2022 මැයි 22 වන ඉරිදා

අඳුරු චිත්‍රය සොඳුරු කරමු

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 145

මැයි 09 වැනිදා කළු දිනයේ අරගලයට සිදුකළ පහරදීමත් එයට ප්‍රතිචාර ලෙස රාත්‍රියේ සිදුකළ මැර ක්‍රියාත් තවමත් රාව ප්‍රතිරාව දෙමින් තිබේ. පාර්ලිමේන්තුව තුළද මේ පිළිබඳ විවාද පැවැත්විණි. එහිදී මැර ක්‍රියා සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගැනීම්ද සිදුවිය. පක්ෂ භේදයකින් තොරව පොලීසියටද ඇඟිල්ල දිගු කිරීමට මන්ත්‍රීවරු ක්‍රියා කළහ. පිරිසක් පැවසුවේ ගෝල්ෆේස් අරගලයට පහරදීම වැළැක්වීමට පොලීසිය ක්‍රියා නොකළ බවය. අනෙක් පිරිසේ චෝදනාව වූයේ තමන්ගේ නිවාස සහ දේපළ ගිනි තබා වනසද්දී පොලීසිය නිකම් බලා සිටි බවය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ දේපළ ගිනි තැබීම් සම්බන්ධයෙන් මේ වනවිට දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය හමුවට පැමිණවීමට පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. ඒ අතරින් ඇතැමුන් ඇප මත නිදහස් කරනු ලැබ සිටින අතර සෙසු පිරිස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටිති. පොලීසිය පවසන්නේ සී.සී.ටී.වී. කැමරා සාක්ෂි සහ වෙනත් වාචික සාක්ෂි මත පදනම්ව මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ලබාදෙන ලැයිස්තුවලටද සමහරුන් අත්අඩංගුවට ගන්නා බවකි.

මේ කෙසේ වුවද කලහකාරී මැර ක්‍රියාවලට සම්බන්ධ වූවන්ට නීතිය මගින් දඬුවම් පැමිණවීම ප්‍රමාද කළ යුතු නැත. දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වී නඩු නැතිව නිදහස් වීමට හැකි බවට වන පූර්වාදර්ශයක් ලබාදීමෙන් වැළකීමට නීතිය ක්‍රියාත්මක කරවන අය සියලු පියවර ගත යුතුය. එහෙත් දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීමට කිසිවකුගේ හෝ නම් ගම් ලබාදී ඇත්නම් ඒවා වළක්වා ගැනීමට වග බලාගැනීමද සිදුවිය යුතුය. නැතහොත් මේ ගැටලුව තවදුරටත් සංකිර්ණ වී රටේ ආරක්ෂක තත්ත්වය පිරිහීමටද හේතුවණු ඇත.

එහෙත් කනගාටුවට කරුණ වන්නේ පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රධානම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීමය. තවමත් පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එකට එකතු වී දරුණු අගාධයකට වැටී සිටින රට එයින් යන්තම් හෝ ඔසවා තැබීමට සාමූහිකව කටයුතු කිරීමට නොහැකිව තිබේ. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යළිත් වරක් ඡන්දයක් පැවැත්වීමට සිදුවීමෙන් මේ බව හොඳින්ම පැහැදිලි විය. එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් හෝ එකඟතාවයකට පැමිණිය නොහැකි පිරිසක් තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීම ගැන මහජනතාව තුළ ඇතිවිය හැක්කේ කලකිරීමක් පමණි. මේ කලකිරීම්වලට රටම පෙළන ප්‍රශ්නද එකතු වූ විට මැවෙන්නේ මහා අඳුරු චිත්‍රයකි.

ගෑස්, ඉන්ධන, අර්බුදයට තවමත් විසඳුම් නැත. රටපුරා ඉමක් කොනක් නොපෙනෙන ඉන්ධන පෝලිම් තවමත් දික්ගැසෙමින් තිබේ. සති අන්තය වනවිට ඩීසල් සහ පෙට්රල් ලබාදීම තරමක් යහපත් අතට හැරෙනු ඇති බවට අග්‍රාමාත්‍යවරයාද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාද අනාවැකි පළකර තිබිණි. මෙවැනි අනාවැකි මීට පෙරද අසන්නට තිබිණි. එහෙත් ඉන්ධන ප්‍රශ්නය විසඳුණේ නැත. සිදුවුණේ එය බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය වීම පමණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පාරේ දුවන මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල්වලට වඩා ප්‍රමාණයක් ඉන්ධන පිරවුම්හල් අසල ඇති පෝලිම්වල නවතා තිබේ. මෙය දවසකින් දෙකකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවට එය පෙර නිමිත්තකි.

භාරදූර අවස්ථාවක රටේ ආර්ථිකය හැදීමේ වගකීමද ගනිමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාටද මේ ගැටලු තනිව විසඳිය නොහැක. ඒ බව පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ මගින් අවබෝධ කරගත යුතුය. වැඩේ ගැස්සුණොත් අමාරුවේ වැටෙන්නේ එක් දේශපාලන පක්ෂයක් නොවේ. සියලු දෙනාමය. දේශපාලන වෙට්ටු දැමීම් දැන්වත් නවත්වා වැටී තිබෙන තැනින් රට ගොඩගැනීමට සියලුදෙනාගේ කැපවීම අවශ්‍යම මොහොත එළඹ තිබේ. ඒ ගැන සියලු මැති ඇමැතින්ගේ අවධානය යොමුවිය යුතුය.

ගෝල්ෆේස් අරගලය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බවය. පැලැස්තර විසඳුම්වලින් පලක් නැත. පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පරම්පරා ගාණකට හම්බ කර ගැනීමට බව පොදු මහජනතාව තුළ පවතින මතයයි. පාර්ලිමේන්තුවේ දැන් සිටින මන්ත්‍රීවරුන් කළ යුත්තේ එම මතය නැතිකර දැමීමට කටයුතු කිරීම මිස එතුළ සිටිමින් දේශපාලන ගේම් ගැසීම නොවේ. දශක ගණනාවක් තිස්සේ ගැසූ දේශපාලන ගේම්වලින් රටට සිදුව ඇති විපත හොඳටම ප්‍රමාණවත්ය. මේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනයට දැන්වත් පාර්ලිමේන්තුව කටයුතු නොකරන්නේ නම් එය රටේ ජාතියේ අවාසනාවක් බව සඳහන් කරනු වටී.

විශේෂ වරප්‍රසාද සහිතව දිගටම මන්ත්‍රී, ඇමැති ධුර දැරීමට හැකිවනු ඇති බවට යම් මන්ත්‍රීවරයකු තුළ විශ්වාසයක් ඇත්නම් අපට කිව හැක්කේ ඒ ගැන ඇති විශ්වාසය අත්හරින ලෙසටය. ඒ වෙනුවට සියලු දෙනා එකතු වී රටම ගොඩගත යුතු පදනමක් නිර්මාණය කර ගැනීම අවශ්‍යය. ගෝල්ෆේස් අරගලයට පොලු පහරදී මේ ගැටලුව විසඳාගත හැකි බවට ඇතැම් මැති ඇමැතින් තුළ විශ්වාසයක් තිබුණා නම් මේ වනවිට එයද සේදී ගොස් තිබිය යුතුය. මේ තත්ත්වය වෙනස් කිරීමට අද කළ යුතු දේ අදම කළ යුතුය. ඉන්නේ වෙඩි බෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු කිරීමට අවස්ථාවක් නැත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00