2022 ජුනි 12 වන ඉරිදා

තුන් වේලෙන් එක වේලට!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 94

ඉතාම අමාරු සති තුනක කාලයක් පිළිබඳව පසුගියදා රටට අනතුරු ඇඟවීමක් කෙරිණි. අදාළ සති තුන ඇරඹෙන්නේ කවදාදැයි හරි හැටි ප්‍රකාශ නොවුණද මේ අප ගත කරමින් සිටින්නේ එහි ආරම්භක අවස්ථාව බව දැනෙමින් තිබේ. සහල් මිල හිටිහැටියේ රුපියල් තිහ හතළිහකින් නැග්ගේය. සුදු සහ රතු කැකුළු සහල් මිල දැන් රුපියල් 250 ඉක්මවා තිබේ. එය 300ට යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

අමාරු කාලයට පසුව සාගතයක් බඳු ආහාර අහේනියක් ඇතිවන බවටද අනාවැකි පළ විය. ඇතැම් කෘෂි විද්‍යාඥයන් එවැනි ආහාර නොමැති කාලයක් උදාවනු ඇති බවට පුරෝකතනය කළත් එම මතයට එකඟ නොවන එවැනි කාලයක් කවදාවත් උදා නොවන බවට ප්‍රකාශ කරන විද්‍යාඥයෝද වෙති. එහෙත් අතේ සල්ලි තිබුණත් කන්න කැමැති ආහාර සපයා ගැනීම දුෂ්කර වනු ඇති බව නම් ඇඟට දැනෙමින් තිබේ. අතේ තිබෙන මුදලට පෙට්රල් ගහගෙන ඒ වාහන නිවෙස්වල තබා පොදු ප්‍රවාහනයේ පිහිට පැතීමට බොහෝ දෙනකුට සිදුව තිබීමෙන් පෙනී යන්නේද එවැනි තත්ත්වයකට රට පා තබමින් තිබෙන බවය. උදාවෙමින් තිබෙන අර්බුද සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හැරගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ රජය කිසිවක් ප්‍රකාශ කරන්නේද නැත.

පවතින ගැටලු සම්බන්ධයෙන් රටේ මහජනතාවද දැනුම්වත් වීම අවශ්‍යය. වෘත්තීය සමිතිද වෘත්තිකයන්ගේ සංවිධානද එහිදී සිටිය යුත්තේ මහජනතාවට වඩා ඉදිරියෙනි. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති ගණනාවක් රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව රටේ ජනතාව ප්‍රාණ ඇපයට ගැනිමේ තීන්දුවක් ගෙන තිබිණි. කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කරන ලද වාරණ නියෝගය නොවන්න රට පැය ගණන් අඳුරේ ගිලී යාමටද ඉඩ තිබිණි. අමාරුම සති තුනක් පිළිබඳව සහ සාගතයක් පිළිබඳ අනතුරු ඇඟවෙමින් තිබියදී විදුලිබල පනත සංශෝධනය කිරීමට සහ ප්‍රධාන පෙළේ සුළං බල ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ගත් ඒකපාර්ශ්වීය තීන්දුවට එරෙහිව රටට විදුලිය සැපයීමෙන් ඉවත්වීමට විදුලි ඉංජිනේරු සංගමය ගත් තීරණය පැහැදිලිවම සාධාරණ නැත. රටේ ජනතාව අනන්ත දුක් විඳිද්දී ඒ ගැන සැලකිල්ලක් නොදක්වා මෙසේ කටයුතු කිරීම වෘත්තිකයන්ගේ සංවිධානයකින් අපේක්ෂා නොකෙරෙන බවද කිව යුතුය.

මේ පසුබිම යටතේ අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ බරපතළ හිඟයකට රටම මුහුණ දෙමින් සිටී. විදුලි ඉංජිනේරු සංගමය මෙන්ම ඇතැම් සහල් මුදලාලිලා සහ වී මෝල් හිමියන්ද අත්තනෝමතික ලෙස ගන්නා තීරණ හේතුවෙන් සහල් හිඟවීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් සහල් මිල ඉක්මණින්ම ඉහළ යාමත් සිදුවන බවටද චෝදනා නැගෙයි. වී මෝල් හිමියන්ට සහ සහල් වෙළෙඳුන්ටද බලපාන විවිධ ගැටලු තිබිය හැක. එහෙත් රටේ සමස්ත ජනතාව අද ඉන්නේ මහත් දුෂ්කර තත්ත්වයක බව තේරුම් ගෙන තම ව්‍යාපාර මෙහෙයවීමට ඔවුන්ට හැකි විය යුතුය. ජනතාවට මිලදී ගත නොහැකි මට්ටමකට සහල් මිල ඉහළ යාම සහල් වෙළෙඳාමේ අනාගතයටද අහිතකර ලෙස බලපාන සාධකයකි.

දුෂ්කර කාල සීමාව සහ සාගතය පිළිබඳ අනාවැකි හේතුවෙන් රටේ ජනතාවද හැකි හැමතැනකම සුළු දෙයක් හෝ වගාකර ගැනීමට පෙළඹී සිටීමටද යහපත් ප්‍රවණතාවකි. රටේ කෘෂිකාර්මික ජීවන රටාව උඩු යටිකුරු කළ රසායනික පොහොර තහනම මේ මහා ව්‍යසනයට මග පෑදූ බවද සඳහන් කළ යුතුය. එය ආපසු හැරවීම පහසු නැත. එහෙත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. නිවෙස්වල ඉඩ ඇති ස්ථානවල පමණක් නොව මල් පෝච්චිවල පවා එළවළුවක් දෙකක් වගා කිරීමට ජනතාව පෙළඹුණේද මේ පසුබිම හේතුවෙනි. නමුත් මෙය ගැටලුව විසඳන තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. සැබෑ විසඳුම් සෙවීම සඳහා රජය අප්‍රමාදව ක්‍රියාකළ යුතු වෙයි.

රට මුහුණදී සිටින සැබෑ තත්ත්වය සැඟවීමට රජයට දැන් හැකියාවක් නැත. තුන්වේලෙන් එක වේලට බහින අර්බුදයක් කරා රට තල්ලුවෙමින් තිබෙන බව රජයට කල් තබා තේරුම් ගැනීමට නොහැකි වීම ලොකුම කනගාටුවය. රටට ගෙන්වා ගත් භාණ්ඩ කන්ටේනර් සිය ගණනින් වරායේ ගොඩගැසෙද්දීත් රජය සිටියේ නොදැක්කා සේය. හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා &ඇපල් ඇත... පෙට්රල් නැත* න්‍යායෙන් ඇතිවිය හැකි තෙල් අර්බුදය පිළිබඳ අනතුරු අඟවද්දී පොහොට්ටුවේ සෙසු මැති ඇමැතිවරුන් අමාත්‍යවරයාට බැණවැදුණා මිස ගැටලුව තේරුම් ගෙන කටයුතු කළේ නැත. අඩුම තරමින් ඒ අවස්ථාවේදී හෝ පැවැති තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළා නම් අද සාගතයක් පිළිබඳ මාතෘකාවක් එන්නට ඉඩක් නැත.

පසුගිය සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කෙරුණු බදු හේතුවෙන්ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තවදුරටත් ඉහළ යනු ඇත. මහ බැංකු වාර්තාවලට අනුව මේ වසරේ අප්‍රේල් මාසය වනවිට තිබූ 46.6෴ක ආහාර උද්ධමනය මැයි මාසය වනවිට 57.4%ක් දක්වා නැග තිබිණි. එසේම මාස තුනකට පෙර රුපියල් 4199කට අලෙවි කළ ලාෆ්ස් ගෑස් ටැංකිය මේ වනවිට රුපියල් 6850කි. ආණ්ඩුව දැන්වත් රටේ ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන වහාම ක්‍රියාත්මක විය යුතුය. තුන්වේල එකවේලක් බවට පත්කළ ආණ්ඩුවක් වශයෙන් හංවඩු ගැසීමට කිසිම ආණ්ඩුවක් කැමැති නැත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00