2022 මැයි 22 වන ඉරිදා

විනය පරීක්ෂණ තියන්න කතා කරන අයත් ආණ්ඩුව එක්ක කතා කළා

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 130

- කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය  මනූෂ නානායක්කාර

♦ රාජිත සේනාරත්නලා කියන දේවල් නිසයි 225ම එපා වෙන්නේ
♦ මම රටට ඩොලර් සොයන ඇමැති කෙනෙක්
♦ 'ගෝ හෝම් ගෝඨා' කියන කතාවෙ වෙනසක් නැහැ
♦ මකරගෙ කටටයි පැන්නෙ
♦ සමගි බලවේගය හරිතැනට ගේනවා
♦ ඇමැතිකම කියන්නෙ කටු ඔටුන්නක්
♦ සජිත් මහත්තයා අපේ ලොකු අයියා වගෙයි
♦ අපි නිර්පාක්ෂිකවයි ඉන්නෙ

මුලින්ම ඔබට සුභ පතනවා අලුත් ඇමැති ධුරය සම්බන්ධයෙන්. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි ඇයි මෙවැනි තනතුරක් බාරගන්න ඉදිරිපත් වුණේ?

මගේ පාර්ලිමේන්තු ජීවිතය ඇතුළේදී කවදාවත් ජනප්‍රිය තීන්දු ගත්නේ නැහැ. මම හැමවෙලාවේම ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගත්තේ. රටේ ඇතිවුණා ආර්ථික අර්බුදයක්. ඒ එක්කම විශාල දේශපාලන අර්බුදයකුත් ඇතිවුණා. දේශපාලන අර්බුදය විසඳෙනකම් ආර්ථික අර්බුදය විසඳෙන්නේ නැති තත්ත්වයකට මේ රට පත්වුණා. මේ තත්ත්වය නිසා මිනිස්සු රට පුරා පෝලිම්වල දුක් විඳින තත්ත්වයට ආවා. මිනිස්සු දුක් විඳලා මැරෙන තත්ත්වයට පත්වුණා. ඒ වගේම බෙහෙත් නැතිව රෝහල් බොහොමයක බරපතළ තත්ත්වයක් ඇතිවුණා. දරුවන්ට කිරිපිටි ටිකක්වත් නැහැ. තවදුරටත් දෙපැත්ත බෙදිලා ප්‍රශ්න ඇද ඇද සිටියොත් මිනිස්සු ඉදිරියේදී සමහරවිට යම් යම් අපරාධවලට යොමුවෙන්න පුළුවන්. ඒ නිසා එන්න එන්න අර්බුදයකට තමයි රට යමින් තිබෙන්නේ. 

දැනටත් ඔය ප්‍රශ්න තිබෙනවානේ?

ඔව්. ප්‍රශ්න තිබෙනවා. අපි ඒ නිසයි දේශපාලනික විසඳුමක් ඒ සඳහා සහාය දෙන්න පුළුවන්ද කියලා නිතරම පාර්ලිමේන්තුවේ හඬක් නැගුවේ. ඒ නිසයි අපි එකතුවෙලා මේ රට ගොඩනගමු යැයි මුල ඉඳන්ම කිව්වේ. මේක අපේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඉතාම බරපතළ තීන්දුවක් ගත් අවස්ථාවක්. ඇත්තටම මකරාගේ කටට පැන්නා වගේ වැඩක් කළේ. හැබැයි අපට ඕන මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් තත්ත්වයක් සහ දේශපාලන ස්ථාවරයක් හදලා දෙන්න.

මම මේ අහන්නේ ජනතාවගේ හිතට දැනෙන ප්‍රශ්නයක්. ඒ තමයි මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ ඇමැති පට්ටම් ගත්තේ වරදාන වරප්‍රසාද නිසා කියලා. ඇමැති සැපට තියෙන ආසාව නිසා කියලා?

මේ අමාත්‍යංශ බාර ගන්නවා කියන්නේ කටු ඔටුන්නක් දා ගන්නවා වගේ වැඩක්. අපි ඒවා බාරගත්තේ කිසිම ආර්ථික වරප්‍රසාදයක් ඇමැති වරප්‍රසාදයක් ලබා නොගෙන. මේ රටේ දැනට තිබෙන මූලික ප්‍රශ්නය තමයි ඩොලර් ප්‍රශ්නය. ඒ ඩොලර් හොයන්න පුළුවන් අමාත්‍යංශයක් බාර ගත්තේ ඒ අභියෝගය ජයගන්න ඕන නිසා. මේක විශාලම වගකීමක්. මෙහි ඇති වරප්‍රසාදයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක් ගන්නෙ නැති තීන්දුවක් තමයි මම ගත්තේ. දේශපාලනය ගැන හිතන කෙනෙක් නම් කිසිම විදිහකින් මෙවැනි තීන්දුවක් ගන්නේ නැහැ. මම කිසිම විදිහකින් මගේ දේශපාලනය ගැන හිතන්නේ නැතිව තමයි මේ තීන්දුව ගත්තේ. 

මෙච්චර කල් රාජපක්ෂවරු විවේචනය කළ ඔබ දෙදෙනා අද අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු දෙදෙනෙක්. ඒත් කාට හරි හිතෙන්න පුළුවන් මෙතැනින් පස්සේ ඔබ දෙදෙනා රාජපක්ෂවරු හොඳයි කියන තැනට පත්වෙයි කියලා?

අපි දේශපාලන මතවාදයක් විදිහට එදා දවසේ මතවාදයම අදත් ඒ විදිහටම දරනවා. හොරු අල්ලන වැඩෙත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයව අත්අඩංගුවට ගන්න වැඩෙත් අපි කිසිම විදිහකින් ආපස්සට ගන්නේ නැහැ. අපි කතාකරපු හැමදේම වගකීමෙන් ඉදිරියටත් ඒ විදිහටම කරනවා. 

ගෝල්ෆේස් අරගලයේ අරමුණයි සමාජ මතයයි එකම මට්ටමේ යන්නේ. දැන් ඒ ඉල්ලීම් ගැන ඔබගේ කියවීම කොහොමද?

ජනතාවගේ ප්‍රශ්නයයි ගෝල්ෆේස් අරගලයයි එක මට්ටමේ තියෙන්නේ. ඒත් ජනතාවගේ ප්‍රශ්නය බඩගින්න, තෙල් නැතිකම වෙද්දී අරගල සියලු දේ පරද්දමින් ඒ ප්‍රශ්නය ඉදිරියට එනවා. එනිසා ජනතාවගේ ප්‍රශ්නයත් අරගල භූමියේ ප්‍රශ්නයත් වෙනුවෙන් කටයුතු සිද්ධ කරනවා. ගෝ හෝම් ගෝඨා කියන සංකල්පය ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න නම් අපේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම ජීවත්වීමේ අරගලය දිනන්නත් හැකියාව තියෙන්නේ අපි මේ වගකීම් දරන වැඩපිළිවෙළ හරහාම තමයි. ඒ නිසා අපි කිව්ව දේවල්වලින් කවදාවත් හැරෙන්නේ නැහැ. 

කාට හරි හිතෙන්න පුළුවන්නේ රාජපක්ෂලාට කඩේ යයි කියලා?

නෑ. කිසිම වෙලාවක කඩේ යන්නේ නැහැ. අපි රට ගොඩනැගීමට මිසක් දේශපාලන ඩීල් දාන්න නෙමෙයි. අපි නිර්පාක්ෂිකව තමයි මේ වෙනුවෙන් පෙනී ඉන්නේ. කිසිම විදිහකින් කිසිම පක්ෂයකට, පුද්ගලයකුට කඩේ යන්නේ නම් නැහැ. 

ආණ්ඩුව හරිදේ කරයි කියලා කොහොමද විශ්වාස කරන්නේ. නියෝජ්‍ය කතානායක පත්කිරීමේදී පවා පොහොට්ටුව තමන්ගේ බලය පෙන්නුවා. ඔය කියන සිහින ඉෂ්ඨ කරගන්න පුළුවන් වේවිද?

පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ පොහොට්ටුවට. ඒ අය තීණ්දු කළා පක්ෂ නායක රුස්වීමේදී නියෝජ්‍ය කතානායක ධුරය ලබාගන්න. ඒත් අගමැතිවරයා පස්සේ තීන්දු කළා මේක කාන්තාවකට ලබාදෙන්න ඕනේ කියලා. ඒ යෝජනාවට සමගි ජනබලවේගය නමක් යෝජනා කළාට පොහොට්ටුව සමඟ කිසිම එකඟතාවකට ඇවිල්ලා තිබුණේ නැහැ. එහෙම එකඟතාවක් නැතිව කෙනෙක් පත් කරගන්න බැහැනේ. එනිසා එතැන වුණේ එකඟතාවයක් නැතිව සිද්ධ වූ දේ. ඒකෙන් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියත් අපහසුතාවයට පත්වුණා.

අපි දැක්කා රාජිත සේනාරත්න ඇමැතිතුමා ආණ්ඩුවේ ඇමැති ධුර ගන්න අයට කෝටි 10 මුදල් දෙනවා කියලා. මනූෂට සල්ලි කොච්චරක් හම්බවුණාද?

රාජිත සේනාරත්න ඇමැතිතුමා ඊට ඉස්සර දවසේ රෑ කිව්වා මෙහෙම වැඩ කරලා එකට යන්න බැහැ. අපි යමු කියලා. අපි දන්නේ නැහැ එතුමා එහෙම තනතුරක් ඉල්ලලා සල්ලි නොදෙන නිසා අයින් වුණාද කියලා. මෙතැන කිසිම මුදල්මය කාරණයක් සිදුවුණේ නැහැ. මේ රාජිත සේනාරත්න ඇමැතිතුමා වගේ අය කියන ප්‍රකාශ නිසා තමයි අද 225ම එපා කියන තැනට පත්වෙලා තියෙන්නේ. 225ටම වෛරයක් හැදිලා තියෙන්නේ. එවැනි බාල දේශපාලනයක් නිසා තමයි මේ සමස්ත දේශපාලනයම විනාශ වෙලා තියෙන්නේ. අනික ඔය කියන විදිහට සල්ලි බෙදන්න මේ රටේ සල්ලි තියෙන්න එපැයි.

ඒවා ඔප්පු කරන්න පුළුවන්ද?

ඔව්. ඕනෙ වෙලාවක ඒ කතා වලංගුභාවයක් නැති බව ඔප්පු කරන්න පුළුවන්. එහෙම අරගෙන අපි ඩීල්වලට යටවෙන මිනිස්සු නෙමෙයි. ඒ නිසයි අපි අපේ මතයේ තාම ඉන්නේ. 

ඇත්තට හරින්ටයි මනූෂටයි ළඟම නායකයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නේද?

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තමයි දේශපාලනය පටන් ගත්තේ. එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළේ ප්‍රශ්නයක් නිසා තමයි අපි අයින් වුණේ. ඒ නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ වැඩකරන්න පටන් ගත්තේ. සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා කියන්නේ අපේ ලොකු සහෝදරයා වගේ. ඔහු සුන්දර මනුස්සයෙක්. අපි කවදාවත් ඒවා අමතක කරන්නේ නැහැ. 

දැන් සමගි ජනබලවේගයේ නැද්ද?

අපි සමගි ජනබලවේගය දාලා ගියේ නැහැ. දාලා යන්නෙත් නැහැ. අපි සමගි ජනබලවේගය වෙනුවෙන් රට හදන්න ආණ්ඩුවට එකතු වුණේ ඒකයි. අපි සමගි ජනබලවේගය හරි තැනට හරි වෙලාවට ගේනවා. මොකද මොන දේශපාලනය කරන්නත් රට තියෙන්න ඕන. 

ඕනම දේශපාලනඥයෙක් තීන්දු තීරණ ගන්නේ තමන්ගේ ඡන්ද පදනම ගැන හිතලා. මේ ගත්ත තීන්දුවත් එක්ක ඡන්ද පදනම නැත්තටම නැතිවෙයි කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්ත. මේ ගත්තේ විශාල අභියෝගයක්. ඇත්තටම සමගි ජනබලවේගයේ අපේ පාක්ෂිකයන්ට අපි ගත්ත තීන්දුව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට තේරෙයි අපි මේ අද ගත්ත තීන්දුව මොනතරම් සාධාරණදැයි කියලා. මේක අපේ රට වෙනුවෙන් කරපු වැඩක් කියලා හැමෝටම තේරෙයි. තව මාස තුනකින් මේ පෝලිම් නැතිකරලා කිරිපිටි ටික ලබාදීලා ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වුණොත් මේ මිනිස්සු පිළිගනියි අපි කරපු දේ හරියි කියලා. එතකම් මේක බරපතළ අවදානම් සහිත තීන්දුවක්.

මේ ගත්ත තීන්දුව සම්බන්ධව දැනට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම අපිට කතා කරන බොහෝ උගත් බුද්ධිමත් පාක්ෂිකයෝ හිතවත්තු හැමෝම කියන්නේ මේ වෙලාවේ ගත්ත තීන්දුව යහපත් කියලා. මොකද ඔවුන් දන්නවා අපි වරදාන වරප්‍රසාදවලට නෙමෙයි මේ තීන්දුව ගත්තේ කියලා. අපිටත් පුළුවන් අනිත් අය වගේ එළියට වෙලා විවේචනය කර කර ඉන්න. හැබැයි රටේ තියෙන ප්‍රශ්නෙට විසඳුම ඒ වගේ කියවා කියව ඉන්න එක නෙමෙයි මැදිහත් වෙලා වැඩ කරන එක. 

හැබැයි මොන දේ කිව්වත් කිරිඇල්ල මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබ දෙදෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මොකද එහෙම වුණොත් කරන්නේ?

පක්ෂයට පක්ෂයක් හැටියට තීන්දු ගන්න පුළුවන්. හැබැයි අපි පක්ෂය දාලා යන්නේ නැහැ. අපි පක්ෂයත් එක්ක හැමදාම ඉන්නවා. අපි දේශපාලනය කරන්නෙ සමගි ජනබලවේගයත් එක්ක. අපි ආණ්ඩුවේ පෙනී ඉන්නෙත් සමගි ජනබලවේගය වෙනුවෙන්. මම අහනවා ඔබගෙන් අපි දේශපාලනයට ආවේ බලය ලබාගන්නද නැත්නම් මිනිස්සුන්ට වැඩ කරන්නද? අපි ඇත්තටම මිනිස්සුන්ට වැඩ කරන්න ඕනෑ. 

දැන් කියන්න බලන්න මනූෂට හා හරීන්ට අමතරව කවුද මේ ආණ්ඩුවට එකතු වෙන අනිත් අය කියලා?

ඔය අපට විනය පරීක්ෂණ කරනවා කියලා කියපු අයගේ ඉඳන් ගොඩක් අය සාකච්ඡා කතාබහ කරලා තියෙනවා. හැබැයි අපි ඒවා කියන්න යන්නේ නැහැ. අපි හැමදාම කළේ අපේ දේවල් එළිපිට. අපි මේ ගත්ත තීන්දුව හරියි කියලා සමහර අයට තේරුම් යනවිට ඒ අයත් රට ගොඩනගන තැනට එකතු වෙයි. 

හරීනුයි මනූෂයි පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කතාබහ සමාජය ඉදිරියේ ගොඩනැගුවා. දැන් මේවා මිනිස්සුන්ට අමතකයි කියලා හිතනවාද? ඒවාට දැන් මොකද වෙන්නේ?

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලිපියක් යොමු කරලා දැනුම් දුන්නා මේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුවිය යුතුයි කියලා. ඒ කාරණාවට එතුමා එකඟවෙලා තිබුණා. ඒ වගේම විධායකය අහෝසි කිරීම, ගෝඨාභය ජනාධිපතිතුමාගේ නික්ම යාම සම්බන්ධයෙන් මේ සියල්ල ගැනම අපි සාකච්ඡා කරලා එකඟතාවයකට පැමිණිලා තියෙනවා. ඒ වගේම අපේ පරණ විවේචන අපි ඒ විදිහටම සිද්ධ කරනවා. මේ අපි කරපු දේ ජනතාව වගේම නීතීඥ සංගමය පවා කිව්ව දේවල්. විශේෂයෙන් මහා නායක හාමුදුරුවරු පවා කිව්වා. 

හිතෙන්නේ නැද්ද ජනතා විරෝධයක් ඉදිරියේදී ඔබලාට විරුද්ධව ගොඩනැගේවි කියලා?

සමහර අය උසිගන්වයි. හැබැයි ජනතාවට තේරෙයි අපි අද ගත්ත තීන්දුව කෙතරම් යහපත් තීන්දුවක්ද කියලා තව මාස කිහිපයකින්. 

ඇත්තටම ඔබ දෙදෙනාට ආරාධනා කළේ අගමැතිද ජනාධිපතිද ඇමැතිධුර භාරගන්න?

ඔය දෙදෙනාගෙන්ම කිසිම ආරාධනාවක් තිබුණේ නැහැ. අපි මේ සටන කළේ අද ඊයෙක ඉඳන් නෙමෙයි. දැනට කාලයක ඉඳන්. ඔය එකතුවීම කියන සංකල්පය ගොඩනැගුවේ අපි. අපි ඒ සංකල්පය වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා. 

ඔබ කාලයක් දරපු රාජ්‍ය ඇමැතිකමේ ප්‍රධාන ඇමැති ධුරය තමයි මේ වනවිට ලැබිලා තියෙන්නේ. විදේශ රeකියා කියන්නේ මේ රටේ ප්‍රධාන ඩොලර් උපයන මාර්ගය. කොහොමද ඔබට ඒවා ජයගන්න පුළුවන්ද?

ඇත්තටම මමත් හරින් ඇමැතිතුමත් ගත්තේ මේ රටට ඩොලර් ප්‍රධාන වශයෙන් ගෙන්වන ප්‍රධාන අමාත්‍ය ධුර දෙක. අද ඇතිවෙලා තිබෙන ප්‍රධාන අර්බුදයත් ඩොලර්. අපිට ආයෝජනයට වඩා ඉක්මණින් මුදල් හොයන්න පුළුවන් ක්‍රමය තමයි සංචාරකයන් සහ මේ විගමන රුකියා. ඉතින් ඒ නිසා අපි ඉක්මණින් වැඩපිළිවෙළකට යනවා. විශේෂයෙන් විදේශ රුකියා කරන අයගේ මුදල් නිසි ක්‍රමවේදයක් යටතේ හරි මාර්ගයෙන් රටට ගේන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. ඒ අරමුණ ඇතුළුව අනිකුත් දීර්ඝකාලීන වැඩකටයුතු සැලසුමක් සහිතව ප්‍රතිපත්තිගරුකව කටයුතු කරනවා.

♦ ගයාන් ගාල්ලගේ