2022 ජුනි 19 වන ඉරිදා

මංගලගේ අනාවැකිය

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 114

සුමන්තිරන් උතුරෙන් බිහිවී දකුණේත් හඬ නගන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති සම්බන්ධයෙන් විශාරද දැනුමැති මන්ත්‍රීවරයකු වන ඔහු දකුණේ දේශපාලනය සම්බන්ධයෙන්ද දැඩි ලෙස සංවේදීය. ඒ ගැන ටී.එන්.ඒ. මතය සහ තමන්ගේ පෞද්ගලික මත පිළිබඳව නිරන්තරයෙන් නොබියව අදහස් පළකරන්නෙක් වශයෙන් ද ඔහු නමක් දිනා සිටී. ගෝඨාගෝගම අරගලය ඇරඹීමෙන් පසුව ඔහු ගෝඨාභය ගෙදර යා යුතු බව ඍජුව ප්‍රකාශ කළේය. අදටත් සුමන්තිරන් සිටින්නේ එම ස්ථාවරයේමය.

සුමන්තිරන් කාලයක් රනිල් වික්‍රමසිංහට සමීප දේශපාලනඥයෙක් විය. එහෙත් රනිල් මෙවර අගමැති වීමෙන් පසුව හදන්න හැදූ සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ ආණ්ඩුවට එක්වීමෙන් වැළකී සිටි ඔහු අරගලය සමඟ දිගටම රුඳී සිටීමේ න්‍යායක් අනුගමනය කළේය. එසේ සිටිමින් දැන් පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වය මහා විකෘතියක් වශයෙන් වරක් හඳුන්වා දුන්නේය. මන්ත්‍රීවරුන් හිටිගමන් ස්වාධීන වන බවටත් අග්‍රාමාත්‍යවරයා ඡන්දයෙන් පත්වූවකු නොවන බවටත් චෝදනා නැගූ සුමන්තිරන් මේ හේතුවෙන් ජනමතය විකෘති තත්ත්වයකට පත්ව ඇතැයිද සඳහන් කරයි.

එවැනි දේශපාලනඥයකු වන සුමන්තිරන් දකුණේ මතභේදාත්මක දේශපාලන චරිතයක්ව සිටි අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ දේශපාලන හිතවතෙක් විය. මංගල මෙරට සුළු ජන ප්‍රජාව සම්බන්ධයෙන් දැරෑ මතයත් ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට ගෙන ආ යෝජනාත් සුමන්තිරන්ලාගේ කැමැත්තටද හේතු වී තිබිණි. රටේ දැන් පවතින තත්ත්වය ගැන සුමන්තිරන් කාලයකට පෙර පාර්ලිමේන්තුවේදී මංගල කළ කතාවක් උපුටා දක්වමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ අදහස් දැක්වීම කාගේත් ඇස් අරවන්නකි. සුමන්තිරන්ගේ ඒ කතාවේ මෙසේ සඳහන් විය.

අද ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික කඩා වැටීම ගැන මංගල සමරවීර හිටපු ඇමැතිවරයා අනාවැකියක් ප්‍රකාශ කළේ 2019 වසරේදි ගෝඨාභය මහතා ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය දැකීමෙන් පසුවයි. එහි එක් පොරොන්දුවක් වශයෙන් සඳහන් වෙලා තිබුණා මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරික ජාලයට විශාල බදු සහනයක් ලබාදෙන බව. මේක දැකපු මංගල කිව්වේ එහෙම බදු සහන දීලා රටේ දේශීය ආදායම අඩුකර ගත්තොත් මේ රට වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ලෙබනන් රටේ ආර්ථිකයේ වුණා වගේ විශාල කඩා වැටීමක් සිදුවන බව. එදා මංගල කියපු දේ අද වෙලා තිබෙනවා. එදා මංගල දැකපු අනාගත ආර්ථිකය අද රට පාලනය කරන අය දැක තිබුණේ නෑ. දැන්වත් ගෝඨාභය මහත්තයා ජනාධිපති ධූරයෙන් ඉවත්වෙලා ඡන්දයකට යා යුතුයි.

මංගල සමරවීරගේ දේශපාලන භූමිකාව දකුණේ දේශපාලනය තුළ මතභේදකාරී එකක් විය. ඔහුට සහාය දැක්වූ පිරිසට වඩා ඔහුගේ වැරදි දුටු පිරිස හැමදාමත් වැඩිය. එහෙත් මංගල තමන්ගේ ස්ථාවරය කවදාවත් වෙනස් කළේ නැත. ඔහු නිරතුරුවම කිව්වේ රටේ දේශපාලනය විශාල වෙනසකට භාජනය විය යුතුය කියාය. පැරණි මතවාදවල එල්ලී සිටිමින් රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඔහුගේ මතය විය. ජාති, ආගම් භේද පිළිබඳව ඔහු දැරුවේ ස්වාධීන මතයකි. ඒ වගේම රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් යහපාලනයේ අවසන් වසර දෙකේ මංගල විශාල කාර්යභාරයක් ඉටුකිරීමට සමත් විය. රටේ දේශීය බදු ආදායම තිතටම එකතු කිරීමට දැඩි වෙහෙසක් දැරෑ මංගල ඒ සඳහා ඇතැම් නීතිරීති වෙනස් කිරීමට පවා ක්‍රියා කළේය. ඒ ඇතැම් වෙනස්කම් දේශීය ආදායම් වෘත්තිය සමිතිවල දැඩි විරෝධයට හේතු වුවද මංගල ඒ විරෝධය ගණන් ගත්තේ නැත. විරෝධතා නිසා ජාතික බදු ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු පසෙකට තල්ලු වුවත් මංගල මුදල් අමාත්‍යවරයා වශයෙන් බදු දැලෙන් රිංගා යාමට උත්සාහ කළ බොහෝ දෙනකු එම දැලට හසුකර ගැනීමට සමත් විය. මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ සාර්ථකම බදු එකතු කිරීම සිදු කළ මුදල් අමාත්‍යවරයා වූයේ මංගලය. බදු එකතු කිරීම අතිරික්තයක් දක්වා ව්‍යාප්ත කිරීමට පවා ඔහුගේ ධූර කාලය තුළදී හැකි වී තිබිණි.

එහෙම මුදල් අමාත්‍යවරයකු ලංකාවේ ආර්ථිකයේ අනාගතය අඳුරු බවට පෙරනිමිති දැකීම ගැන පුදුම විය යුතු නැත. හැබැයි පුදුමයට කාරණය වන්නේ ගෝඨාභය මහතා බලයට ගෙන ඒම සඳහා ඒ කාලයේ විශාල භූමිකාවක් ඉටුකළ රටේ උගත් බුද්ධිමත් වියතුන් එය නොදැකීමය. රටක දේශීය ආදායම අඩුකරන තීන්දුවක් ගන්නවා නම් අපනයන ආදායම වැඩි කිරීමෙන් පසුව එහෙමත් නැත්නම් මේ කාලයේ තේරෙන භාෂාවෙන් කියනවා නම් ඩොලර් රටට ලැබෙන මාර්ග පාදාගෙන එය සිදුකිරීමට සැලසුම් කළා නම් ඒ ගැන ඒ හැටි වැරුද්දක් කිව නොහැක. නමුත් සිදුවුණේ රුපියල් බිලියන 560කට අධික බදු ආදායමක් රටට අහිමිවීම පමණි. එදා ලබා දුන් වැට් බදු සහනය මගින් අධික ලාභයක් ලැබූ මහා ව්‍යාපාරිකයන් තමන් ලද ලාභය රටේ අනාගත ආයෝජනය සඳහා යොදවන බවට ප්‍රතිඥා දී තිබුණත් ඒ එකක්වත් සිදුවුණේ නැත. ඒ මැදට කඩා වැදුණු කොවිඩ් වසංගතයෙන් රටේ ආර්ථිකය බැට කද්දී බදු ආදායම අඩුකර ගැනීම මහා සුනාමියක් බවට පත් විය. සල්ලි අච්චු ගසා ජනතාවට සහනාධාර දෙන තැනට රට වැටුණි. රටේ ආර්ථිකය බලා සිටියදීම කඩා වැටුණේය. මංගල 2019 දී කියූ අනාවැකිය හරි ගියේය. අද ලංකාවේ ආර්ථිකයේත් ලෙබනන් ආර්ථිකයේත් වෙනසක් නැත. එම කඩා වැටීමේ එක් ප්‍රතිඵලයක් වන උද්ධමනය ඉහළ යාම අතින් ලංකාව දෙවැනි වන්නේ සුඩානයටත් ලෙබනනයටත් පමණි.

අද ලංකාවට හරිහමං ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් නැත. මේ නිසා රටට ආධාර ලබාදීමේදී ලෝකයේ බොහොමයක් බලවත් රටවල් කරන්නේ සුහදත්වය පා කරඇර යාම බව පැහැදිලිය. ඉන්දියාව පමණක් ඒ අතින් වෙනස්ය. ඔවුන් ශ්‍රී ලංකාවට මුදලින්, ආහාරවලින් පමණක් නොව ඉන්ධනවලින් පවා ආධාර ලබාදෙමින් සිටී. ඉන්දියාව මේ වනවිට ලොවේ ආර්ථික බලවතෙකි. ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙන ආයෝජන වඩාත්ම අවශ්‍ය මොහොතක ඉන්දියාව සතුරු කර ගැනීම කකුලට වෙඩි තබාගැනීමකි. ඉන්දියාව ලංකාවේ ආයෝජනය කරන්නේ නම් ලොවේ වෙනත් බලවත් රටවල්ද ලංකාව ගැන සුබවාදීව බලනු ඇත. අදානි වැනි ඉන්දියාවේ ප්‍රමුඛම සමාගම් සමූහයක් ලංකාවේ ආයෝජන කෙරෙහි කලකිරෙන තැනට තල්ලු කරන පසුබිමක එහෙම සුබවාදී දැක්මක් ගැන හිතන්නත් අපහසුය. ඒ අතින් බලන විට බැලූ බැල්මට පෙනී යන්නේ රටේ ආර්ථිකය අද එකම නරක් වූ අච්චාරුවක් වී ඇති බවය. මේ අච්චාරුව තවදුරටත් නරක්වීම නවත්වාගෙන හොඳ තත්ත්වයට ගැනීමට වත්මන් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට හැකියාවක් ලැබේද යන්න ඉදිරි සති කිහිපය තුළදී තීරණය වනු ඇත. මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධූරය දැරුවේ රනිල්ගේ යහපාලන ආණ්ඩුවේ බවද අමතක කළ යුතු නැත.

ආර්ථිකය ගොඩනැගීමට මොන තරම් උත්සාහ දැරුවත් රටපුරා පෙනෙන්න තිබෙන්නේ එම උත්සාහයන් තවමත් වතුරේ යන බවය. අඩුම තරමින් ඩීසල්, පෙට්රල් ටිකවත් අවශ්‍ය තරමට බෙදා දීමට හැකියාවක් නැත. භූමිතෙල්ද එසේමය. ජනතාවගේ වැඩි පිරිසක් අද ඉන්නේ මහ පාරේ පෝලිම්වලය. අත්‍යාවශ්‍ය නොවන ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වැඩ කරන්නේ සතියට දින 04ක් පමණි. මෙය තවදුරටත් රට වසා දැමීමක් තරමට ව්‍යාප්ත වනු ඇතිද යන්න පිළිබඳ සාකච්ඡාවක්ද පසුගිය සිකුරාදා (17) පැවැත්වුණත් එහිදී තීරණය වී තිබුණේ එසේ නොකිරීමටය. ඉදිරි දින දහය සඳහා ප්‍රමාණවත් තරම් තෙල් තිබෙන බවට ඇති සහතිකය මත එම තීන්දුව ගත් බවද දැනගන්නට ලැබිණි.

මේ කොහොම වුණත් රට මේ ආකාරයට දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකියාවක් නැත. පෙනෙන්නට තිබෙන ආකාරයට නම් තවමත් ලංකාවට ඉන්දියාව හැරුණුවිට ආධාර ලබා දීමට සූදානම් වෙනත් රටක් නැත. චීනය ලංකාවට උදව් කළ දීර්ඝ කාලීන මිතුරකු වුවත් ඩොලර් බිලියන 1.5ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලංකාව කරන යෝජනාවට චීනය අකැමැති වී තිබේ. මේ ගැටලු ලිහාගැනීමකින් තොරව ඉදිරියක් ගැන සිතන්නත් අමාරුය.

ලෝකයේ රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීම මගහැර යන්නේ නම් කුමක් කළ යුතුද? එසේ මගහැර යන හේතුව හෝ හේතූන් සොයා ගැනීම මුලින්ම කළ යුතු වෙයි. පිළියම් යෙදිය යුත්තේ ඉන් පසුවය. දැනට පෙනෙන්න තිබෙන ආකාරයට අනුව නම් පවතින ආණ්ඩුවට ලොවේ විශ්වාසය දිනාගැනීමට තවමත් නොහැකි වී තිබීම බරපතළ ගැටලුවකි. එයට විසඳුම හැටියට මේ රටේ අරගලය මගින් පෙන්වා දී තිබුණේ ජනාධිපති ධූරයෙන් ගෝඨාභය අස්වී යා යුතු බවය. සුමන්තිරන්ලා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂද ඒ ඉල්ලීම වෙනුවෙන් දිගටම පෙනී සිටී. නමුත් ජනාධිපතිවරයා කියන්නේ තමන් ඉවත්ව නොයන බවය. අසමත් ජනාධිපතිවරයකු වශයෙන් ධූරයෙන් සමුගැනීමට තමන්ගේ අදහසක් නැති බවය. තමන් ජනාධිපති ධූරයට පත්වූයේ 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් බවත් තමන්ගේ ඉවත්වීම තීරණය කළ යුත්තේද ජනතාව බවත්ය.

හැබැයි එහෙම කිව්වා කියා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. අපේ රටට ලෝකයේ සෙසු රටවල් ආධාර කරන්නේද නැත. මහින්ද ඉවත්වීම, බැසිල් ඉවත්වීම රටේ අභ්‍යන්තර ගැටලුවලට පමණක් සීමා වූ ඒවාය. අඩුම තරමින් තෙල් ටික හෝ ප්‍රමාණවත් තරමින් ලබා දී පෝලිම් අඩුකිරීමට හැකි නම් එය ජනාධිපතිවරයා කියන කතාවට තේරුමක් ලබා දීමකි. රටේ මුළු මහත් ජනතාවම දැඩි ලෙස අසරණ වී පෝලිම්වල රස්තියාදු වෙද්දී ආහාර හිඟයෙන් පීඩා විඳිද්දී තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයද්දී රටේ නායකයන් වශයෙන් පෙනී සිටීම පමණක් ප්‍රමාණවත්ද? එය ප්‍රමාණවත් නැත. එසේ නම් ඊළඟ විසඳුම මැතිවරණයකට යාම පමණි.

- ශශීන්ද්‍ර