2022 මැයි 08 වන ඉරිදා

පුංචි කෑලි

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 91

අලි සබ්‍රිගෙන් වටිනා කතාවක්

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදුන ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වෙමින් තිබියදී පසුගිය බදාදා (04) පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. ජාත්‍යන්තර අරමුදල සමඟ පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් එම විශේෂ ප්‍රකාශය සිදුකෙරිණි. එම සාකච්ඡාවේදී කියැවුණු අදහස් කිහිපයක් මෙසේය.

• අපි අද කතා කරන්නේ ඉන්ධන හිඟයක්, ඖෂධ හිඟයක්, විදුලි බලය පැය තුනක් හතරක් කැපීම පිළිබඳව. මේක නිසි පරිදි කළමනාකරණය කර නොගත්තොත් මේක සම්පූර්ණයෙන්ම නැතිවෙන භයානක උවදුරක් ආසන්නයේ අප සිටින්නේ.

• අපේ රට ඉන්දියාව වගේ නිවැරදි තැනකට ගන්නවද නැත්නම් වැරදි තැනකට ගිහින් වෙනිසියුලාව වගේ එහෙම නැත්නම් ලෙබනනය වගේ මීට වඩා බරපතළ තැනකට ගෙනයනවද කියන සම්පූර්ණ වගකීම අපට තිබෙනවා.

• 2021 අපේ ආදායම බිලියන 1500ක් පමණ. වියදම බිලියන 3522ක්. ඒ කියන්නේ ආදායම වගේ දෙගුණයක් අපි වියදම් කරලා. මේක සරලව ගන්නවා නම් අපේ ගෙදර ආදායම ලක්ෂයක් නම් මාසිකව දෙලක්ෂ හතළිස්දාහක වියදම් කරලා. මෙහි බරපතළකම තේරුම් ගන්න ඕනෑ.

• අද වනවිට බිලියන 51ක ණය ප්‍රමාණයක් අපට හැදිලා තිබෙනවා. පසුගිය කාලෙදි ගෙවන ලද ණය සඳහන් වෙනවා. 2015 දී බිලියන 02ක්, 2016දී බිලියන 1.6ක්, 2017දී 2.4ක්, 2018දී 03ක්, 2019දී 4.5ක්, 2020දී 4ක්, 2021දී 4ක් ලෙස ගෙවා තිබෙනවා. පසුගිය වසර දෙකේදී අපි ණය නොගත්තාට ලබාගත් ණය වෙනුවෙන් පොලිය හා කැපිටල් එකට අපි බිලියන 08ක් ගෙවා තිබෙනවා.

• මම දැක්කා එක වෙබ් අඩවියක තිබුණා මම කිව්වා කියලා මේ ප්‍රශ්නය මාසෙකින් විසඳනවා කියලා. එහෙම නම් මම පිස්සෙක් විය යුතුයි. මාසෙකින් තියා අවුරුදු 02කින්වත් මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුළුවන් කියා මම හිතන්නේ නෑ.

• බදු අනුපාත වැඩිවිය යුතු කාලයක අපි ගිහින් බදු අඩුකළා. එය ඓතිහාසික වරදක් බව මම පිළිගන්නවා.

• අපට මීට පෙර අයි.එම්.එෆ්. එකට යන්න තිබුණා. ඒකෙ කතා දෙකක් නෑ. ඒ වගේම මීට පෙර රුපියල සම්බන්ධයෙන් තීරණයක් ගන්න තිබුණා.

• මේ රටේ කිසිම රජයක් තමන් ගත්ත ණය තමන් හම්බ කරලා ගෙවලා නෑ. තවත් ණයක් අරන් තමයි ඒ ණය ගෙවලා තියෙන්නේ. මේක තමයි හැමෝම කරලා තියෙන්නේ. ඒ ආකාරයට තමයි බිලියන 51ක් දක්වා අපගේ ණය වැඩිවෙලා තියෙන්නේ.

• අපි පසුගිය කාලය තුළත් ගතයුතු තීන්දු තීරණ වැරදි ප්‍රතිපත්ති මත අරන් තිබෙනවා. බදු කැපීම, අයි.එම්.එෆ්. නොයෑම, ඩොලර් එක අල්ලාගෙන සිටීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කල්ගත වීම නොකළ යුතුව තිබුණා.

• මම ආර්ථික විද්‍යාඥයෙක් නොවෙයි. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මම වැඩ කරනවා. මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගේ ජොබ් එක. ක්‍රිකට්වල තිබෙනවා හවසට විකට් යන්න ගියාම ඉදිරිපෙළ ආරක්ෂා කිරීමට පසුපෙළ පුද්ගලයෙක් ඇවිල්ලා විකට් එක බේරගන්න එක. මම මේ වෙලාවේ කරන්නේ ඒක.

සජබ හර්ෂගේ පිළිතුර

මෙහිදී කතා කළ සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ රටේ ඉතිරිව තිබෙන විදේශ සංචිතයෙන් තෙල් නැවක්වත් මිලදී ගත නොහැකි බවය.

• ආහාර උද්ධමනය සීයට 450ක් දක්වා ඉහළ ගිහින් යැයි ආණ්ඩුවේ නිල වාර්තාවල දැක්වෙනවා. මේ රට බංකොලොත් බවෙනුත් පහළට වැටිලා.

• තවදුරටත් දත්ත හැංගීම අප අපටම වංචා කර ගැනීමක්.

• මේ වනවිට රුපියල සීයට සීයකින් අවප්‍රමාණය වෙලා. මෙවැනි දේ වෙන්නේ මොන ලෝකයේද? ආණ්ඩුව ගත්ත ඔලමොට්ටල තීරණවලට වගකියන්නේ කවුද?

අනුර කුමාර මෙසේ කියයි

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවකට පැමිණීමට සූදානම් බවය.

• ජනාධිපති සහ අගමැති ඉවත් වුණොත් යම් එකඟතාවකට පැමිණීමට සූදානම්. රට විනාශ කළ අර්බුදයේ උරුමකරුවන් මුලසුනේ තබාගෙන හදන සර්ව පාක්ෂික ආණ්ඩුවලට සූදානම් නැහැ.

• වර්තමානයේ පැමිණ ඇත්තේ වෙස් වලාගත් මාරාන්තික ආශීර්වාදයක්. වෙස් වලාගෙනවත් මෙවැනි ආශීර්වාද නොපැමිණේවායි ප්‍රාර්ථනා කරනවා.