2022 ජුනි 19 වන ඉරිදා

තර්ජන බලපෑම් කළොත් 21ට ඡන්දෙ දෙන්නෙම නෑ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 170

  • අයි.එම්.එෆ්. ණය තාවකාලික අස්වැසිල්ලක් පමණයි
  • අපි ජාත්‍යන්තරයට යන එක වැරැද්දක් නොවේ
  • ගාමන්ට් ළමයින්ට ජුකී කෑලි කියන අය තමයි අපිටත් ගහන්නේ
  • ජනාධිපති විදියට අතපසුවීමක් වුණා නම් ඔහු ඒකෙ වගකීම ගත යුතුයි
  • මහන්සියෙන් හම්බකරන වැඩකරන රටක් අපි හදන්න ඕනෑ
  • පොහොට්ටුව ඉදිරියට යන්න නම් ප්‍රතිසංවිධානය විය යුතුයි
  • මගේ නිවෙස විනාශ කළේ ජවිපෙයි

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඔබ ලොකු දේශපාලන පරම්පරාවකින් ආපු කෙනෙක්. ඔබ දකින්න ඇති එදා දේශපාලනය. ඒ වගේම අද ඔබ සක්‍රීයව ඉන්නවා. ඒ දකින දේවල් එක්ක ඇත්තටම ඔබට කලකිරීමක් නැද්ද?

ඇත්තටම කලකිරීමක ඉන්නේ. රටේ තත්ත්වය ගැන ඒ වගේම බරපතල කණගාටුවක් කලකිරීමක් තියෙනවා. ඒක මට වචනවලින් කියන්න බෑ. මට පේන දේ තමයි වසර ගණනාවක ඉඳලා ආර්ථික දේශපාලන සමාජීය පිරීහීම තමයි අද අපි විඳවන්නේ. දැන් බලන්න ලොකුම බලාපොරොත්තුව තමයි අයි.එම්.එෆ්. ණය. අපි හැමෝම බලන් ඉන්නේ ඒ දිහා. නමුත් ඒක තාවකාලික අස්වැසිල්ලක් විතරයි. අපි සුපුරුදු දේශපාලන ජීවන රටාව ගෙනිච්චොත් අපි ආයෙත් දරුණු පරිහානියකට ලක්වෙනවා. ඒ නිසා අවබෝධයෙන් වැඩ කරන්න ඕන. ඒකට මේ රටේ ක්ෂේත්‍ර කීපයක් වෙනස් වෙන්න ඕන. දේශපාලන, රාජ්‍ය අංශය, මාධ්‍ය මේ සියල්ලන්ගෙම සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕන.

මට කියන්න ඔබට නමවැනිදා සිදුවීමෙන් මොකක්ද වුණ පාඩුව?

මගේ දඹුල්ලේ නිවසයි, දේශපාලන කාර්යාලයයි විනාශ කරලා තිබුණා. අපේ නිවස කියන්නේ අඩුම තරමේ ලක්ෂයක්වත් බත් කාපු තැනක්. අඩුම තරමේ 15,000, 20,000කට රැකියා දුන්න තැනක්. මගේ නිවසට කළ දේ ගැන මට දුකක් තියෙනවා. ඒක සංවිධානාත්මකව කළ දෙයක්. මම කියන්න බය නෑ. මේ වැඩේ සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම දැන් අපිට තොරතුරු ලැබිලා බයික්වලින් ආපු කණ්ඩායමක් තමා මේක මූලිකව සාකච්ඡා කළේ කියලා.

කොහොමද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයි කියන්නේ?

ඉතිං මගේ ගෙදරට ගහපු එකට දඹුල්ල නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තා. මේක සැලසුම් සහගතයි. මේක කරන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඒත් නමවැනිදා සිද්ධියත් එක්ක වැඩේ ඉක්මන් වුණා. ඒ නිසයි එක මන්ත්‍රී කෙනෙක් ඝාතනය කරන්නෙත්, නිවාස විනාස කරන්නෙත්. මේක ආණ්ඩුව කැරැල්ලකින් ගැනීමේ කුමන්ත්‍රණයක් එදා වුණේ. පක්ෂ කීපයකුත් එකතුවෙලා. ඒකට රාජ්‍ය නිලධාරීනුත් කීප දෙනෙක් හිටියා කියලා මට විශ්වාසයක් තියෙනවා.

එතකොට නවවැනිදා උදේ ගෝල්ෆේස් අරගලකරුවන්ට ගහපු එක හරිද?

ඒක සම්පූර්ණයෙන් වැරදියි. ඒකට මම එකහෙළා විරුද්ධයි. ඒක එදා නොවිය යුතු දෙයක්. ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වරදක් කරපු අය ඉන්නවා නම් අනිවාර්යයෙන් දඬුවම් දෙන්නම ඕන. හැබැයි එහෙම හානියක් කළා කියලා කාටවත් නීතිය අතට ගන්න බෑ. ලෝකේ කොහෙත් එහෙමයි. මන්ත්‍රීවරු 80 දෙනෙකුගේ නිවෙස් ගිනි තැබීම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට කළ හානියක්.

ඔබ ඇමැතිවරයෙක්. එහෙම ගේකටත් ගහනවා කියන්නේ පුදුම දෙයක් නෙමෙයිද?

ඉතිං පොලීසිය බලන් ඉන්නකොටනේ අපේ ගෙවල්වලට ගැහුවේ. සමහර තැන්වල කැරලිකරුවන්ට ආරක්ෂාව දුන්නේ පොලීසිය. ගිනි තියලා යනකල් බලා සිටියා.

ඔබේ නි‍ෙවසට පහරදීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට වුණාද?

නෑ කොහෙත්ම නෑ. පොලීසියෙන්වත් නීතිය පැත්තෙන්වත් මට සාධාරණයක් තවම වෙලා නෑ. මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

එහෙම වෙනවා කියන්නේ ඔබලාට විශ්වාස නෑ. එහෙනම් ඔබලත් ඒ වරදට වගකියන්න ඕන නේද?

නීතිය ගැනවත් පොලීසිය ගැනවත් මේ රටේ කාටවත් විශ්වාසයක් තිබෙනවා කියලා මම හිතන්නේ නෑ. දේශපාලනඥයා කියන්නේ ඔබලා වගේම කකුල් මහ පොළවේ ගහගෙන ඉන්න මිනිස්සු.

එදා උදේ අගමැතිත් ඔබලාගේ, ජනාධිපතිත් ඔබලාගේ, තුනෙන් දෙකේ ආණ්ඩුවකුත් තියෙනවා. එහෙම වෙලත් ගෙවල්වලට ගහනකල් බලන් හිටියා කියන්නේ පුදුමයිනේ?

ඔව් ඒක තමා. මම කිව්වේ මේක ආණ්ඩුව පෙරලන්න කරපු කුමන්ත්‍රණයක්.

එහෙම කුමන්ත්‍රණයක් නම් ආණ්ඩුවේ අයත් ඉන්න එපැයි?

සම්බන්ධ වෙන්න ඇති. නැත්තන් මෙහෙම වෙන්නේ කොහොමද? හමුදාව පොලීසිය බලන් හිටියේ කොහොමද?

මේ සම්බන්ධයෙන් ජනාධිපති එක්ක කතා කරන්න ඔබලට අවස්ථාවක් ලැබුණද?

අපි ජනාධිපතිතුමා එක්ක කතා කළා. අපි ඒවත් කිව්වා... ඒත්...

ඒත් කියන්නේ ලැබුණු පිළිතුරු සැහීමකට පත්වෙන්න බැරිද?

බෑ... බෑ... ඒ පිළිතුරුවලින් කිසිම විදිහකින් සෑහීමකට පත්වෙන්න බෑ එතුමා කිව්ව දේවල් එක්ක. ජනාධිපතිතුමා කිව්ව සමහර දේවල් මේ වගේ ඉන්ටවීව් එකක කියන්නත් බෑ.

ඒ කියන්නේ?

නෑ ඒ කිව්ව දේවල් කියන්න බෑ... ඒත් දවසක මම ඒවා කියන්නම්.

ඇයි දැන් ජාත්‍යන්තරයට යන්න හිතුවේ. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයිද?

අපේ රටවල් ජාත්‍යන්තර වශයෙන් බැඳිලා ඉන්නේ. ඒ නිසා ඒ රටවල් එක්ක ගනුදෙනු කරන රටක් හැටියට අපිට අපේ ප්‍රශ්නය ඒ රටවල් එක්ක බෙදාගන්න අයිතියක් තියෙනවා. අපි නවක මන්ත්‍රීවරු හැටියට අපි ඒවා පිළිගන්නවා. ඒ නිසා අපි අපේ ප්‍රශ්නය අරගෙන ජාත්‍යන්තරයට යනවා. හිතන්න ගෙවල් 80ක් ගිනි තියලා, මන්ත්‍රීවරයෙක් මරලා, එක්කෙනෙක් අයිසීයූ නවත්තන්න තරම් දේවල් කළා නම්, ඒ ප්‍රශ්නයට අපේ රටින් පිළිතුරක් නැත්තන් අපි ජාත්‍යන්තරයට යන එකේ වරදක් නෑ

ජනතා විරෝධය එන්න පුළුවන්. දැන් ඔබලාගේ අයම කියනවා 21ට අත ඉස්සුවේ නැත්තන් ගෙවල් ඉස්සරහට ගිහින් බල කරන්න කියලා?

අපෝ ඔව් කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕන දෙයක් එහෙම කියන්න පුළුවන්. හැබැයි එහෙම කියලා තර්ජනය කරන්න බෑ. අපි ඒවට බයත් නෑ.

දැන් ඔබලා ජාත්‍යන්තරයට යන්නේ කොහෙද?

අපි ජිනීවා යනවා. කොමන්වෙල්ත් පාර්ලිමේන්තුවට යනවා. ඒ වගේ තව තැන් කිහිපයකට යනවා.

එහෙම ගියාම ඔබලාගේ ජනාධිපතිවරයා විත්තිකාරයෙක් කරන්න වෙනවා ජාත්‍යන්තරය හමුවේ. මොකද ඔහු රටේ නායකයා නිසා. ඒක කමක් නැද්ද?

එතුමා රටේ සේනාධිනායකයා විදිහට, ජනාධිපතිවරයා විදිහට යම් අතපසුවීමක් වෙලා තියෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕන

කීදෙනෙක් යනවද ජාත්‍යන්තරයට?

අපේ පොදු මතයක් හැටියටයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පිරිසක් යනවා.

සමහර මන්ත්‍රීවරු එදා සිදුවීමෙන් පස්සේ දේශපාලනය කරන්නේ නෑ කියලා තීන්දු කරලා ඉවරයි. ඔබ මොකක්ද කරන්නේ?

මම දේශපාලනිකව සක්‍රියයි. මම හැමදාම දේශපාලනය කළේ රට වෙනුවෙන්. ඒ නිසා මම දේශපාලනය අත් අරින්නේ නෑ. ඒත් කලකිරීමක් තියෙනවා. මොකද පාර්ලිමේන්තු ඇවිල්ලා පුටුවේ වාඩිවුණ ගමන් ඒ මිනිහා හොරෙක් වෙනවා. අපි හොරු නෙමෙයි. මම ඇමැති කාලෙත් මගේ බිරිඳ පෞද්ගලික අංශයේ රුකියාව කළා. අපි හැමදාම අපේ මහන්සියෙන් වැඩකරලා හම්බ කළේ. අපි හදන්න ඕන අන්න ඒ වගේ වැඩකරන රටක්. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මම ඒ වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්.

ඔය නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් හොරු කියන ලේබල් හොඳ මිනිස්සුන්ටත් ඇලවෙන්නේ නෑ නේද?

මෙහෙමයි දැන් බලන්න ගමේ යම් සාර්ථකත්වයක් ඇතිවුණ කෙනෙක්ට කියන දේ තමයි එක්කෝ කුඩු විකුණලා නැත්නම් නිධන් හාරලා කියලා. වැඩකරන ගාමන්ට් ළමයින්ට ජුකී කෑලි කියන්නේ. අන්න ඒ වගේ තමා අපිත්. අපිටත් එහෙම ගහන්නේ.

නව ආණ්ඩුව පත්වෙනකල් ඔබ අලුතෙන් පත්වුණු කැබිනට් අමාත්‍යවරයෙක් .ඇයි ඔබට නව ආණ්ඩුවේ ඒ ඉඩ නොදුන්නේ?

ජනාධිපතිතුමා දැනුම් දුන්නා සර්පාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා. ඒකට විවිධ කණ්ඩායම්වලින් කට්ටිය ගත්තා. හැබැයි මට කිසිම කණගාටුවක් ගැටලුවක් නෑ. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා තවම මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබිලා නෑ. ඒ නිසා ඉක්මනින් මේ ප්‍රශ්න විසඳන්න ඕන.

බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණා, මහින්ද මහත්තයත් ඉවත් වුණා. පාක්ෂිකයන්ට සැකයක් ඇති මොකද පොහොට්ටුවට වෙන්නේ කියලා. ඇත්තට මොකද වෙන්නේ? තරුණ මන්ත්‍රීවරු වෙනම පක්ෂයක් පටන් ගන්නවා කියලත් කියනවා?

අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. හැබැයි පොහොට්ටුව ඉදිරියට යන්න පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ඕන. ඒක නොවුණොත් බරපතල දේශපාලන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. ඒත් හැමදේම හිමිහිට කරන්න ඕන.

අවසාන වශයෙන් අහන්නේ 21ට ඔබ ඡන්දය දෙනවද?

තර්ජනය කළොත් බලපෑම් කළොත් දෙන්නෙම නෑ. අනික ව්‍යවස්ථා සංශෝධන ජනතාවගේ කැමැත්ත මත වෙන්න ඕන. එහෙම නැතුව කාගෙවත් බලපෑම්වලට කරන්න බෑ.

 ගයාන් ගාල්ලගේ