2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

මේ රඟන්නෙ අන්තිම රංගනයයි

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 142

-  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

  • ගෑස් කිරිපිටි පෝලිම්වලින් කොවිඩ් බෝවෙන්නෙ නැද්ද?
  • බරපතල ප්‍රශ්න කිසිවකට අයවැයෙන් උත්තර නැහැ
  • ජනාධිපතිගෙ ප්‍රතිපත්තිය අයවැයෙන් රිවර්ස් කළා
  • මේ අවුරුදු දෙකේ කළ සංවර්ධන වැඩ කෝ
  • වසංගත නීතිය දේශපාලන වාසියට හරෝගෙන
  • පරම්පරා දේශපාලනය ඉවරයි
  • පාස්කු කුමන්ත්‍රණේ ගැන හිටපු නීතිපතිගෙන් අහන්න
  • විපක්ෂය ගැනත් ජනතාවට පැහැදීමක් නැහැ

පසුගියදා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් ඔබටත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අදහසක් ඇති. ඇත්තටම ඒ අයවැය ගැන මොකද හිතෙන්නේ?

පළවෙනියටම කියන්න ඕන මුදල් ඇමතිතුමාට ඇස්, කන්, නාසය එහෙම නැති බව. මොකද මිනිස්සු ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල, සිමෙන්ති පෝලිම්වල, තෙල් පෝලිම්වල. සති දෙකක් වැස්සේ නැත්තන් විදුලි කප්පාදුවක් අත ළඟ, එක පැත්තකින් බාල පොහොර ගෙනැල්ලා ගොවියාට වගා කරගන්න බැරුව ආහාර හිඟයක් අත ළඟ. මේ කිසිදු දෙයකට මේ අයවැයින් කිසිදු උත්තරයක් දීලා නෑ. ඊළඟ වසරේ රටේ ණය ටික ගෙවලා, විදෙස් මුදල් සංචිතය ආරක්ෂා කරගෙන තවත් ඩොලර් උත්පාදනය කිරීම ගැන කිසිදු සැලසුමක් මේ අයවැය තුළ නෑ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාපු ප්‍රතිපත්ති මේ හරහා රිවස් කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඔහු ආවේ ධනපතියන්ට බදු සහන දීලා ඒ හරහා මේ රටේ ආයෝජනය කරන්න. ඒත් දැන් ඒ සියල්ල ඉවත් කරලා නැවත වතාවක් බදු ගහන්න අරන්. ඒ වගේම පිරිවැටුම් බද්ද ආයේ ගෙනැල්ලා තියෙනවා. ඉතාම අසාර්ථක අයවැයක් මේක.

මේක ජනතාවට බර දෙන්නේ නැති අයවැයක් කිව්වනේ ආණ්ඩුවේ අය?

ඒක බලාගන්න පුළුවන් ලබන වසරේ. දැන් බලන්න අධික බදු ගැසීමක් බැංකු පද්ධතියට ගහලා තියෙනවා. ඒක බරපතල තත්ත්වයක්. ඇත්තටම අනතුරක්. රජයේ බැංකු තුන තමන්ගේ ගිණුම් හිමියන්ගේ සල්ලිවලින් ආණ්ඩුවට ණය දීලා තියෙනවා. මේ ආකාරයට හූරා කෑවොත් බැංකු පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. බැංකුවලට අධිබාරයක් හැටියට වැට් බද්ද වැඩිකරලා තියෙනවා. බැංකුවල ධනය 2%කින් ඉහළ නංවලා. 2%ක පියවන්න සමහර බැංකුවලට මහ බැංකුවෙන් ණය ගන්න වෙලා.

මුදල් අමාත්‍යවරයා කිව්ව ආකාරයට ඔහු 2022 සඳහා අවශ්‍ය වියදම මේ අකාරයෙන් බදු හරහා ලබාගන්නවා කියලා?

ඔහුගේ සංඛ්‍යාලේඛන සම්පූර්ණයෙන් වැරදියි. මුලික වශයෙන් ගත්තම අපේ ආදායම බිලියන 2200 ක් කියලා තිබ්බා. 2021 ආදායම ගත්තම බිලියන 1500යි. 46%ක වැඩිවීමක් මේකත් එක්ක බලද්දී. මේක ළඟාවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගියවර අයවැය කතාව කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා 2021 රජයේ ආදායම බිලියන 2000ක් අපේක්ෂා කරනවා කියලා. ඒත් ආදායම වශයෙන් ලැබුණේ 1500යි. එතකොට ලබන පාර කොහොමද බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා අන්ත තත්ත්වයකින් අද රට තියෙද්දී. උපරිමෙන් 2022 ආදායම බිලියන 1600ක් 1700ක් වෙයි. ඒ නිසා පට්ටපල් බොරුවක්. අනික ප්‍රාග්ධන වියදම බිලියන 900ක් කිව්වා. ඒත් යහපාලන ආණ්ඩුවේ 2019දී ඒ ප්‍රමාණයට යන්න පුළුවන් .ඒත් මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් ගිහිල්ලා තවම ඒ තත්ත්වයට එන්න බැරිවෙලා තිබෙනවා.

හැබැයි මේ අයවැයේදී ගමට සංවර්ධනය ගෙනයාම සඳහා විශාල මුදලක් වෙන්කරලා තිබෙනවා?

ඇත්තටම ගමට මුදල් වෙන්කළේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ගසාකන්න. මේකෙන් ප්‍රශ්නය විසඳන්න බෑ. මතක තියාගන්න කොට්ඨාස මට්ටමින් මිලියන 4 ගානෙ මුදල් දුන්නේ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු සනසන්න. ආණ්ඩුවේ ගජමිතුරන් හතරදෙනෙක්, රාජපක්ෂවරු කීපදෙනෙක් එකතුවෙලා සුදුලූනු බිකෙන්, පොහොර ටිකෙන්, එන්නතෙන්, නිරෝධායනයෙන්, පවා ගසාකාපු ආණ්ඩුවක්. ඒ නිසා සූර සරදියෙල් අයවැයක් කිව්වට මේක කෘෘර අයවැයක්.

අපි දැක්කා මුදල් අමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එක කල්දැම්මා. වෙනත් වියදම් කප්පාදු කළා. මේවා ජනතාව බලාපොරොත්තු වුණ දේවල් නේද?

අද මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එක නෙමෙයි ප්‍රශ්නය. අද මිනිස්සුන්ට ප්‍රශ්නය රාජපක්ෂ ආණ්ඩුවේ මංකොල්ලය ගැන. බලන්න මේ රටේ පොහොර හිඟයක් ඇති කරලා දියර පොහොර ගෙනාවා. ඒකෙන් කෝටි 800ක් වංචා කළා. සීනි වලින්, පොල්තෙල්වලින්, සුදුලූනුවලින් පවා ගසාකාපු ආණ්ඩුවක් මේක. අද රුපියල් 800 සිමෙන්ති කොට්ටය 1800ට විකුණලා පුදුම ගැහිල්ලක් ගහන්නේ. සුදුළුණු වංචාව ගැන කියන්නේ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරු. බලන්න හොඳට දිව්ව කෙරවලපිටිය බලාගාරය විකිණුවා ඇමෙරිකාවට අමු අමුවේ. ජාතික මංකොල්ලයක් වෙමින් ඉන්නේ. පුළුවන් නම් පෙන්නන්න කියන්න මේ අවුරුදු දෙකේ එක සංවර්ධන වැඩක්. ඒ නිසා මේ ජනතාවට ඕන දේ නැතුව පවුලකට ඕන දේ කරන්නේ.

ඔබ විසින් හෙළිදරව් කළා පසුගිය කාලයේ ඉන්දියාවෙන් ගෙනාපු දියර පොහොර වලින් විශාල වංචාවක් සිද්ධවුණා කියලා. ඇත්තටම මොකක්ද ඒ සිද්ධිය?

ඒ සමාගමේ යාදෙව් කියන නිලධාරියා පහුගිය දවසක ලංකාවට ආවා. ඔහු කිව්වේ මේ චම්පික රණවක හරි කියලා. ලීටරේ ඩොලර් 6යි කියලා ඒත් 25ට ගෙනත් තියෙන්නේ. අනික මහින්දානන්ද කිව්ව නයිට්‍රජන් කතාවක් නෑ. මේ යූරියා කියලා ඔහු පිළිගත්තා. මේවා කියන්නේ මහින්දානන්ද නෙමෙයි ඒ අදාළ පොහොර සමාගමේ ප්‍රධාන නිලධාරියා දැන් මහින්දානන්ද කියනවා ඔව් ගණන් වැඩියි කියලා. අනිත් එක අර අසූචි පොහොර නැව ටොන් එකක් රුපියල් 92000ක්. ඒත් මේ රටේ හදපු කොම්පෝස්ට් පොහොර ටික 4000ක්. අමු අමුවේ ගසාකනවා. කොම්පෝස්ට් පොහොර හදන්න කියලා. ඒ ආයතනයට පනතින් කිසිම අවසරයක් නෑ පොහොර හදන්න. පස්සේ පහුගිය දවසක කෝප් එකට ආවා. ඒ වෙලාවේ කිව්වා බාගෙට හදපු කොම්පෝස්ට් ටොන් 20000ක් තියෙනවා කියලා. එතනත් පොහොර ටොන් එකක් 17000ක්. මේ හැමදෙයින්ම ගසාකාලා.

ජනතාවට හිතෙන්න පුළුවන් මේවා මේ මාධ්‍යයට විතරද ඇයි නීතිය ඉදිරියට යන්නේ නැත්තේ කියලා?

මේවා අධිකරණයට වැටිලා තියෙන්නේ. ඒත් මේවා ගැන පරීක්ෂණ කරන්නේ නෑ. හේතුව අද නීතිය රාජපක්ෂ වචනය වෙලා. රාජපක්ෂලාට ඕන අයව සීඅයිඩී කැඳවනවා. රාජපක්ෂලට ඕන අයට නඩු දානවා. අනෙක් අයව නිදොස් කොට නිදහස් කරනවා. එක් දෙයක් කියන්නම් මේ අවනීතිය ක්‍රියාත්මක කරන එකට අනාගතයේ සමහර පොලිස් නිලධාරීන්ට මේවට වගකියන්න වෙයි.

පහුගිය දවසක ඔබලා තිබ්බ උද්ඝෝෂණයට විවිධ බාධා ඇතිවුණා.ඒ වෙලාවේ ඔබේ චෝදනාව එල්ල වුණේ පොලීසියට.ඒත් ආණ්ඩුව කියන්නේ ක්‍රියාත්මක කළේ නීතිය කියලා?

මෙහෙමයි නීතිය සමව ක්‍රියාත්මක වෙන්න ඕන. එකට අපි විරුද්ධ නෑ.

නෑ මේ රටේ සෞඛ්‍ය තත්ත්වය එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ?

මම අහන්නේ මේ රටේ ගෑස් පෝලිම්වල කෝවිඩ් බෝවෙන්නේ නැද්ද? මේ රටේ කිරිපිටි, සිමෙන්ති පෝලිම්වල කෝව්ඩ් බෝවෙන්නේ නැද්ද? සඳහිරු සෑය ඉස්සරහා රුස්වුණු මිනිස්සුන්ගෙන් කෝව්ඩ් බෝවෙන්නේ නැද්ද? රාජපක්ෂලගේ රුස්වීම්, පක්ෂ සැමරුම් වලින් කෝවිඩ් බෝවෙන්නේ නැද්ද? ඇයි ඒවා ඔය පොලිස්පතිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට පේන්නේ නැත්තේ? කෝවිඩ් බෝවෙන්නේ ගොවියෝ ගුරුවරු උද්ඝෝෂණය කලාමද? නැත්තන් විපක්ෂය උද්ඝෝෂණය කලාමද? ඒ නිසා අපි මේ සියලුදෙනාටම කියන්නේ මේ අයගේ දත්ත අපි ගාව තියෙනවා. අනාගතයේදී අපි නීතිය ක්‍රියාත්මක කරනවා. වසංගත නීතිය දේශපාලන වාසියක් වෙනුවෙන් පාවිච්චි කරන සියලුදෙනාම මීට වගකියන්න වෙයි අනාගතයේ.

ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ගියාම සියල්ල දේශපාලන පලිගැනීම් වෙනවා. ඔබලා රණ්ඩුවෙනවා.ජනතාව ඉතාම දරුණු ලෙස දුක් විඳිනවා.ඇත්තටම ජනතාව කොහොමද හරි පැත්ත හොයාගන්නේ?

මෙහෙමයි මේ ආණ්ඩුව අත් අඩංගුවට ගත්තේ ජනතා විරෝධවලදී විපක්ෂයේ අය නෙමෙයි.මේ රටේ ජනතාව. රාජපක්ෂලට විරුද්ධව යන හැමෝම මේ වෙද්දි රහස් පොලීසියට ගෙන්වනවා,නඩු දානවා.ඒ විතරක් නෙමෙයි මිනී මැරුවොත් නිදොස් කොට නිදහස් කරනවා.ඒ නිසා ජනතාව දැන් කල්පනා කරන්න ඕන කවුද හරි කියලා.

එතනදී ඔබට චෝදනාවක් එල්ලවෙනවා සිරිල් ගාමිණි පියතුමා ඇතුළු කතෝලික සභාව උසිගන්වන්නේ ඔබ විසින් කියලා?

කතෝලික සභාව කියන්නේ මට උසිගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රි.ව. 400 ඉඳලා පැවතිච්ච ආයතනයක්. ඒක මට හසුරවන්න බෑ. මම සාක්ෂිකයක් දුන්නා කොමිෂමට. පුළුවන්නම් ඒක හෙළිකරන්න. ඇයි වෙළුම් 22ක් හංගන් ඉන්නේ? මම සරත් වීරසේකරට අභියෝග කළා පුළුවන් නම් පෙන්නන්න කියලා මගේ සාක්ෂිය. ඒ විතරක් නෙමෙයි සී.අයි.ඩී. පරීක්ෂණයේ වාර්තාව හෙළිකරන්න. අන්න එතකොට මේ කුමන්ත්‍රණයේ ඇත්ත කතාව එනවා.මේක කුමන්ත්‍රණයක් කිව්වේ මම නෙමෙයි.හිටපු නීතිපති දප්පුලද ලිවේරා. කෙලින්ම එතුමව කැඳවන්නකෝ. මේක පිටුපස්සේ ඉන්නේ කවුද කියන එක අනාගතයේදී අපි නම් පිටින් හෙළිදරව් කරනවා.

සමහර ජනතාවට තියෙනවා ප්‍රශ්නයක් ඇයි ඔබලගේ ආණ්ඩුවේදී මේවා හෙළිදරව් කරන්න බැරි වුණේ කියලා?

ඇයි කළේ නැත්තේ. අපි ගත්ත එකෙක්ට වඩා වැඩියෙන් මේ ආණ්ඩුව ඔය සිද්ධියට අත් අඩංගුවට ගත්තද? ප්‍රශ්නයක් වුණා. එකේ වගකීම සම්පූර්ණයෙන් බුද්ධි අංශ බාරගන්න ඕන. ඒ වගේම අපිටත් වගකීමක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. අපි මේ සිද්ධියට අවශ්‍ය අය ඇල්ලුවා. කොමිසමත් දැම්මා. දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න. මෙතන තියෙන්නේ තමන්ට හිතවාදී අයට නඩු පවරන්නේ නෑ.

ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරිලා ඉන්න ජනතාව සාමාන්‍යයෙන් විපක්ෂයේ බලවේගයට එකතුවෙනවා ඒ අයගේ ප්‍රතිපත්ති එක්ක. දැන් ඔබලා හිතනවද ඒ ජනතාව ඔබලත් එක්ක එකතුයි කියලා?

මෙහෙමයි. විපක්ෂය ගැන පැහැදීමක් ජනතාවට නෑ. මොකද අපිට දුන්න දේශපාලන තීන්දුත් එක්ක අපි ඒක තේරුම් අරන් ඉන්නේ. විශේෂයෙන් මැතිවරණ පරාජයත් එක්ක. ඒකට හේතුව අපේ ආණ්ඩුවේ නායකයෝ කරපු දේවල්වල වන්දි ගෙවන්න වුණේ අපිට. එකෙනුත් රාජිත සේනාරත්නටයි මටයි. ඒ අපි දෙන්නට බය නිසා. මම හිතනවා විපක්ෂයට කයිවාරුවෙන් දිනන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි රටේ තියෙන්නේ. අපි ආවොත් කරලා පෙන්වන්නම් වගේ දේවල් මිනිස්සුන්ට වැඩක් නෑ. පම්පෝරිවලින් දුවන්න බෑ.

ජනාධිපතිත් කිව්වනේ ඔහු හරියන්නේන් නැත්තන් අලුත් කෙනෙක් හොයන්න කියලා?

ඔව්. ජනාධිපති එක්ක එකඟවන එකම දේ ඒ අදහස. අලුත් මතවාදයක් ඕන. පරණ දර්ශනවලට මේක හදන්න බෑ. මේක ආපස්සට ගිහින් රට හදන්න බෑ. රට හදන්න කැපවීම් කරපු නායකයෙක් ඕන. මම බය නැතුව කියනවා මම වැඩකරපු කෙනෙක්. මගේ අමාත්‍යංශවල මම වැඩකරලා පෙන්නුවා. මට මඩගහන්න උත්සහ කළාට මම වැඩකරපු අමාත්‍යංශ හැම එකක්ම බැබලුවා. ඒක මගේ ජයග්‍රහණයක් නෙමෙයි සමස්ත කණ්ඩායමේ ජයග්‍රහණයක්. ඒ නිසා මම කියන්නේ වැඩකරන්න පුළුවන් කණ්ඩායමක් අපි ගාව ඉන්නවා. මේ රට ගොඩගන්න පුළුවන් කුසලතා පූර්ණ පරපුරකට මිසක් පරම්පරාවෙන් දේශපාලනය කරන අයට නෙමෙයි.

ඒ කණ්ඩායම විපක්ෂයේ ඉන්නවද?

ඒක තමයි එතැනදී ඒ කණ්ඩායම විපක්ෂයේ වගේම ආණ්ඩු පක්ෂයෙනුත් හොයාගන්න පුළුවන්. ඒ හැමෝම එක්ක මේ ගමන අපි යන්නේ.

යහපාලනය කියන වචනය ඒ ආණ්ඩුව අවභාවිතා කළා කියනවා. විද්වතුන් කියන වචනය මේ ආණ්ඩුව අවභාවිතා කළා කියනවා. ඒවා එක්ක බලද්දී මේවා ජනතාව පිළිගනීද?

මෙහෙමයි අපි ඔය පැණි මුට්ටි විශ්වාස කළ විද්වත්තු ගේන්නේ නෑ. ඉංජිනේරුවෝ කළමනාකරුවෝ වගේ අය තමයි ගේන්නේ. වැදගත් නායකයෝ වගේ අය තමයි අපි ගොඩනගාගෙන යන්නේ. ඒ අනුව ලබන වසරේ අපේ ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි පක්ෂ විපක්ෂයේ ඉන්න දූෂණ වංචාව නැති  පිරිසට එකතු වෙන්න කියලා.

දැන් ඔබව ගත්තම විශාල වශයෙන් දේශපාලනය තුළ විවේච්නය වෙන කෙනෙක්. ඒ මොකද ඒ?

ප්‍රශ්නය සරලයි. චම්පික රණවක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ තාත්තගේ, අම්මගේ දේශපාලනයෙන් නෙමෙයි. චම්පික මෙතනට ඇවිත් තියෙන්නේ අයථා ගනුදෙනුවලින් නෙමෙයි. චම්පිකව මෙරට මාධ්‍යවලින් පුම්බපු කෙනෙක් නෙමෙයි. ඊටත් වඩා ආණ්ඩුවේ විපක්ෂයේ දූෂකයෝ දන්නවා මෙතැනින් එයාලගේ දේශපාලනය අවසන් වෙනවා කියලා. ඒ නිසයි මේ ගහන්නේ. හැමෝම මර්දනය කරන්න යන්නේ නෑනේ. හැබැයි අපි ඕවට අපි බය නෑ. රාජපක්ෂ යුගය විතරක් නෙමෙයි මේ රටේ පවුල්වාදය අවසන් කරලා කුසලතාවයට මුල්තැන දෙනවා.

චම්පික තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා කට්ටිය කියනවා. ඒකට ගේමක් ගහනවා කියලා කියනවා. ඇත්තද ඒක?

අපි ගේම් නෑ. අපි එළිපිට ගහන්නේ. අපිට ඕන ජනාධිපති පුටුව නෙමෙයි. මේ රට දිනවන පරපුරක් හදන්න. ඒකට ඕන මිනිස්සු ඉන්නවා. මම ඉන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යපානය ලබලා කැම්පස් ගිහින් මේ පරපුර දිනවන්න ආපු කෙනෙක් හැටියට. කාගෙන්වත් අත පල්ලෙන් වැටිලා නෑ. කිසිම අම්මා තාත්තගෙන් ආපු කෙනෙක් නෙමෙයි. අපි ගාව ඉන්නේ අවිද්‍යාවේ වෘත්තීයවේදීන් නෙමෙයි විද්‍යාත්මක වෘත්තීයවේදීන්. ඒ නිසා දැනට අපේ චරිතය ඝාතනය කරනවා. ඉදිරියේදී අපිව වුණත් ඝාතනය කරන්න පුළුවන්. ඒත් අපි බය නෑ. මතක තියාගන්න මේ රඟන්නේ අන්තිම රංගනය කියලා ඔය රඟන අයට.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00