2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

අහස උසට නගින බෙහෙත් මිල

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ නගින විට, හිඟ වනවිට එය ඇතැම් අවස්ථාවක යම්තාක් දුරකට දරාගත හැකිය. ඉන්පසුව එය පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමකට පත්වෙයි. එවිට සිදුවන්නේ පාරිභෝගිකයා එම භාණ්ඩය මිලදී ගැනීමෙන් වැළකී සිටීමය. එහෙත් එසේ කළ නොහැකි භාණ්ඩද තිබේ. ඒ අතරින් ඖෂධ අංක එකට වැටෙයි.

සහල් මිලදී ගත නොහැකි නම් වෙනදාට පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් අඩක් හෝ මිලදී ගෙන කැඳ හදාගෙන කුසගින්න නිවාගත හැකිය. කිරිපිටි මිලට ගත නොහැකි නම් කහට කෝප්පයකින් අවශ්‍යතාව තාවකාලිකව හෝ ඉටුකර ගත හැකිය. එහෙත් ඖෂධ එසේ නොවේ. මිල කොතරම් ඉහළ ගියත් ඖෂධ භාවිතයට ගනු ලබන පාරිභෝගිකයාට එය අතහැර දැමිය නොහැක. තාවකාලිකව අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා විකල්පයක්ද නැත. මිල වැඩි වී අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගත නොහැකි වූ විට එය භාවිතය අතහැර දැමිය යුතු වන්නේ තම ජීවිතය පිළිබඳ  ආශාවද අත හරිමිනි.  එය සිදුවීමට ඉඩදිය යුතු නැත. දැරිය හැකි මිලකට ඖෂධ මිලදී ගැනීමට ජනතාවට තිබෙන අයිතියට අකුල් හෙළීම ඔවුන්ගේ ජීවිත කෙළින්ම අනතුරේ දැමීමකි.

ඖෂධ මිල ඉහළ යාම එකවර කෙනකුට දැනෙන්නේ නැත. තාවකාලික අසනීප තත්ත්වයක් හේතුවෙන් හදිසි අවශ්‍යතාවකට පමණක් ඖෂධ මිලදී ගැනීමට සිදුවන රෝගියකුට කෙසේ හෝ එය මිලදී ගෙන රෝගය සුවකර ගත හැක. නමුත් දීර්ඝකාලීනව, ඇතැම් විට ජීවිතය තිබෙන තුරැ ඖෂධ ගණනාවක් දිනපතා ගත යුතු ලක්ෂ ගණනක පිරිසක් රටපුරා සිටිති. ඖෂධ මිල  දැරිය නොහැකි මට්ටමකින් ඉහළ යාම එම පිරිස අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමීමකි. නිරෝගීව සිටීමට නම් ඔවුන් ඖෂධ මිලදී ගත යුතුය. එහෙත් එහි මිල ගණන් දරාගත හැකි මට්ටමින් එහාට ගිය විට තවදුරටත් ඒවා ලබාගත නොහැක. ඖෂධ දිගටම නොලැබුණොත් සිදුවන්නේ රෝගී බව උත්සන්න වී මරණය ළඟාවීම පමණි. රටේ ජනතාව එවැනි ඉරණමකට මුහුණදෙනු දැකීමට කිසිදු රජයක් කැමැති නොවනු ඇත.

එසේ වුවද ඖෂධ මිලදී ගැනීමට යන සියලු දෙනාටම වෙනදාට වඩා මිල වැඩි වී ඇති බව මේ වනවිට දැනෙමින් තිබේ. අගෝස්තු මාසයේදී එකවර මිල වැඩිවීමක් සිදුවුවත් ඉන්පසුවද වරින්වර ඇතැම් ඖෂධවල මිල ඉහළ ගොස් තිබේ. ඇතැම් ඖෂධ අලෙවිසල් ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී මේ මිල ගණන් තවත් ඉහළ යන බවය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් මේ වනවිට සිදුවන මිල ගණන් ඉහළ යාම අනුව ඖෂධ මිල යළිත් වැඩිවීමට හොඳටම ඉඩ තිබෙන බව පැවසිය හැක.

මේ අතර ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දී ඇත්තේ පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන ස්ථාන පිළිබඳව තොරතුරැ වහාම ලබාදෙන ලෙසය. එම තොරතුරැ ලබාදීම සඳහා විද්‍යුත් ලිපිනයක්ද ප්‍රකාශයට පත්කර තිබේ. එම අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා සදහන් කර ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර ඇති අතර උපරිම සිල්ලර මිලද නියම කර තිබෙන බවය. එම උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ අලෙවි කිරීම නීති විරෝධී බවද ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ඖෂධ ගෙන්වා බෙදාහරින සමාගම් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. රජය නියම කරන මිලට ඖෂධ ගෙන්වා ලබාදිය නොහැකි නම් ඔවුන් බොහෝවිට සිදුකරන්නේ එම ඖෂධ නොගෙන්වා සිටීමය. එය භයානක පියවරක් බව කිවයුතු නැත. තවමත් එවැනි තත්ත්වයක් මතු වී නැති වුවද ඉදිරියේදී එසේ නොවනු ඇති බවට සහතිකයක්ද නොමැත.

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට ගෙන්වනු ලබන භාණ්ඩ සීමා වෙමින් තිබේ. පසුගියදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව එය ආරම්භ කිරීමෙන් පසුව පළමුවරට වසා දැමීමට සිදුවූයේ බොරතෙල් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙනි. ඉන්පසුව ප්‍රකාශ වූයේ ඉදිරියේදී ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ඉදිරි මාස කිහිපයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි බවට ඇතැම් බලධාරීන් ප්‍රකාශ කරන බවයි. පරිප්පු නම් නොකා සිටිය හැක. එහෙත් ඖෂධ අවශ්‍ය අයට ඒවා නොගෙන සිටීම නම් කළ නොහැක. සියලු දෙනා විසින්ම අවබෝධ කරගත යුතු සත්‍යය මෙයයි.