2022 මැයි 15 වන ඉරිදා

මහින්ද සහ රනිල්

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 222

රනිල් වික්‍රමසිංහ 2018 ඔක්තෝබර් 26 වැනිදා පස්වරුවේ හිටියේ ගාලු ප්‍රදේශයේ රාජ්‍ය උත්සවයකට සහභාගි වෙමිනි. 2015 දී මහින්ද පරාජය කරමින් ගොඩනැංවූ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් සමඟ එවකට අගමැති රනිල් ඒ වනවිට දැඩි ලෙස විරසකව සිටියේය. ඔක්තෝබර් 26 වැනිදා ගාල්ලේ සිටි රනිල්ට කොළඹ සිදුවෙමින් තිබූ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන තොරතුරු ලැබුණි. වහාම තම පිරිවර සමඟ කොළඹ බලා ඒමට රනිල් පියවර ගත්තේය.

ඒ වන විටද ඔහු ප්‍රමාද වැඩි විය. අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගාල්ලට ගිය රනිල් ආපසු කොළඹට එන විට නිකම්ම මන්ත්‍රීවරයෙකි. විපක්ෂයේ සිටි මහින්ද අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දී තිබිණි. එය මේ රටේ දේශපාලනය තුළ සිදුවූ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් වශයෙන් හඳුන්වනු ලැබීය. මෛත්‍රීපාල එතෙක් තමන්ගේ දේශපාලන සතුරා බවට පත්ව සිටි මහින්දට අගමැතිකම බාර දී ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඇරියුම් කර තිබිණි. රනිල් කොළඹට පැමිණ අරලියගහ මන්දිරය ඇතුළට ගොස් එහි රුඳී සිටිමින් &මහින්ද ගෝ හෝම්* සටනක් පටන් ගත්තේය. පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ තමන්ට බව දෙස් විදෙස් මාධ්‍යවලට සාකච්ඡා දෙමින් ප්‍රකාශ නිකුත් කළේය. තමා තවමත් අගමැති බව කියා සිටියේය.

මහින්ද කැබිනට්ටුවක්ද හදාගෙන ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් ඔහුට බහුතරයක් තිබුණේ නැත. පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. කතානායක කරු ජයසූරියගේ කතානායක පුටුව පෙරළා දමා බිම දිගේ ඇදගෙන යනු දකින්නට ලැබිණි. පුටු කඩා පහර දෙමින් මයික්‍රොෆෝන කඩා බිඳ දමමින් මහින්දගේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඇතුළේ යකා නැටූහ. හැබැයි ඒ මොනවා කළත් බහුතරය හදාගැනීමට මහින්දට හැකි වුණේ නැත.

බහුතරයේ ප්‍රශ්නය පමණක් නොව මහජන ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් බලහත්කාරයෙන් ඉවත් කොට විපක්ෂයේ සිටි හිටපු ජනාධිපතිට අගමැති පුටුව බාර දී ආණ්ඩුවක් හදන්නැයි ආරාධනා කළ මෛත්‍රීපාල ජනාධිපති අමාරුවේ වැටුණේය. ඔහුගේ ක්‍රියාවට එරෙහිව මහජනතාව පෙළ ගැසී ඉදිරියට පැමිණියහ. කොළඹ රුලි ගණනාවක්ම සංවිධානය විය. සජිත් එම රුලිවල ප්‍රධාන කථිකයා වූ අතර මෛත්‍රීපාල ජනපති සහ අගමැති මහින්ද සමඟ යහපාලනය වෙනුවෙන් මැදිහත්වීමේ කාර්යයක්ද ඉටු කළේය. අන්තිමට මේ වැඩේ උසාවියට ගියේ එය පවතින ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින් වහාම පෙර පැවැති තත්ත්වයට රට ගෙන ආ යුතු බවට ජනාධිපතිට නියෝග කරන ලෙස ඉල්ලීමක් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ පැමිණිල්ල සාධාරණ බවය. ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බැවින් වහාම පැවති ආණ්ඩුව ප්‍රතිස්ථාපනය කරන ලෙසට නියෝග නිකුත් විය. මහින්ද අග්‍රාමාත්‍ය ධූරයෙන් අස් විය. රනිල් යළිත් අගමැති විය. මහින්දගේ අගමැති ධූරය සීමා වූයේ දවස් 52කට පමණි.

මහින්ද ඒ අවස්ථාවේදී ජනවරමක් නොමැතිව අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. එහෙත් සමහරුන්ගේ මතය වුණේ එය ව්‍යවස්ථානුකූලව වැරදි නැති බවය. එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා නියමිත කාලයට පෙර අස්කර දැමීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවය. දවස් 52 ආණ්ඩුවේ කතාව එතැනින් ඉවර විය. එහෙත් රනිල් මහින්ද සමඟ පැවැත්වූ දේශපාලන සුහද බව පළුදු කර ගත්තේ නැත.

හැබැයි රනිල් තම පක්ෂය ඇතුළේ විශාල ගැටලු හදා ගත්තේය. පක්ෂය තුළ සිටි ජ්‍යෙෂ්ඨයන් ඇතුළු විශාල පිරිසක් සමඟ විරසක විය. පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ ඇතිකරන බවට වූ පොරොන්දුව රනිල් පහසුවෙන් අමතක කළේය. එහෙත් පාක්ෂිකයන් එය අමතක කළේ නැත. යූ.එන්.පිය කැඩී ගොස් බරපතළ සෝදා පාළුවකට ලක් විය. සජිත්ගේ නායකත්වයෙන් සජබ බිහි විය. ඊළඟ මැතිවරණයේ යූ.එන්.පිය අන්ත පරාජයක් ලැබුවේය. ලංකාවේ ප්‍රධානම පක්ෂය වූ යූ.එන්.පියට පළමු වතාවට මහජන ඡන්දයෙන් එකම මන්ත්‍රීවරයකුවත් පත් කරගත නොහැකි විය. ලැබුණේ ප්‍රතිශතයට අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි. මාස කිහිපයක නිහැඬියාවකින් පසුව රනිල් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට ආවේය. එහෙම ආවේ එවකට අගමැති වූ මහින්දගේද ඉල්ලීමකට අනුව බව ඒ කාලයේ කතාවක් ගියේය.

එදා යන්තම් පාර්ලිමේන්තු අසුනකට ජාතික ලැයිස්තුවෙන් පැමිණි රනිල් අද ලංකාවේ අගමැතිය. රනිල් මෙවර ලංකාවේ අගමැති වන්නේ 06 වැනි වරටය. එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා වාර්තාගත සිදුවීමකි. ඒ බව තවත් කැපී පෙනෙන්නේ සාමාන්‍යයෙන් රටක අග්‍රාමාත්‍යවරයා මහ මැතිවරණයෙන් ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබා තෝරාපත් කරගනු ලබන්නෙක් බැවිනි.

එදා රනිල් අස්කර අගමැති වූ මහින්ද අද ඉන්නේ අස්වෙලාය. ඒ අස් වෙනකොට මහින්ද තුනෙන් දෙකකට 2ක් අඩු බහුතරයක් තිබූ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාය. ඔහුගේ අස්වීමෙන් පසුව පත්වූ රනිල් යූ.එන්.පී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ එම පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන එකම මන්ත්‍රීවරයාය. මේ රටේ දේශපාලනයේ හැටි එහෙමය.

එහෙත් රනිල් අගමැති වූ පමණින් මේ රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්නේ නැත. රනිල්ගේ පත්වීම දේශපාලන අර්බුදය විසඳාගැනීමට එක් හේතුවක් විය හැකි වුවද ඔහුගේ ආණ්ඩුවට පොහොට්ටුවේ හැර පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවල කිසිදු සහායක් නොලැබෙන බව සිකුරාදා (13) සවස් වනවිට පෙනෙන්නට තිබුණි. එය ඊළඟ පැයේදී වෙනස් වීමට ඉඩ කිබෙන නමුත් රනිල්ට අග්‍රාමාත්‍යවරයා වශයෙන් තම දේශපාලන පසමිතුරන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් සමඟ වැඩ කරන්නට සිදුවීම නම් දෛවයේ සරදමක් බව පැහැදිලිය.

අගමැති ධූරයද වෙනස් කරමින් පසුගිය දින කිහිපය තුළදී උත්සන්න වී පුපුරා ගියේ මේ රට මාස කිහිපයක් තිස්සේ මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයයි. මෙවැනි ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් තිබෙන බව රටේ ආර්ථික විශ්ලේෂකයන් ගණනාවක් විසින්ම පෙන්වා දුන්නේ සෑහෙන කාලයක සිටය. කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ දේශීය ආර්ථිකයට වැදුණු පහරත් සංචාරක කර්මාන්තය බින්දුවට වැටීම නිසා වාර්ෂිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 04ක පමණ ආදායමක් නොලැබී යාමත් ආර්ථික අර්බුදයට මූලික වූ හේතු දෙකක් බව සැබෑය. එහෙත් වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගනු ලැබූ වැරදි තීන්දු ගණනාවක් හේතුවෙන් රට ආර්ථික වශයෙන් මංමුලා වූ තැනකට වැටුණු බව පිළිගත යුතුය.

රජය බලයට පත්වූ විගසම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනවලට ලබා දුන් විශාල බදු අඩුකිරීම රටේ ආර්ථිකයට බලවත් පහරක් විය. යහපාලනය මගින් ඒ වනවිට රටේ බදු එකතු කිරීම ප්‍රශස්ත මට්ටමකට ගෙන තිබූ අතර එමගින් ආර්ථිකය දේශීය වශයෙන් ශක්තිමත් වෙමින් තිබිණි. එම ශක්තිය එකවරම කඩා වැටුණේය. ඒ සමඟ කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වෙද්දී සංචාරක ව්‍යාපාරයද ඇණ හිටියේය. බදු ආදායම අඩුවීම හේතුවෙන් මේ තත්ත්වයට මුහුණ දීමට ආණ්ඩුවට ඉතා අසීරු විය. මුදල් අච්චු ගැසීම හරහා මේ ගැටලුවට විසඳුම් සෙවීමට ආණ්ඩුව දැරෑ උත්සාහය ගින්නට පිදුරු දැමීමක් විය.

රජයට නිසි ආර්ථික සැලැස්මක් තිබුණේ නැත. එසේ තිබුණා නම් රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පැය 24න් වෙනස් කරන්නේ නැත. රසායනික පොහොර අහෝසිය සමඟ අනාගතයේදී ගොවි ජනතාවගේ ආර්ථිකයටද පාරිභෝගික ජනතාවගේ ආර්ථිකයටද සිදුවන හානිය ගැන ආණ්ඩුව නිසි අධ්‍යයනයකින් තොරව ගත් එම තීන්දුව රට තුළ විශාල විරෝධයකට හේතු විය. කෘෂිකර්මය සඳහා වෛද්‍ය විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගැනීම විශාල හානියකට මුල පිරුවේය. එහෙත් ඒ බව ජනාධිපතිවරයා වටහා ගත්තේ නැත.

එසේම මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ආණ්ඩුවේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පත්කර ගැනීමද බරපතළ වැරුද්දක් විය. අජිත් නිවාඩ් කබ්රාල්ගේ එම පත්වීම රටේ ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට හේතු වුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එය ගණන් ගත්තේ නැත. එතෙක් කඩා වැටෙමින් තිබූ රටේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස කඩා වැටීම ඇරඹුණේ ඔහුගේ පත්වීමෙන් පසුව ගනු ලැබූ ඉතා වැරදි තීන්දු කිහිපයක් හේතුවෙනි. අත්තනෝමතික ලෙස අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීමත් විදෙස් ණය ගෙවීමේදී විශේෂඥ උපදෙස් නොපිළිගැනීමත් නිසා රටේ උද්ධමනය වැඩි වී සංචිතය හොඳටම අඩු විය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අනාගතයේ විය හැකි ආර්ථික අවපාතය පිළිබඳ පෙන්වා දෙන විට ආණ්ඩුව ඒවා නිවැරදි කර ගැනීමට පියවර ගන්නවා වෙනුවට එම ආයතනවලට එරෙහිව නිවේදන නිකුත් කරන්නට විය. එහෙත් අන්තිමේදී එම ආයතන කියූ දේ සත්‍ය බව වටහා ගන්නා විට ගෝඨා ගෝ ගම ඉදිකිරීමට අවශ්‍ය සියලු වටපිටාව හැදී තිබිණි. බැසිල්ට මුදල් ඇමැතිකම ලබාදීම ආර්ථිකය කඩා වැටීම තවත් උග්‍ර කිරීමට හේතු වූ බව විද්වත් මතයයි. තමන්ට බරපතළ වැරුද්දක් සිදුව ඇති බව ජනාධිපතිවරයාට වැටහෙන විට අස්සයා පැන ගොස් හමාරය.

මහින්දගේ අස්වීමත් රනිල්ගේ පත්වීමත් සඳහා පදනම වැටෙන්නේ මේ පසුබිමේය. වැරදි තීන්දු තීරණ හේතුවෙන් ආර්ථිකය කඩා වැටෙන විට රට පුරා පෝලිම් හැදුණේය. ළමයින්ට කිරිපිටි නැතිවන විට අම්මලාට කිසිවක් කරකියා ගත නොහැකි විය. උයන්න ගෑස් ටික නැතිවන විට ගෘහණියෝ ආණ්ඩුවට සාප කළහ. වාහනයට තෙල් ගහන්න පැය ගණන් පෝලිමේ සිටි ජනතාව ඒ තැන්වල සිට රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නට වූහ. මේ අතරවාරයේ බොහෝ පිරිසකගේ ආදායම් මාර්ග අහිමි විය. රුකියා අහිමි විය. භාණ්ඩ හිඟ විය. තිබෙන භාණ්ඩ ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළුව මිල ඉහළ ගියේ මහා පරිමාණයෙනි. මාසික වැටුප සතියකටවත් මදි විය. දැඩි ලෙස කම්පනයට පත්වෙමින් සිටි නිර්පාක්ෂික තරුණ පිරිස් මේ මහා ආර්ථික කඩා වැටීම දැක්කේ පාර්ලිමේන්තුවේ රට කරවන පිරිසගේ මහා දූෂණ - වංචා සහ වැරදි තීන්දු ගැනීම්වල ප්‍රතිඵල හැටියටය. රටම දුප්පත් වෙද්දී දේශපාලන පවුල් අසීමිත ලෙස පොහොසත් වීම ඔවුන් අතින් සටන් පාඨ බවට පත් විය. ගෝල්ෆේස් පිටිය ඔවුන්ගේ සටන් බිම වී ගෝඨා ගෝ ගම බිහිවුණේය.

ගෝඨාභය පමණක් නොව අගමැති මහින්දත් ඉවත් විය යුතු බව රට පුරා රුල්ලක් මෙන් විරෝධතා ගොඩනැගුණේ ජනතාවගේ ආර්ථික ගැටලුවලට විසඳුම් නොලැබෙන බව දැනෙමින් තිබීම හේතුවෙනි. ගෝඨාගෝගමට ආවේ ගියේ ඒ සමඟ රුඳුණේ දහස් ගණනක පිරිසක් වුවද ඔවුන්ගේ සටන රට පුරා දුක් විඳිමින් සිටි අම්මලාගේ තාත්තලාගේ සහ දූ පුතුන්ගේද සටන විය. මේ සියලු දෙනා හැමදාම ගෝල්ෆේස් පිටියේ තරුණ පිරිස කරන කියන දේ නිවෙස්වල සිට රෑපවාහිනියේ බලාගෙන සිටියහ.
ගෝඨාගෝගමට පොලුවලින් ගසා මේ ප්‍රශ්නය ඉවර කරගත හැකි යැයි මහින්දලාට කිව්වේ කවුදැයි අප දන්නේ නැත. එහෙත් ඒ ලණුව දුන් අය රටේ පවතින මේ සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන් මහින්දට වසන් කර තිබුණු බව පැහැදිලිය. නැත්නම් යම් ගරුත්වයක් සහිතව 09 වැනිදා ධූරයට සමුදීමට නියමිතව සිටි මහින්ද තමන්ගේ තැටිය වෙනස් කර වාදනය කොට තමන් ධූරයෙන් ඉවත් නොවන බව කියන්නේ නැත. අන්තිමට මහින්දට යන්න වුණේ සියලු ගෞරව අහිමි කරගෙන රටම ගිනි ජාලාවක ගිල්වාගෙනය.

රනිල් අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දෙන්නේ මේ පසුබිමේය. රටේ බරපතළ ගැටලු විසඳීමට රනිල්ගේ පත්වීම පිළිතුරක්ද යන්න වැඩි දවසක් යාමට පෙර තීරණය වනු ඇත. පවතින තත්ත්වය යටතේ රනිල් ධූරයේ දිව්රුම් දෙන විට පළමු සුබ පැතුම් පණිවුඩය හිටපු අගමැති මහින්දගෙන් ලැබීම ගැන පුදුම විය යුතු නැත.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00