2022 නොවැම්බර් 06 වන ඉරිදා

පෙතියගොඩ කියවා ගැනීම.....

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 87

ආචාර්ය රොහාන් පෙතියගොඩ ලෝක ප්‍රසිද්ධියට පත් ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ ජෛව විවිධත්ව විද්‍යාඥයෙකි. වෘත්තීය ඉංජිනේරුවරයෙකි. පර්යේෂකයෙකි. ඒ වගේම මාධ්‍ය හරහා තම මත ප්‍රකාශ කරන්නෙක් ද වෙයි. රටේ දේශපාලනයට ඍජු සබඳතාවක් නොදැක්වුවත් ඔහු ඇතැම් අවස්ථාවලදී ආරාධිත ලේඛකයකු වශයෙන් නිදහසේ තම අදහස් දක්වන්නෙකි.

ආචාර්ය පෙතියගොඩ පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේදී අපූරු කතාවක් කළේය. විනාඩි 09 කට පමණක් සීමා වූ ඔහුගේ කතාව දැනුමක් තේරුමක් ඇතිව සමාජ මාධ්‍ය පරිශීලනය කරන අයගේ ක්ෂණික අවධානය දිනාගැනීමට සමත්ව තිබුණි. එම කතාව ඇතුළත් වීඩියෝ පටය රටේ අනාගතය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාම පාහේ මේ වනවිට නරඹා එම කතාව අසා ඇතිවාට සැකයක් නැත. සමාජ මාධ්‍ය භාෂාවෙන් කියනවා නම් ඒ කතාව මේ වනවිට නියම හිට් එකක් වී තිබේ.

එහෙම කියන්නේ අද ලංකාව මුහුණ දී සිටින බරපතළ සමාජ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉතා කෙටියෙන් සරලව එක මිටට ගෙන කරන විග්‍රහයේ අපූරුකම නිසාය. අර්බුදයේ භයානක පැත්ත කතා කරන ගමන් ආචාර්ය පෙතියගොඩ රටේ අනාගතය පිළිබඳ කිසියම් සුබවාදී බලාපොරොත්තුවක්ද ඇති කළේය. අපේ රටේ බිහිවෙන උගත් තරුණ පරපුර එම බලාපොරොත්තුවේ මහ පොදු සාධකය වී තිබිණි. ඔහු ඒ බව පෙන්වා දුන්නේ එක සරල වැකියකිනි.

"ශ්‍රී ලංකාවත් ඉදිරි කාලයේදී ආර්ජන්ටිනාව වගේ යළි යළිත් බංකොළොත්භාවයට පත් විය හැකියි. ශ්‍රී ලංකාව නිදහසින් පසු ගත කරන ඉතාම දුෂ්කර කාලයේදී ඔබ සියලු දෙනා උපාධිධාරීන් වෙනවා. අපට ලැබෙන ආණ්ඩුව කුමක් වුවත්, අනාගතයේදී අපි තෝරාගන්නා ජනාධිපතිවරයා කවරකු වුණත් ඒකෙන් වෙනසක් වෙන්නෙ නෑ. හේතුව මේ වගේ ආර්ථික අර්බුදයකින් ගොඩ එන එක සෙමින් සිදුවන, වෙහෙසකාරී සහ දීර්ඝ කාලීන ක්‍රියාදාමයක් වන නිසයි. ඒත් ඒක සමහරු කියනවා වගේ ලංකාවත් සිම්බාබ්වේ වගේ ඉවර වේවි කියන කතාව තරම් නරක නෑ. මා හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා. අපට ශ්‍රී ලංකාවේ ඔබ සියලු දෙනා වැනි මිනිස්සු ඉන්නවා. ඒ වුණත් සිම්බාබ්වේවල එහෙම නෑ. අපි සමහර විට ආර්ජන්ටිනාව වගේ අවසන් විය හැකියි.
වසර 100කට පෙර ආර්ජන්ටිනාව ලොවේ 15 වැනි පොහොසත්ම රටයි. සාමාන්‍යයෙන් බැලුවොත් ආර්ජන්ටිනා ජාතිකයන් ඉතාලි, ප්‍රංශ සහ අයර්ලන්ත ජාතිකයන්ට වඩා ඒ කාලේ ධනවත්. අද වනවිට ආර්ජන්ටිනාව ලෝකයේ දුප්පත්ම රටවලින් එකක්. ඒ ඔක්කොම වුණේ දේශපාලන න්‍යාය පිළිබඳව සාමාන්‍ය විචාර බුද්ධියකින් යුතුව ක්‍රියා නොකිරීම නිසයි. අවුරුදු 20ක් ඇතුළතදී ආර්ජන්ටිනාව 09 වතාවකට වඩා බංකොළොත් බව ප්‍රකාශ කරලා තිබෙනවා. අපටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලංකාවත් ඉදිරියේදී යළි යළිත් බංකොළොත් වෙයි කියලා. අවාසනාවකට වගේ ලෝකයේ ස්වභාවය ඒකයි. අප මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම පහසු කාර්යයක් නොවේ. ඒකට ඇතැම් විට අවුරුදු 10ක් 20ක් නැත්නම් පරම්පරාවක් යන්නත් පුළුවන්. ඔබලා තමයි රට ආපසු ගොඩගැනීමේ පරම්පරාව නියෝජනය කරන්නේ..."

ඔහු ඒ සමඟ ඉතා සැකෙවින් අර්බුදයේ ආරම්භය ද පැහැදිලි කළේ මවක සතු සාමාන්‍ය විචාර බුද්ධියෙන් වැඩ කිරීමේ දැනුම උදාහරණයකට ගනිමිනි. "ඔබ සියලු දෙනා දන්නවා මවක් කටයුතු කරන්නේ තමන්ගේ විචාර බුද්ධිය මෙහෙයවීමෙන් කියලා. ඒ ගැන සිතන විට අපගේ මූලික ගැටලුව ආරම්භ වුණේ මහ බැංකුව වසර 02කට පෙර බිලියන 2.3 ක මුදල් අච්චු ගැසීම හේතුවෙන් අපේ ආර්ථිකයේ ඇතිවූ උද්ධමනයෙන්. රටක ආර්ථික වර්ධනයේ සහාය නොලබන මුදල් නිරතුරුවම උද්ධමනයට හේතු වෙනවා. මේ වගේ ආර්ථික හැසිරවූ වෙනත් රටවල් දෙස බැලුවොත් ඒ හැම රටකම ආර්ථිකය කඩා වැටී ඇති බව ඔබට බලාගන්න පුළුවන්. 

අපගේ මහ බැංකු අධිපතිවරයා ඉහළම සුදුසුකම් තිබූ වෘත්තිකයෙක්. ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධියක් ඇති ඔහු මුදල් අච්චු ගැසීම සහ උද්ධමනය අතර සබඳතාවක් තිබෙන බව ප්‍රතික්ෂේප කළා. ඔහුට විචාර බුද්ධියක් තිබුණේ නැහැ. ඔබගේ මව නම් කවදාවත් එවැන්නක් කරන්නේ නෑ. අපට මේ ගැටලු ඇතිවුණේ ඒ නිසයි. එක රැයින් ආණ්ඩුව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් කරන්න තීන්දු කළා. විශ්වවිද්‍යාලවල කෘෂි විශේෂඥයන් වසර 50ක් තිස්සේ ඉගැන්වූ නවීන විද්‍යාත්මක කෘෂිකර්මය පසෙකට දැමුවා. එයින් අපි අපේ කෘෂිකර්මය වසර 100කින් ආපහු හරවා 19 වැනි සියවසට ආපසු ගෙන ගියා.

අනෙක් රටවල් දිහා බලන්න... ඒ එක රටක්වත් මේක කරලා සාර්ථක වෙලා තිබෙනවද? සාමාන්‍ය බුද්ධිය අපට කියා දෙන්නේ එවැනි පළමු රට බවට පත්වීම අසාර්ථක වන බවයි. ඔබගේ මවගේ පිළිතුර වන්නේ එයයි. අපි අපගේ මවට පිටුපා අමාරුවේ වැටුණු රටක්. කොතරම් උගත් බුද්ධිමත් අයකු වුණත් විචාර බුද්ධිය භාවිත නොකළොත් වැරදීම් සිදුවෙන්න පුළුවන්.

අපි ධම්මික පැණිය සම්බන්ධයෙන් කළේත් එයමයි. ආණ්ඩුව ප්‍රකාශ කළේ ධම්මික පැණිය කොවිඩ් සුව කිරීමට ප්‍රතිකාරයක් බවයි. එය කොවිඩ් සුව කරන ප්‍රතිකාරයක් නම් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රා සෙනෙකා ඩොලර් බිලියන 100ක වැක්සීන් හදයිද? ශ්‍රී ලංකාවටත් ධම්මික පැණිය විකුණලා ඩොලර් බිලියන 100ක් සෙවීමට පුළුවන්කම තිබිය යුතුයිනේ. නමුත් අපට එහෙම බැරි වුණා.

අපේ විචාර බුද්ධිය කිව්වේ අපි වැරදි බවයි. මිනිස්සු විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා නම් විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගන්න දේ අපි වැනි මිනිස්සුත් ප්‍රතික්ෂේප කරනවා නම් විශාල වැරදීම් සිදුවිය හැකියි."

ඔහු අවසානයේ කියූ දේ අපේ රටේ දේශපාලනයට වඩාත්ම අදාළය.

"එළඹෙන කාලය ඉතා දුෂ්කර වේවි. ඔබ රැකියා සොයමින් ඉඳීවි. ඒ ගැන මට ඇත්තේ කනගාටුවක්. අවාසනාවකට වගේ මේ සියලු වැරදීම් සිදු වුණේ ඔබේ දෝෂයක් නිසා නොවේ. නමුත් දූෂිත, වංචනික, නූගත් දේශපාලනඥයන් නිසයි."

ඉංග්‍රීසි භාෂාවෙන් කළ මේ කතාව අපගේ බොහොමයක් වර්තමාන දේශපාලනඥයන්ට අසන්න ලැබීමට (අවශ්‍ය නම් පරිවර්තන පහසුකම් ඇතිව) සැලැස්විය හැකි නම් ඒකෙන් රටේ අනාගතයට ලොකු සේවයක් වනු ඇති බව බැලූ බැල්මටම පෙනී යයි. රටේ අවශ්‍යතාවලට ගැලපෙන ජාතික ප්‍රතිපත්තිවලට වඩා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවලට මුල් තැන දෙන ප්‍රතිපත්තිවලට අනුගත වීමේ පළ විපාක රටේ සියලු දෙනාටම දැනෙමින් තිබේ. එහෙම වුණත් ඒ බවක් රට කරවන දේශපාලනඥයන් පමණක් නොව ඊළඟට පාලන බලයට පැමිණීමට මහත් බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන සජබ ප්‍රධාන විපක්ෂයත් ඒ බලාපොරොත්තුවෙන්ම වෙනම කටයුතු කරන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් තේරුම් ගන්නා බවක් පෙනෙන්න නැත. පසුගිය සතියේ දේශපාලන කරළියේ වූ සිදුවීම් පෙන්වා දෙන්නේ එහෙම තත්ත්වයකි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුව හතර අතින්ම බෙදී වෙන් වී ගොස් තිබේ. දැනට සැබෑ ලෙසම ඔවුන්ට තිබෙන බලය ගැන හරි තක්සේරුවක් කිරීම පවා අපහසු වන තරමට එය ව්‍යාකූලය. එහෙම ඉඳගෙනත් ඔවුන් වඩාත් අවධානය යොමු කරන්නේ රට ගැන නොව තමන්ගේ දේශපාලන බලය ගැන පුරාජේරු කතා කීමටය. අඩුම තරමින් රටේ අහේනිය හෝ තමන්ට දැනෙන බවක් ඔවුන් අඟවන්නේ නැත. ජනතාව විඳින අහේනිය ගැන කතා කෙරෙන විට ඒවා ප්‍රතික්ෂේප කිරීමට දක්වන උනන්දුව ඒ තත්ත්වය යළි ඇති නොවන සේ කටයුතු කිරීමට දක්වන්නේ නැත.

විපක්ෂය ද ඊට දෙවැනි නැත. රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වයේ බරපතළකම ඔවුන් නොදන්නවා විය නොහැක. එහෙත් තැන තැන උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම එයට විසඳුමක් නොවන බව පිළිගැනීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. රටත් ජනතාවත් වැටුණු තැනින් ගොඩගැනීමට සාධනීය දායකත්වයක් ලබා දෙනු වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ ජනතා පීඩනය සමඟ ඇවිස්සෙන රැල්ලෙන් එගොඩ වීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කතානායකට යැවූ ලිපියකින් කියා තිබුණේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර මේ රටේ දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සතුටුදායක නැති බවය. කොටින්ම අරමුණු කරගත් වැඩේ කෙරී නැති බවය. රට වැටී තිබෙන තත්ත්වයේ හැටියට එහෙම වෙන්න බැරිය. හැමෝම එකතු වී එක අරමුණකින් ක්‍රියා කළ යුතුය. අඩුම තරමින් ආණ්ඩුවේ පක්ෂ නායකයන්ටත් ඒ ගැන උනන්දුවක් නැත්නම් එය අවාසනාවකි.

මේ මොහොතේ අවශ්‍යතාව ජනාධිපතිවරයාත් විපක්ෂ නායකවරයාත් අනෙක් නායකයනුත් එකතු වී දේශපාලන න්‍යාය පත්‍රවලින් මිදී රට ඉදිරියට ගෙන වැඩ කිරීමය. ව්‍යාපාරික ප්‍රජාවද පසුගියදා පෙන්වා දී තිබුණේ රටේ ආර්ථිකයට හානි විය හැකි දේ කිරීමෙන් වැළකී කිසියම් ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතු බවය. ආචාර්ය රොහාන් පෙතියගොඩ තමන්ගේ කතාවෙන් පෙන්වා දී ඇත්තේද විචාර බුද්ධියකින් තොරව අවිද්‍යාත්මක තීන්දු ගැනීමෙන් රට වැටී තිබෙන ප්‍රපාතයේ තරමය. අපි ශ්‍රී ලංකාව හැටියට ගොඩ එනවාද නැත්නම් සිම්බාබ්වේ හෝ ආජන්ටිනාව හෝ තත්ත්වයෙන් ආපස්සට යනවාද යන්න මේ නායකයන්ගේ තීරණ මත විසඳෙනු ඇත. මේ රටේ තරුණ ප්‍රජාවට අනාගතයක් අවශ්‍ය බව මොහොතකට හෝ අමතක කළ යුතු නැත.

- ශශීන්ද්‍ර