2022 ජුනි 19 වන ඉරිදා

පුංචි කෑලි

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 136

බැසිල්ගේ යාම: 

ධම්මිකගේ ඒම

මේ සියල්ලේ ආරම්භය සිදුවූයේ ජූනි 04 වැනිදා සෙනසුරාදා හැන්දෑ වරුවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම සොහොයුරු හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති මන්දිරයේදී එදින සාකච්ඡාවක් පැවැත්වීය. සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේ ඒ දෙදෙනා පමණි. එහිදී සිදුවූ කතාබහ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දැනගන්නට නොලැබිණි. කෙසේ වුවද මේ සාකච්ඡාව පිළිබඳ යම් තොරතුරු දැන සිටි කිහිපදෙනා ප්‍රකාශ කළේ මේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ 21 ව්‍යවස්ථා සංශෝධනය බවය. එසේම බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් ඔහුගේ දේශපාලන අනාගතයත් සාකච්ඡාවේ සෙසු කරුණු අතර වූ බවය.

ඔහුගේ ඉල්ලා අස්වීම සහ දේශපාලන අනාගතය පිළිබඳ සාකච්ඡාවට පසුබිම වී තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂයේ ක්‍රියාකාරීත්වය පණ ගැන්වීම සදහා බිම් මට්ටමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ රුස්වීමකි. මේ රුස්වීමට කැඳවීම් ලැබුණු බොහෝ දෙනෙක් ඊට සහභාගි වීමෙන් වැළකී සිටියහ. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පහළ සාමාජිකයන් ශීඝ්‍රයෙන් පක්ෂය හැරයමින් සිටින බව පැහැදිලි පණිවුඩයක් ලබාදීමක් විය. මේ ඇතැම් පළාත්වල පොහොට්ටුවේ බිම් මට්ටමේ සාමාජිකයන් පළාතේ යූ.එන්.පී. බිම් මට්ටමේ පිරිස් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරයක්ද දැකගත හැකි වී තිබිණි. එය විශ්වාස කිරීමට පවා අපහසු තත්ත්වයක් වුවත් මේ සංඥාව සමගි ජනබලවේගයටද නරක ආරංචියක් විය. එසේම මේ කණ්ඩායම්වල වඩාත් තරුණ පිරිස් ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ වටා රොක්වන ආකාරයක්ද පෙනෙන්නට තිබිණි.

ගෝඨාභය සහ බැසිල් අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා දුරකථන ක්‍රියාකරු අමතා තමාට විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා සම්බන්ධ කර දෙන්නැයි පැවසීය. අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා ඇමතූ ජනාධිපතිවරයා ඔහුට දැනුම් දුන්නේ සඳුදා (ජූනි 06) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි සංශෝධනයේ අවසන් කෙටුම්පත සාකච්ඡාවට නොගත යුතු බවය. කැබිනට් මණ්ඩල රුස්වීම අවසානයේ කෙටුම්පතේ පිටපත් අමාත්‍යවරුන් අතර බෙදාදිය හැකි බවද ඔහු සඳහන් කළේය. 21 සංශෝධනය 13 වැනිදා සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ හැකි බවද ජනාධිපතිවරයා කීය. අමාත්‍ය රාජපක්ෂ, ජනාධිපතිවරයාගේ දැනුම්දීමට එකඟ විය. එදින කැබිනට් රැස්වීම අවසානයේ අමාත්‍යවරුන් අතට කෙටුම්පතේ පිටපත් ලැබිණි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතටද අමාත්‍යවරුන්ට ලබාදුන් පිටපතක් දැකගත හැකි විය. එය කැපී පෙනෙන වැදගත් කාරණාවලට පදනම වී තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ රැස්වීම්වලදී මතු වූ කාරණාය.

ජනාධිපති ගෝඨාභය සහ බැසිල් මන්ත්‍රීවරයා අතර ඊළඟට සාකච්ඡාව යොමුවුණේ බැසිල්ගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කළ යුතු පුද්ගලයා කවරකු විය යුතුද යන්නයි. හිටපු අමාත්‍ය බැසිල් නම් දෙකෙක් යෝජනා කළේය. ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සහ මිල්කෝ හිටපු සභාපති රේණුක පෙරේරා ඒ නම් දෙක විය. රේණුක පෙරේරා හිටපු අග්‍රාමාත්‍යවරයාගේද හිතවතෙකි. මෑත කාලයේදී රටේ විදේශ විනිමය වර්ධනය කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරමින් සිටි ව්‍යාපාරික ධම්මක පෙරේරා ජනාධිපතිගේ තේරීම විය. තම විදේශ විනිමය යෝජනා සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු රජයෙන් සහයෝගයද ඉල්ලමින් සිටියේය. ඒ අනුව ධම්මික පෙරේරා තාක්ෂණික සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කිරිමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි. අමාත්‍යංශයට අයත් විෂය පථයද ඒ අනුව ගැසට් කරනු ලැබීය. ආයෝජන මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික ආයතනය (ඉක්ටා) පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, (සර්ට්) කොළඹ වරාය නගර කොමිසම, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෙළුම් කුලුන කළමනාකරණ සමාගම, තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම, යාපනේ සහ මන්නාරමේ තොරතුරු තාක්ෂණ උද්‍යාන, කාර්මික තාක්ෂණික ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය සහ ජෛව තාක්ෂණ ප්‍රමිති ආයතනය එම විෂයන් අතර වෙයි.

ධම්මික පෙරේරා ඊළඟ බදාදා (08) නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයට ගොස් පක්ෂ සාමාජිකත්වය ගත්තේය. අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දීමෙන් පසුව ඔහුගේ ආරම්භක කාර්යයන් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමද වෙයි.

ජනාධිපතිවරයා තමන්ගේ තේරීම අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත්කරගනු ලැබූ යූ.එන්.පී.යේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධුරය හෝ අමාත්‍ය ධුරය හෝ පිළිබඳව කිසිදු දැනුම්දීමක් හෝ ඔහුගෙන් අදහස් විමසීමක් හෝ සිදුකළේ නැත. ඇතැම් යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන්ට අනුව ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික සම්බන්ධතා හේතුවෙන් ව්‍යාපාරික පැළැන්තිය අතර ඔහුට උණුසුම් පිළිගැනීමක් නොලැබීමටත් මතවාදී ගැටුම් ඇතිවීමටත් හේතුවිය හැකියාව තිබේ. ධම්මික පෙරේරාගේ පත්කිරීම අග්‍රාමාත්‍යවරයා හොබවන මුදල් අමාත්‍ය ධුරයේ මෙහෙයුම් කටයුතු බාල කිරිම සඳහා සොහොයුරන් දෙදෙනා විසින් දරණ වෑයමක් විය හැකි බවටද යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් අතර මතයක් පැතිර යමින් තිබේ. එසේ වුවහොත් එය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අන්තර්වාර රජයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් යැවෙන වැරදි සංඥාවක් විය හැකි බව නම් සඳහන් කිරීමට අකැමැති යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

- සන්ඩේ ටයිම්ස්