2022 ජුනි 12 වන ඉරිදා

අලුත් ඇරඹුමක්

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 572

ගෝඨාගෝගම අරගලයේ ආරම්භය නිල වශයෙන් සඳහන් වන්නේ අප්‍රේල් 09 වැනිදාය. ඒ වන විටත් රටපුරා ඇවිළ යමින් තිබූ උද්ඝෝෂණ සහ විරෝධතා රුල්ල ගෝල්ෆේස් පිටිය සහ ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට දක්වා ගොනු වී නොනවතින අරගලයක ඇරඹුම එදා එසේ සටහන් විය.

හරියටම එයින් මාසයකට පසුව මැයි 09 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්විය. එය කිසිසේත් ගෞරවාන්විත සමුගැනීමක් නොවූ අතර තිබූ සියලු ගෞරව අකාමකා දැමූ මෙරට දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් ඇතිකළ කළු දිනයක් බවට පත් විය. එහෙත් එම අරගලයේ සැකැස්ම හරිහැටි හඳුනා නොගැනීමේ ප්‍රතිවිපාක විඳීමට ආණ්ඩුවට සිදුවිය. එහි කම්පනයෙන් මිදීමට තවමත් ආණ්ඩුවට හැකි වී නැත. ජන අරගලයක් අරඹා හරියටම මාසයකට පසුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩුවකට මෙසේ ඉල්ලා අස්වීමට සිදුවූයේ ඉතිහාසයේ පළමු වතාවටය. රටේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ අග්‍රාමාත්‍යවරයකුට එසේ සිදුවීම දෛවයේ සරදමක් බඳු විය.

අරගලය අරඹා හරියටම මාස 02 සම්පූර්ණ වූ ජූනි 09 වැනිදා බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විය. බැසිල් පොහොට්ටුවේ නිර්මාතෘවරයාය. ආණ්ඩුව ඇතුළේ තිරය පිටුපස බලවත්ම චරිතය වී සිටියේ බැසිල්ය. ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුගිය වසරේ ජූලි මාසයේදී මුදල් අමාත්‍ය ධූරයටද පත් කරනු ලැබීය. එවිට රටේ ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති තිදෙනා අයියලා මල්ලිලා වූහ. මෙය රටේ දේශපාලන උණ තිබූ බොහෝ දෙනකුට දිරෙව්වේ නැත. පොහොට්ටුව ඇතුළේ පිරිසකටද පහසුවෙන්ම මේ උණ වැළඳුණේය. එය ටිකෙන් ටික බැසිල් අජීර්ණයක් දක්වා උත්සන්න විය. රටට තෙල් මිලදී ගැනීමට තිබෙන ඩොලර් මදි බවටත් සංචිතය දියවෙන බවටත් මේ උණ සහ අජීර්ණය වැළඳුණු පිරිස ප්‍රසිද්ධියේ රට හමුවේ ප්‍රකාශ කිරීමද ඇරඹිණි. පොහොට්ටුව ඇතුළෙන් ක්‍රුක් වෙන බව එළියේ සිටින අයට ද පෙනී ගියේය. ඒ එක්කම මේ අජීර්ණය වැළඳුණු පිරිසක් සමඟ ආණ්ඩුව සෙසු හවුල්කාර පක්ෂ ගණනාවක්ම කැඩී ගියේ අරගලයේ ඝෝෂාව රට පුරාම රුව් පිළිරුව් දෙමින් තිබියදීය.

එහෙත් අරගලයේ ප්‍රධානම සටන් පාඨය වූ ගෝඨාභය මහතා ජනාධිපති තනතුරින් ගියේ නැත. එසේම අප්‍රේල් 09 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට හැකි වූයේ නැත. ඔහු තවමත් ගත කරන්නේ ජනාධිපති මන්දිරයේය. එහෙම සිටිමින් ඔහු රනිල්ට අගමැතිකම බාරදී පසුව මුදල් ඇමැතිකමද පවරා දී කෑලි පූට්ටු කළ ආණ්ඩුවක් ගෙන යයි. ඒ අතරතුරදී රටේ ආර්ථික තත්ත්වය තිබුණු තැනිනුත් පහළට වැටෙමින් තිබේ. එහි බරපතළකම අග්‍රාමාත්‍ය රනිල් වරින් වර විශේෂ ප්‍රකාශ මගින් රට හමුවේ ප්‍රකාශ කළේය. එහිදී එකම විසඳුම වශයෙන් ඉදිරිපත් වුණේ අයි.එම්.එෆ්. සරණ යන බවට සඳහන් කිරීම පමණි.

මහින්දගේ අස්වීමේ සිට බැසිල්ගේ අස්වීම දක්වා බොහෝ දේ දේශපාලන කරළියේත් රට තුළත් සිදුවිය. අරගලයේ ජීව ගුණය අඩු වී ගියත් පිරිස් ප්‍රමාණය අඩු වුණත් ඊට සම්බන්ධ වූ සියලු දෙනා තම පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් සිටිති. දූෂිත රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් කිරීමේ සිහිනය සැබෑවක් කර ගැනීමේ සටන ඔවුන් තවමත් අතහැර දමා නැත. ඔවුන්ගේ මූලික ඉල්ලීම වී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. එය සිදු වුණේ නැත. ඒ වෙනුවට අරගලය මුල් කාලයේදී ජනාධිපති ධූරයේ බලතල අඩුකර ඒවා පාර්ලිමේන්තුවට පැවරීමට කැමැත්තෙන් සිටි ජනාධිපති ගෝඨාභය දැන් ප්‍රකාශ කරන්නේ වෙනත් දෙයකි. අග්‍රාමාත්‍යවරයා පත්කිරීම පමණක් නොව අමාත්‍ය ධූර දැරීමට තිබෙන අයිතියක් ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගැනීමට තිබෙන බලතලත් අඩුකර ගැනීමද ඔහු ප්‍රතික්ෂේප කරයි. පසුගියදා බ්ලූම්බර්ග් රෑපවාහිනී නාලිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් අසමත් වූ ජනාධිපතිවරයකු වශයෙන් ඉවත්ව යාමට සූදානම් නැති බවය. තමා සිය ධූර කාලය සම්පූර්ණ වනතුරු සිටින බවද යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවද ඔහු කියා තිබිණි.

මේ කියන්නේ අරගලය යළිත් ආරම්භක ස්ථානයටම පැමිණ තිබෙන බවය. තම ධූර කාලය අවසන් වනතුරු ඔහු ධූරයෙන් යන්නේ නැත. නීත්‍යානුකූලව ජනාධිපතිවරයකු ගෙදර යැවීමට නම් දෝෂාභියෝගයක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේදී එය සම්මත කරගත යුතුය. පොහොට්ටුව ඇතුළේ මොන ප්‍රශ්න තිබුණත් ජනාධිපතිට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට ඔවුන් කැමැත්ත දෙන්නේ නැත. ජනාධිපතිවරයා ගෙදර යවා තමන්ගේ සියලු දේ නැතිකර ගන්නවාට වඩා පුළුවන් තරම් කල් ආණ්ඩු බලය පවත්වාගෙන යාම ඔවුන්ගේ කැමැත්තය.

හැබැයි බැසිල්ගේ හදිසි ඉවත්වීමත් සමඟ පොහොට්ටුව ඇතුළේ පවතින ගැටුම් තවත් උග්‍රවීමට තිබෙන ඉඩකඩද වැඩිය. බැසිල් තමන්ගේ ඉවත්වීම ප්‍රකාශ කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහුගේ සහායට හිටියේ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් පමණි. සිනාමුසු මුහුණින් බැසිල් මාධ්‍යයට කළ ප්‍රකාශයේ ඔහු ආගමනය සහ නික්ම යාම ගැන පැහැදිලි කළේය.

ජනතාවට බලය දෙන ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කියූ බැසිල් 21 සංශෝධනයට විරුද්ධ බවද කිව්වේය. ජනපති පත් කළ පුද්ගලයකුට අගමැති බලය දීමෙන් ගැටලු ඇතිවෙනවා. ස්වාධීන කොමිෂන් සභාවලට මා කැමතියි. මා දැන් පාර්ලිමේන්තුවට වැඩක් නෑ. මා පාර්ලිමේන්තුවට ආවේ මුදල් අමාත්‍යාංශය බාරගන්න කියූ නිසයි. ඒ ධූර අතහැරියම විධායක කටයුතුවලින් මා ඉවත් වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. පුද්ගලයන් චේන්ජ් එකක් නොවෙයි. අපි මෙතෙක් කාලයක් කරලා තියෙන්නේ පුද්ගලයන් මාරු කිරීම. ඉදිරියේදී පුද්ගලයන් චේන්ජ් එකක් නැතුව සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

තමා කළ කී දේ පිළිබඳ දීර්ඝව කරුණු කියපු බැසිල් ජාතික ලැයිස්තුවෙන් තමන් ඉවත් වී ලබා දුන් ආදර්ශය අනෙක් අයත් ලබා දී අලුත් පිරිස්වලට තැන දෙන්නැයි ඉල්ලීමක්ද කළේය. ලංකාවේ ජනතාව රාජපක්ෂලා තුන් පාරක් තේරෑ බව අමතක නොකරන්නැයි කියූ බැසිල් පොහොට්ටුව හැටියට ඡන්දයකට යන්න සූදානම් බවත් ජනතාව දෙන තීන්දුවට හිස නමන බවත් කිව්වේය.

ආණ්ඩුව පසුපස සිටි දැවැන්ත දේශපාලන මොළය හැටියට සැලකුණු බැසිල් මෙහෙම කියා අයින් වුණේ ඇයිද කියන එකත් දේශපාලන ගේම් එකක් හැටියට සලකන පිරිසක්ද වෙති. ඒ වගේම තමා ආණ්ඩුවේ රාජ්‍ය පාලනයෙන් ඉවත් වුණත් දේශපාලනය තුළ දිගටම ඉන්න බවත් කීම අනාගතය ගැන ලබා දුන් සිග්නල් එකක් වෙන්නත් බැරි නැත. විවිධ දේශපාලන සන්ධාන බිහිවෙන බවට දේශපාලන කරළියේ හැම පැත්තෙන්ම කතා ඇහෙන විට ඒ තත්ත්වයට මුහුණදීමේ පියවරක් හැටියට ආණ්ඩුවෙන් පැත්තකට ගොස් තමන් දන්නා දේශපාලනය හරහා යළිත් ඊළඟ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවක බැසිල් ඉන්නවා දැයි කියන්නත් බැරිය. එහෙත් යළිත් වරක් වෙනත් පුද්ගලයකු වෙනුවෙන් දරදිය ඇදීමට තමන් සූදානම් නැති වග ඔහු පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි.

බැසිල් ආණ්ඩුවෙන් නික්ම යාම රාජපක්ෂ දේශපාලනයේ අවසානයක ආරම්භය යැයි සමහරුන් සිතන බවද පෙනේ. ජනාධිපතිවරයා සිටියදීම මතභේදාත්මක අයුරින් අගමැති මහින්ද අස්වීමත් රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ හිටපු අගමැති මහින්ද අවශ්‍ය වෙලාවෙදි තනතුරු අතනොහැරීම ගැන විවේචනයක යෙදීමත් මේ හා බැඳී පවතින සෙසු සිදුවීම්ය. දැන් කැබිනට් මණ්ඩලය තුළ එකම රාජපක්ෂවරයකුවත් නැත. එහෙම තත්ත්වයක් ඇතිවනු ඇතැයි මීට මාස 06කට පෙර රාජපක්ෂලා තබා විපක්ෂයේ බොහෝ දෙනකුත් නොසිතූ බවත් පැහැදිලිය. එහෙත් මේ බව තේරුම් ගිය පිරිසක් ආණ්ඩුවේ සිටි බව සැබෑ තත්ත්වයයි. නමුත් ඔවුන්ට තමන්ගේ හඬ අවදි කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙම ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන හඬක් නැගූ බොහෝ දෙනකුට සිදු වුණේ සද්ද වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න එකය. අරගලය සමඟම පොහොට්ටුව ඇතුළෙන් කුට්ටි කැඩී යාම, ස්වාධීන වීම එහි අනිවාර්ය ප්‍රතිඵලය විය

කොවිඩ් වසංගතයෙන් රට බරපතළ කඩා වැටීමකට ලක්වන විට ආණ්ඩුව ඇතුළේ හිටපු වගකිව යුතු කිසි කෙනකුත් වසංගතයට පසුව උදාවන කාලසීමාවට මුහුණ දිය යුතු ආකාරය ගැන නිසි හැදෑරීමක් කළේ නැත. මුලින්ම මේ ඔක්කොම කළේ වසංගතය අස්සේම මහ ඡන්දය කියා තුනෙන් දෙකකට ආසන්න ජයක් ලබාගැනීමය. එහිදී වසංගතය පාලනයට ආණ්ඩුව දියත් කළ සාර්ථක වැඩපිළිවෙළ හොඳට මාකට් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එහි ප්‍රතිඵලය ගෙඩි පිටින්ම නෙලා ගැනීමටද ආණ්ඩුවට හැකි විය. ඒ තරම් ජයක් ලැබුවත් එයින් සෑහීමකට පත් නොවී තුනෙන් දෙක හදාගැනීමට විපක්ෂයේ සජබ පිරිසක් එකතු කර ගැනීමටද ආණ්ඩුව සැලසුම් කළේය.

මේවා දේශපාලනයේ හොඳ ගේම් වුණත් තමන්ගේ මූලික කාර්යය වුණු රට ගොඩගැනීමේ ක්‍රියාවලියට තැනක් දුන්නේම නැත. එදා වේල වැඩසටහන් ක්‍රියාත්මක කළත් රට ඇතුළේ නාඩි වැටෙන හැටි හඳුනා ගැනීමට කවුරුත් උනන්දු වුණේ නැත. රාජපක්ෂලා රට පාලනය කරනවා නම් ජනතාව බඩගින්න වුණත් දරාගෙන ඔලුව නවාගෙන සිටිනු ඇතැයි ඔවුන් සිතා සිටියා විය යුතුය. එය විශාල වැරදීමක් බව වැටහෙන විට රට ඇතුළේ අර්බුදය මෝරා යමින් තිබිණි. ජනාධිපති ගෝඨාභයගේ මිරිහාන නිවෙස ඉදිරියේ එය පුපුරා යන විටත් සමහරුන් සිටියේ මර නින්දේය. එහෙත් රාජපක්ෂවරුන් ගෙදර යා යුතු යැයි කියන සටන ඇරුඹෙන විට මේ සියලු දෙනා නින්දෙන් නැගිටුණෝය. වටපිට බලන විට රාජපක්ෂලා තවදුරටත් තමන්ගේ ගැලවුම්කාරයන් නොවන බවත් විධායක බලතල සහ තුනෙන් දෙකේ බලය ජනතාවගේ කුසගින්න, අවිනිශ්චිත අනාගතය, දූෂණ, වංචා වලින් යටපත්ව යමින් තිබූ බවත් වැටහුණේය. ආණ්ඩුව කැඩී යාමත් වැලේ වැල් නැතිව සිටි විපක්ෂය බලවත්ව නැගී ඒමත් දැකගන්නට හැකි විය. මුළු රටම රාජපක්ෂලා ගෙදර යා යුතු යැයි කියන විට මේ කාටවත් කටඋත්තර නැති විය.

අප්‍රේල් 09 වැනිදා සිට ජූනි 09 වැනිදා දක්වා රටේ දිගහැරුණු දේශපාලන ජවනිකා ටික පෙළගස්වා ගත් විට බැසිල් ගියාද නැත්නම් යැව්වාද යන්න තේරුම් ගැනීම අමාරු නැත. බැසිල් ආණ්ඩුවෙන් ඉවත් වන විට මොනවා කිව්වත් හරි ඇත්ත දන්නේ ඔහුගේ හෘද සාක්ෂියය.

දැන් රටේ දේශපාලන කරළිය සම්පූර්ණයෙන් වෙනස් වෙමින් තිබේ. සමහර අවස්ථාවලදී ආණ්ඩුවක් තිබේද යන්නත් වටහා ගැනීමත් අමාරුය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පැවැරී තිබෙන වගකීම ඔහුට දරාගත හැකිද යන්නත් විශ්වාස නැත. මේ පවතින තත්ත්වය ගැන බැසිල් අස්වූ දවසේ චම්පික රණවක මන්ත්‍රීවරයා අපූරු කතාවක් කියා තිබුණි. 

මේ අවස්ථාවේ රටේ ඇති ප්‍රශ්නයට යුක්ති සහගත විසඳුම බැසිල් මහතා මෙන්ම මහින්ද, නාමල්, චමල්, ශශීන්ද්‍ර, නිපුණ යන රාජපක්ෂ පවුලේ සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් ඉවත් වීමයි. බැසිල් මහතා සද්භාවයෙන් ඉවත් වී තම රටට යාම මේ රටට ලොකු උදව්වක්. 

එහෙම කියූ ඔහු මෙසේද කිව්වේය.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට අගමැතිතුමාට ගල් පෙරළන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි අගමැතිතුමා සාධාරණ කාලයක් තුළ කාරණා ඉෂ්ට කළ යුතුයි. රටේ අරගලය නැවතිලා නෑ. මේක අපායේ ඉන්ටවල් එකක්. ඒක භයානක ප්‍රචණ්ඩ තත්ත්වයකට එන්න පුළුවන්. 

බැසිල් ගියේ ඉන්ටර්වල් එක ඉවර වෙන්න කලින් දැයි කියන්නත් බැරිය.

ශශීන්ද්‍ර