2022 නොවැම්බර් 06 වන ඉරිදා

ඩයනාගේ ඩිස්නි කතාවේ කී නොකී කතා

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 199


මාධ්‍යයේ කුණාටුවක් ඇති කළ ඩිස්නිලන්තය ලංකාවට ගෙන එන කතාවේ අර්ථකථන දෙකක් තිබේ. හම්බන්තොටට ඩිස්නිලන්තය ගෙන එන එම කතාව මෙරට පමණක් නොව ඉන්දියාවේද අවධානය යොමු වී තිබිණි. මේ එක් අර්ථකථනයක් සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ගෙනි. අනෙක ඩිස්නිලන්ත සමාගමෙනි.

ඩයනා ගමගේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව තිබෙන විනෝදාස්වාද උද්‍යානය වන "ඩිස්නි" ශ්‍රී ලංකාවට ගෙන ඒමට තමා සාකච්ඡා පවත්වන බවත් දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය වන එය හම්බන්තොට පිහිටුවන බවත්ය. (හම්බන්තොට වල් අලින්ට පමණක් නොව සුදු අලින්ටද ප්‍රසිද්ධය) මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වා තිබුණේද වෙනත් ස්ථානයක නොව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේය. ඩයනා පසුව ප්‍රකාශ කර තිබුණේ තමා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අමෙරිකාවට යන බවකි. එයින් අඟවා තිබුණේ දැනටම මේ සම්බන්ධයෙන් සෑහෙන දුරකට සාකච්ඡා පවත්වා ඇති බවය.

මේ ප්‍රකාශයෙන් පසුව "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වෝල්ට් ඩිස්නි සමාගම සම්බන්ධ කරගත්තේය. එහිදී ඩිස්නි සමාගම ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් පිහිටුවීමට ඩිස්නි සමාගමේ කිසිදු සැලැස්මක් නැති බවය.

ඩයනාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුලින්ම ඇයගෙන් ප්‍රශ්න කර තිබුණේ සයිබර් මාධ්‍යවේදියෙකි. ඔහු තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් හෙළි කළේ ඩයනා ගමගේ මහත්මියගේ කාර්යාලයෙන් බවට අඟවමින් ව්‍යාජ "ප්‍රකාශයක්" පළකර ඇති බවය. වෝල්ට් ඩිස්නි සමාගමේ ආයෝජන සබඳතා ප්‍රධානී ඇලෙක්ෂියා ක්වඩ්රානිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් ඩොලර් බිලියන 16-18ක ආයෝජනයක් හම්බන්තොටට ලබාදීම සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවකි.

වෝල්ට් ඩිස්නි සමාගම මෙවැනි සැලැස්මක නැති බව දැන දැනත් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් මේ පිළිබඳව "සන්ඩේ ටයිම්ස්" පුවත්පත කළ විමසීමේදී ඇය ඒ බව වසන් කළාය. පුවත්පත ඇයගෙන් විමසා සිටියේ අමෙරිකාවේ බහුකාර්ය ප්‍රධාන පෙළේ ජනසන්නිවේදන සහ විනෝදාස්වාද ව්‍යාපාරයේ දැවැන්තයකු වන වෝල්ට් ඩිස්නි ආයතනයේ කවරකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නේද යන්නය.

මේ බව ඇසූ විට ඇය අප වෙත එම ප්‍රශ්නයම යොමු කළාය. "කා එක්කද ඔබලා සම්බන්ධ වුණේ?"

අප පුවත්පත මේ සම්බන්ධයෙන් කරුණු විමසූ "ඩිස්නි" පුද්ගලයාගේ නම සහ ඔහු අපට ප්‍රකාශ කළ කරුණු විස්තරාත්මකව ඇයට අපි ලබා දුන්නෙමු.

ඊළඟට ඇය මෙසේ කීවාය. "මම කිසිම දෙයක් ගැන තොරතුරැ පිටට ලබා දිය යුතු නෑ. මම මෙහෙම කතාවක් එහෙම දුන්නෙත් නෑ. කවුරු හරි මේ කතාව අරගෙන ඒක මාධ්‍යයට ලබාදීලා තියෙනවා."

"නමුත් ඔබ මේ කතාව මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේ නැද්ද?"

ගමගේ මහත්මිය එහිදී යමක් මතක් වූ ආකාරයෙන් මෙසේ ප්‍රකාශ කළාය. "ඕහ්... ඔව්... මම ඒක කිව්වා තමයි. ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තය ගෙන එන බව. නමුත් මම කිව්වේ නැහැ කවුද, කොහොමද, කවදද, මොකක්ද සහ කොහේද කියලා. මම නිකම් කිව්වේ ඩිස්නිලන්තය ලංකාවට ගේන්න මම සැලසුම් කරල තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා."

"ඔබ ඒ ගැන සාකච්ඡා ආරම්භ කළාද?" අපි ඇසුවෙමු.

"ඔව්" ඩයනා මහත්මියගේ පිළිතුර විය.

"කා එක්කද?" අපි විමසුවෙමු.

"කවුරු හරි ඒ ගැන කටයුතු කරන එක්කෙනා සමඟ. මට මේක හසුරැවාගන්න ඉඩදෙන්න. ඒක හරිගියාම ඔයගොල්ලන්ටත් දැනගන්න පුළුවන් වේවි. තෑන්ක් යූ.... බයි...බායි..." ඇය දුරකතනය විසන්ධි කළාය. 
"ප්‍රබන්ධය" එයින් අවසන් විය.

- සන්ඩේ ටයිම්ස්