. ඒ හතරම එකට බැඳිලා තියෙන්නේ. වෙන වෙනම ගලවන්න බෑ. ඒ නිසා මේ බව මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. ඊට පස්සේ එතුමා කිව්වා එතුමියට ආරක්ෂාව වගේ දේවල් බාර දෙන්න කියලා. මම අතිරේක ලේකම් කෙනෙක් දාලා එතුමියගේ ප්‍රශ්නය විසඳමින් ඉන්නකොටයි ඇය එළියට ගිහින් මට බැන්නේ. පාර්ලිමේන්තුවේ කිව්වා මට විරුද්ධව පරීක්ෂණයක් කරන්නත් ඕන කියලා. ඉතිං මම ඒ පරීක්ෂණය ඉඩදීලා බලන් ඉන්නවා. කනගාටුයි එතුමියගේ නොදැනුවත්කමට.

අවසාන වශයෙන් අහන්නේ අයවැය විපක්ෂය විසින් පරාජය කරන කතාවක් යනවා. ඇත්තටම එහෙම වුණොත් මොකද කරන්නේ?

විපක්ෂය මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක්. ඒ නිසා ඔවුන් නොයෙකුත් දේවල් කරනවා. ඉතිං පුළුවන් නම් පරාජය කරලා ඒ අයට කරන්න කියන්න. මම හරි ආසාවෙන් බලන් ඉන්නවා... ඒ අය කරන විදිහ බලන්න. හැබැයි ජනතාව තීරණය කරයි ඇත්තටම ඒ අයට කරන්න පුළුවන්ද බැරිද එක.

♦ ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00