2022 නොවැම්බර් 19 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයා ලංකාවේ

 2022 නොවැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

ශ්‍රී ලංකාවේ උපන් දැනට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රබල ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කරන අලි රාජා සුබාස්කරන් පසුගිය වසර කිහිපය තුළ පුවත් මවන්නෙක් වී සිටියේය. බ්‍රිතාන්‍ය තුළදී බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට ලක්වීම සහ දූෂණ චෝදනා එම පුවත් මැවීමට හේතු වී තිබිණි. නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ ඔහු විවිධාකාර ආයෝජන කර තිබේ. දකුණු ඉන්දියාවේ ඩොලර් බිලියන ගණනක සිනමා සහ ක්‍රීඩාව ඔහුගේ එම ව්‍යාපාර අතර වෙයි.

උතුරේ ඉපදී තරුණ වියේදීම යුද සමයේ එංගලන්තයට සංක්‍රමණය වූ සුබාස්කරන් තම උපන් බිම වූ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාව දිගටම පවත්වා ගනිමින් පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මිලදී ගත්තේය.

2018 වසරේදී බ්‍රිතාන්‍යයේ ''බුස්ෆීඩ් නිව්ස්'' මගින් සිදුකෙරුණු ගවේෂණයකදී හෙළි වී තිබුණේ වගවීම, විනිවිදභාවය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ශ්‍රී ලංකාව වැනි සෙසු රටවලට ඇඟිල්ල දිගු කරන එසේම තවත් රටවලට අවවාද අනුශාසනා කරන බ්‍රිතාන්‍ය රජය, සුබාස්කරන්ගේ ටෙලිකොම් ව්‍යාපාරික අධිරාජ්‍යය වන ලයිකා මොබයිල් සමාගම මගින් සිදුකෙරෙන බවට සැක කර තිබූ මුදල් හොරෙන් පිටරට යැවීම සහ බදු වංචා පිළිබඳ චෝදනා සම්බන්ධ ප්‍රංශ විමර්ශනයට සහාය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවය. එයට හේතුව වශයෙන් දක්වා තිබුණේ ''කොන්සර්වැටිව් පක්ෂයේ විශාලතම ආයතනික දානපතියා වීම'' බවය. එසේම බ්‍රිතාන්‍ය රජු චාල්ස්ගේ භාරකාර අරමුදලට මුදල් ලබා දෙන්නකු වීමද තවත් හේතුවක් විය.

මේ සුබාස්කරන් මහතා පසුගියදා ශ්‍රී ලංකාව පැමිණියේය. චෙන්නායි හිදී දකුණු ඉන්දීය සුපිරි සිනමා තරුව වන රුජිනිකාන්ත් සමඟ රුපියල් බිලියන ගණනක චිත්‍රපට දෙකකට ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඉන්දියාවට පැමිණි කෙටි සංචාරය අවසානයේ සුබාකරන්ගේ ශ්‍රී ලංකාවට පැමිණීම සිදුවිය.

කොළඹ රුඳී සිටි කෙටි කාලය තුළදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මුණගැසී විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජන එක් මාතෘකාවක් විය. ඉන් පසුව ඔහු මෑතකදී ජනාධිපති සමාව ලබා නිදහස් වූ ද්‍රවිඩ සිරකරුවන් පිරිස හමුවිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් සිරගතව දුක් විඳි එම පිරිසට තරුපහේ හෝටලයකදී රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ඔහු පිරිනැමුවේය.

සුබාස්කරන් එතැනින් නැවතුණේ නැත. නිදහස ලැබූ එම පිරිසට යළි ජීවිත ගොඩනංවා ගැනීම සඳහා සෑහෙන මුදලක් ද ඔහු පරිත්‍යාග කළේය. දෙමළ ඩයස්පෝරාවේ මේ දිනවල පැතිරෙන කතාව වන්නේ ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කිරීමේ තීන්දුවට ''ලයිකා මෑන්'' ගේද බලපෑමක් තිබූ බවය.

- සන්ඩේ ටයිම්ස්

සමගාමී ආණ්ඩුවක් ගැන දෙගිඩියාවක්

ඉකුත් දිනකදී විපක්ෂ නායක කාර්යාලයෙන් ලැබී තිබූ ලිපියක් හේතුවෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීහු මවිතයකට පත්වූහ.

එම ලිපියේ සඳහන්ව තිබුණේ කොළඹ 7, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ හෙට උදෑසන පැවැත්වෙන සාකච්ඡාවකට ඇරියුම් කරන බවය.

විපක්ෂ නායක කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන ජාතික ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය සඳහා අදහස් සහ යෝජනා ලබාගැනීම එහි අරමුණ වශයෙන් පෙනෙන්නට තිබිණි.

එම ලිපියේ සඳහන්ව තිබුණේ ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වෙමින් ප්‍රතිසංස්කරණ දියත් කිරීමට ලේකම් කාර්යාලය බලාපොරොත්තු වන බවය. සතිපතා විවිධ අංශ සමඟ සාකච්ඡා පවත්වන බවත් ජාතික සහ සාම්ප්‍රදායික කර්මාන්ත සම්බන්ධ යෝජනා සාකච්ඡා කිරීම සඳහා සඳුදා සාකච්ඡාව යොදාගෙන ඇති බවත් එහි සඳහන් විය.

අදාළ සාකච්ඡාවට සහභාගි වීම පිළිබඳව නිලධාරීන් තුළ දෙගිඩියාවක් හටගෙන තිබිණි. සමගාමී ආණ්ඩුවක් බිහි වී තිබෙනවාද නැතහොත් අදාළ රුස්වීම පාර්ලිමේන්තු ආංශික කාරක සභා යටපත් කිරීම සඳහා සිදුකෙරෙන වෑයමක්ද යන්න එම දෙගිඩියාවට හේතු විය.

සංචාරකයන්ගේ පැමිණීම දිනෙන් දින ඉහළට

නොවැම්බර් මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීම දිනකට 1800 ක් ඉක්මවා යමින් පවතී. ඔක්තෝබරයේ මේ අදාළ කාලසීමාවේ දිනකදී සංචාරකයන්ගේ පැමිණීම දිනකට 1355 ක තත්ත්වයේ තිබිණි. මේ ඉහළ යාමට හේතුව රුසියානු සංචාරකයන්ගේ පැමිණීමය. 

නොවැම්බර් මුල් දින 15 තුළදී සංචාරකයන් 27,313 ක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

පසුගිය සතියේ සඳුදා සහ අඟහරුවාදා දෙදින තුළදී රුසියානු එයරෝෆ්ලොට් ගුවන් සේවයෙන් 2000 කට අධික සංචාරකයන් පිරිසක් පැමිණියහ. මාසයේ මුල් දින 15 තුළ සංචාරකයන් පැමිණි සංඛ්‍යාව හේතුවෙන් මේ දක්වා සමස්ත පැමිණීම 595,471 දක්වා ඉහළ ගොස් තිබේ. මෙවර ශීත සමයේ සංචාරක සමයට එය හොඳ ආරම්භයකි. ශීත සංචාරක සමය 2023 අප්‍රේල් දක්වා ක්‍රියාත්මකව පවතී.

- ඩේලි එෆ්.ටී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00