2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

​මම මඩ වැඩට බැස්සා

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 113

ජානක තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

  • සමහරු ඉන්නෙ ජනාධිපති අගමැති හීනෙ
  • මේ රඟ දක්වන්නෙ චිත්‍රපට කතාවක්
  • මම පොහොර ගැන දන්නෙ ටිකයි: පෙනී සිටින්නෙ ජනාධිපතිතුමා වෙනුවෙන්
  • මට ආයෙ ඡන්දය ඉල්ලන්න ආසාවක් නැහැ
  • ආණ්ඩුවෙ අයට විතරක් නෙවේ විපක්ෂයෙ අයටත් වාහන දෙන්න ඕන
  • සජිත්ට මෛත්‍රීට චම්පිකට අනුරට රට කරන්න පුළුවන්ද?
  • ඡන්ද නැතිවෙයි කියල සමහරු කාබනික පෝර ගැන කතා කරන්න බයයි
  • කෙටිකාලීන දුක දිගුකාලීන සතුට ගෙනේවි

 

අපි දැක්කා මුලින් ගොඩ වැඩ කරපු ඔබ මේ වෙද්දී කුඹුරට බැහැල මඩේ වැඩ කරනවා. කොහොමද ගොඩ හොඳයිද? මඩ හොඳයිද?

ගොඩ හොඳයිද මඩ හොඳයිද කියලා අහන්නේ කුඹුරු වැඩේ නිසා වෙන්න ඇති?

ඔව්?

දේශපාලකයා ගැන රටේ ජනතාවට සමස්තයක් හැටියට ප්‍රශ්නයක් තියෙනවා. ඒක 225ටම අදාළයි. ගොඩක් අය හිතන්නේ දේශපාලනඥයා කියන්නේ අමුතු කෙනෙක් කියලා. එහෙම නෑ. ඒ නිසා තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා මම මඩට බැස්සේ.

මඩට බැස්සේ ඇයි?

ජනාධිපතිතුමා ඉතාම අසීරු සංකල්පයක් මේ ක්‍රියාත්මක කරන්න අරන් තියෙන්නේ. වස විසෙන් තොර කෑම වේලක් ජනතාවට කන්න තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. හැබැයි මේක ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයි. මේක රාජ්‍ය නායකයෙක් දෙන්න හිටිය තීන්දුවකුත් නෙමෙයි. ඒ වගේම ජනප්‍රිය තීන්දුවකුත් නෙමෙයි.

ඇයි මෙහෙම තීරණයක් හදිසියේ ගත්තේ?

මේක රට ගැන ජාතිය ගැන හිතලා ගත්ත තීරණයක්. මේක හොඳ තීරණයක්. සාමූහිකව ආණ්ඩුවේ 152කම මේකට සහයෝගය දෙන්න ඕන. එහෙම නැතුව ජනාධිපතිතුමාවත්, මහින්දානන්ද ඇමැතිතුමාවත්, ශෂීන්ද්‍ර ඇමැතිතුමාවත් විතරක් නෙමෙයි. අපි හැමෝම ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන. මොකද මේක හොඳ තීරණයක්. ඒ නිසයි මම මේ වෙනුවෙන් පෙනී ඉන්නේ.

දැන් ඔය කුඹුර කාගෙද?

කතරගම මගේ හෝටලයක් තියෙනවා. ඒකේ පිටිපස්සේ මම අක්කර එකහමාරක විතර ගොවිතැන් කරනවා. මේ පාර මම ඒක කාබනික වගාවට හැරෙව්වා. ඒ ප්‍රායෝගිකව කරන්න ඕන නිසා. මම හිතන්නේ මමයි පාර්ලිමේන්තුවේ පළවෙනි මන්ත්‍රීවරයා මෙහෙම ප්‍රායෝගිකව වැඩේට බැස්සා.

දැන් මෙහෙම මඩේ බැහැගෙන ඔබ කළාට, සමහරවිට කට්ටිය විවේචනය කරන්න පුළුවන් මේක මේ ආණ්ඩුව බේරගන්න කරන රඟපෑමක් කියලා?

මේක උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. මේක කරන්න ලේසි නම් මැතිනිගෙන් පස්සේ ආපු හැම නායකයම මේක අල්ලනවා. ඒත් මේක අත්ඇරියා. මම මේ රටට අවංකව ආදරෙයි. මට ආයේ ඡන්දය ඉල්ලන්න කියලා ආසාවක් නෑ. මට ඕන වුණේ හොඳ වැඩක් කරන්න. මම එදා ඉඳලා සටන් කළා මේ කාබයිට් ගහලා ඉදවන පළතුරුවලට පවා. මට ඕන වුණා පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේ ගැන කතා කරන්න. ඒත් වාසනාවට මේ ප්‍රශ්නය කතා කළේ උඩම පුරවැසියා. ඒක ලොකු දෙයක්.

එත් කට්ටිය විරුද්ධයිනේ මේක හිටිහැටියේ ගෙනාපු නිසා. ක්‍රමය අවුල්නේ?

මෙහෙමයි. කවුරුත් කාබනික පොහොර වැඩේට විරුද්ධ නෑ. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ ඒ කණ්ඩායමත්, අනුර කුමාර සහෝදරයා ඇතුළු ඒ කණ්ඩායමත් මේ වැඩේට විරුද්ධ නෑ. මෙතන තියෙන්නේ ක්‍රමවේදයේ ගැටලුවක්. හැබැයි ජනාධිපතිතුමා හිතුවේ ජනතාව අල්ලගෙන ඉඳලා මේ වෙනුවෙන් යුද්ධයට වගේ සහයෝගය දෙයි කියලා.

ඔබ ඔය වෙනුවෙන් කතා කළාට බොහොමයක් අය නිහඬයිනේ?

නෑ. සමහරවිට ඒ අයට නැවත ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තුවක් ඇති. මේ නිසා ඡන්ද නැතිවෙයි කියලා එයාලට ප්‍රශ්න ඇති. හැබැයි මේක මගේ අව්‍යාජ වැඩක්. ඒ වගේම මගේ කැමැතිම වැඩේ.

මෙහෙමයි. ඔබ පෙනී ඉන්නේ අනික් හැමෝටම වඩා වැඩියෙන්. ඒ වෙනුවෙන් ජීවිතේ වුණත් දෙනවා වගේ එකක් පෙන්නන්නේ? මොකක්ද ඔය තරම් කැක්කුම මේ ගැන ඔබ විතරක් කතා කරන්න?

මට එහෙම කියද්දී ඇත්තටම හිනා යනවා. ගොඩක් අය රටට ආදරෙයි කියලා කිව්වට ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. අනුර කුමාර සහෝදරයත්, සජිත් ප්‍රේමදාසත් මේ දේවල් කරනවා කිව්වා. ඒත් ප්‍රායෝගිකව ජනාධිපතිතුමා ඒක කළා. නමුත් කුහකකම නිසා ඒක අගයන්නේ නෑ. මම මේ දේවල්වලට පෙනී ඉන්නේ මම බය නෑ. මම ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න නිසා කෙළින් කතා කරනවා. මට නැතිවෙන්න දේකුත් නෑ. මොකද මගේ වෘත්තිය දේශපාලනය නෙමෙයි. මම දරුවන්ට කන්න දෙන්නේ මගේ ව්‍යාපාරවලින්. මට අවංකව ඕන මැරෙන්න කලින් නමක් තියලා මැරෙන්න.

මොන වගේද?

ඇත්තටම මගේ කාලයේ දැක්ක වීරයෙක් තමයි රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඇත්ත හදවතින් කියන්න එපැයි. එතුමා පොළොවේ පය ගහලා හිටිය කෙනෙක්. ඊට පස්සේ මම දැක්කේ 30 වසරක යුද්ධය ඉවර කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ රට වෙනම මාර්ගයකට රුගෙන යන්න හදන වර්තමාන ජනාධිපතිවරයා. ඔහු බය නැතුව තීන්දු ගන්නවා. අද බැණුම් ඇහුවත් අනාගතයේ ජනතාව අගය කරයි. දුටුගැමුණුට දසමහා යෝධයෝ හිටියා වගේ ජනාධිපතිට තිස්ස කුට්ටිආරච්චි කියලා පොඩි කොලුගැටයෙක් හිටියා කියලා කතා වෙයි අනාගතයේ.

දැන් පොහොර ප්‍රශ්නය එක්ක එන දෙයක් තමයි චීන පොහොර නැව සම්බන්ධයෙන් ගැටලුව. ඒක වෙනුවෙනුත් මැදට පැනලා. ඔබ එහෙම කරන්නේ ඔබට තියෙන දැනුම නිසාද දන්නේ නෑ. මොකක්ද දැන් මේකට සම්බන්ධ වෙන්න හේතුව?

සමාවෙන්න ඉස්සෙල්ලම කියන්න ඕන මේ පොහොර සම්බන්ධයෙන් මට මහා දැනුමක් නෑ. මම පෙනී ඉන්නේ ජනාධිපතිතුමාගේ සංකල්පය වෙනුවෙන්. මතක තියාගන්න කාබනික පොහොර කියන්නේ කොම්පෝස්ට් පොහොර නෙමෙයි. නයිට්‍රජන් ප්‍රමාණය 5෴ට වඩා වැඩි වෙනවා නම් විතරයි ඒක කාබනික පොහොර වෙන්නේ. අපිට ඕන වුණේ මේ කොම්පෝස්ට් ටික හදන්න.

මෙතන සැලැස්මක් නැති එකනේ ප්‍රශ්නය?

මම දෙයක් කියන්නම්. සැලැස්මක් තිබුණා. ඒකට පොහොර ගෙන්වන ඇතැම් සමාගම් මැදිහත් වුණා. මගේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් සූදානම් කරපු උද්ඝෝෂණයකට පස්සේ හෝටලයක සිදුවෙච්ච සාකච්ඡාවක් මට ඇවිත් තියෙනවා. ඒ ප්‍රදේශය භාර පොහොර ගෙන්වන පුද්ගලයා තමයි වාහන දීලා මේ වැඩේ මෙහෙයවලා තියෙන්නේ. ඔහුගේ කටින්ම කියලා තියෙනවා අද වැඩේ සාර්ථකයි කියලා. මෙන්න මේ මාෆියාව එක්ක තමයි ජනාධිපතිතුමා හැපෙන්නේ.

ඒ කියන්නේ මේ උද්ඝෝෂණ ඇතුළේ මාෆියාව ක්‍රියාත්මක වෙනවා?

ඔව්. ඒක ලොකුවට වෙනවා. ඩොලර් මිලියන 400ක ආයෝජනයක් තමා අපි වසරක් සඳහා පොහොරවලට යට කරන්නේ.

ඒ කියන්නේ පාරේ ඉන්න ගොවියෝ මේවා දන්නේ නැද්ද? නැත්නම් දැනගෙනද කරන්නේ?

අපි දැකලා තියෙනවනේ හින්දි, දමිළ චිත්‍රපට. ඒවායේ ඉඩම් මංකොල්ල කනකොට සල්ලි ගෙවන හැටි දැකලා තියෙනවනේ. ඒවා අපි දැක්කේ චිත්‍රපටවල. ඒත් දැන් ඒවා මේ මහපොළොවේ ක්‍රියාත්මක වෙනවා. අද සමහර දේශපාලන නායකයන්ට, දේශපාලනඥයන්ට මේ වෙනුවෙන් කතා කරනවට සල්ලි වාහන දීලා තියෙනවා. උද්ඝෝෂණයට ඕන පෝස්ටර් ටිකත් ගහලා දෙනවා. ඒ නිසා මේ චීන සමාගම හොයාගත්තේ වර්තමාන රටේ කොම්පෝස්ට් හිඟය නිසා. මේක හැමදාම ගේන්නේ නෑ. ගොවීන් මේ වැඩේට සම්බන්ධ වෙනකොට අවශ්‍ය නෑ.

මේ පොහොර හොඳ නෑ කියනවනේ?

ඔව් කියනවා. ඒත් අපි දන්නේ නෑ මේ දේවල්වල පරීක්ෂණ වුණු විදිහ. ඒවා සමාගම් ප්‍රශ්න. මේ ප්‍රශ්නය නිසා නැව නැතිවෙනකොට අපිට ඉක්මනින් ඕන වුණා නැනෝ නයිට්‍රජන් ගේන්න. ඒ නිසා තමයි අපි ඉන්දියාවෙන් ගෙනාවේ. ඔය පොහොර චීනයෙන්වත් ඉන්දියාවෙන්වත් ගේන්න හිතුවේ නෑ.

දැන් තුන්වැනි පාර්ශ්වයේ පරීක්ෂණයකින් තහවුරු කරලනේ මේක ප්‍රශ්නයක් නෑ කියලා. ඒ නිසා බාරගන්නවද?

අද උදේ තමයි මම ඒ ගැන දැනගත්තේ. මේ සමාගම රටවල් 19කට පොහොර දෙනවා. ඒ නිසා තමයි එයාල කිව්වේ මේ ගැන තුන්වැනි පාර්ශ්වයකින් පරීක්ෂණ කරන්න කියලා. හැබැයි මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, විෂය භාර ඇමැතිලා දෙන්නත් කියලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයකින් අනුමත වුණත් ගැටලුවට තුඩු දෙන පොහොර නැව බාරගන්නේ නෑ කියලා. හැබැයි වෙන පොහොර නැවක් සම්බන්ධයෙන් සලකා බලන්න පුළුවන්නේ. අපි පොහොර එපා කියලා නෑනේ.

අපි දැක්කා පහුගිය දවසක ජනාධිපතිතුමා කියනවා ඔහුව හොඳ නැත්නම් හිටිය අය ගේන්න එපා. අලුත් කෙනෙක් ගේන්න කියලා. මොකක්ද මේ කතාව. ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය සම්බන්ධයෙන් ඉවක්වත් වැටිලද?

මම කිව්වනේ ජනාධිපතිතුමා තීන්දු තීරණ ගන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. එතුමා ආවේ රට හදන්න. මහින්ද මහත්තයා පරාද කරලා, පස්සේ ළමයි අල්ලලා හිරේ දාද්දි කඳුළු පිරි දෙනෙතින් බලාගෙන හිටියා රටට එච්චර දෙයක් කරලා තමන්ගෙන් පලිගන්න හැටි දැකලා. ඒ වගේම මේ ජනාධිපතිතුමාටත් හිතෙනවා ඇති ඒ හොඳ වැඩේටත් මෙහෙම ප්‍රතිචාර ලැබෙනවා නම් එතුමවත් එපා නම් මේ රටට අලුත් නායකයෙක් ගේන්න කියන්නේ රටට තියෙන ආදරේට. ඒක නරක දෙයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයට කරන්න පුළුවන්ද? මෛත්‍රීපාල මහත්තයා ගේන්නද? අනුර කුමාරට පුළුවන්ද? පාඨලී චම්පික රණවක කරන්නද? බෑනේ. කාටද රට භාර දෙන්නේ?

දැන් ඔබගේ පක්ෂයේ කට්ටියක් ආණ්ඩුවට විරුද්ධව කෑගහන්නේ ඒ අලුත් කෙනා හදන්න නෙමෙයිද?

හරියටම හරි. මේ තියෙන ප්‍රශ්න එක්ක අපේ අය බය වෙලා ඉන්නේ. දැන් ඒ අය හීන දකිනවා මට අගමැති වෙන්න පුළුවන්ද? මට ජනාධිපති වෙන්න පුළුවන්ද කියලා. මම නම් කියන්නේ නෑ. ඒත් එක එක්කෙනා අරගෙන බලන්නකෝ ඒ අයට සුදුසුකම් තියෙනවද කියලා. රටේ ජනාධිපති වෙන්න ලේසියෙන් බෑ.

හැබැයි ඒ අය කියන්නේ ඒ අය තමයි මේ ආණ්ඩුව හැදුවේ කියලා?

එතුමලා ඒ වෙනුවෙන් වේදිකාවේ කතා කළාට ඇයි වේදිකාව හදපු අය අමතක කරන්නේ. ඉස්සරහ අත්පුඩි ගහපු අය අමතක කරන්නේ? තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීකම නැතිවෙයි කියලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත නැති අයයි ඔය ඉන්න කට්ටිය. කොහොම වුණත් මේ හැමදේටම හැමෝම සම්බන්ධයි. එත් ඒ අය කතා කළ එකට අපි ගෞරවය දෙනවා. අපිට අහන්න තියෙන්නේ අපි සියඹලා ගෙනල්ලා නැද්ද කියලා.

ඔබටත් එන්න කිව්වොත් ඒ අය එක්ක යන්න?

මගේ ජීවිතයේ උපරිම තෘප්තියට මම ආවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීකම. මට මේ අවස්ථාව ලබා දුන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා. මට උදව් කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා. මම ඒ දෙන්නගේ ගෞරවය රකිනවා. මගේ වගකීම පරපුරෙත් මගේ දරුවො දෙන්නගෙත් ගෞරවය ආරක්ෂා කරන එක. ඒ නිසා ආයේ දේශපාලන තීන්දු ගන්නේ නෑ. මට ලොකු බලාපොරොත්තුත් නෑ. ජනාධිපතිකම දෙනවා කිව්වත් යන්නේ නෑ.

රට ලෙල්ලටම වැටිලා, ආණ්ඩුව ප්‍රශ්න ගොඩක් මැද්දේ, ඒ අස්සේ ඔබ ඉල්ලනවා අලුත් වාහන. මේවා සාධාරණද?

ඒක මන්ත්‍රී වරප්‍රසාදයක් නෙමෙයි. ප්‍රාදේශීය සභාපති, ප්‍රාදේශීය ලේකම්, දිසාපති, මේ හැමෝටම වාහන දෙනවා තමන්ගේ පළාතේ වැඩ කරන්න තෙල් එක්කම. මම කියන්නේ ආණ්ඩුවේ අයට විතරක් නෙමෙයි විපක්ෂයේ අයටත් වාහනයක් අනුමත කරන්න ඕන. ඒ මොකද ගොඩක් අය එන්නේ දුර බැහැර ඉඳලා. කොහේ හරි ගමනක් යනකොට කැඩිච්ච වාහනයක් තියෙනවා නම් වෙලාව, ඒ එන මිනිස්සු පවා රස්තියාදු වෙනවා. පළාත් සභාවේ අයටත් තියෙනවා. එහෙම නම් නීතිය හදන පාර්ලිමේන්තුවේ අපිට වාහනයක් දෙන එකේ මොකක්ද ප්‍රශ්නය.

කවුද කිව්වේ ඕක ගැන කතා කරන්න කියලා?

මට කවුරුත් කිව්වේ නෑ. මගේ කට විවෘතයි. මම බොරු කතා කරන්නේ නෑ. මම හදවතින් කතා කරන්නේ. මම බය නෑ. මට ආණ්ඩුවේ කවුරුත් කියලා නෑ මෙහෙම කතා කරන්න කියලා.

ඔහොම කතා කරපු බහුතරයකට වැඩ වැරදුණා?

මම කිව්වනේ එහෙම බලාපොරොත්තු නෑ. ඒ නිසා බය නෑ. මම ඇත්ත කතා කරනවා. වැඩ වැරදුණොත් ගෙදර ගිහින් ව්‍යාපාර කටයුතු කරනවා නිදහසේ. මම තනතුරුවලට බයත් නෑ වැඩටත් බය නෑ.

මිනිස්සු බඩු නැතුව, ගෑස් නැතුව පෝලිමේ ඉන්නකොට තිස්ස කුට්ටිආරච්චි වාහනයකින් ගමට ගියොත් ගුටි කන්න වෙයි?

අත ඉස්සුවොත් පාඩුවේ තත්ත්වය පැහැදිලි කරනවා. මම ඒ මිනිස්සු එක්ක ගහගන්නේ නෑනේ.

වාහන ගෙවල් ඕන කියලා ඔබ විතරනේ ඉල්ලන්නේ. වෙන කවුරුත් නෑනේ?

ඒ ඊළඟ පාර ඡන්දය නැතිවෙයි කියලා. මම බය නෑනේ. හැබැයි දුන්නම ඔක්කොම පහසුකම් ටික ගනී. මම කියන්නේ 225ට දෙන්න ඕන කියලා.

දැන් ඔබටත් වාහනයක් නැද්ද?

මම ව්‍යාපාර කරන පුද්ගලයෙක්. මට යාන වාහන තියෙනවා. මම කතා කරන්නේ පොදු මතය ගැනනේ. මට ඕන වාහනයක් ගැනීමේ හැකියාව තියෙනවා.

අවසාන වශයෙන් අහන්නේ මේ තියෙන තත්ත්වයත් එක්ක ආයේ ඡන්දයක් මිනිස්සුන්ගෙන් ඉල්ලන්න පුළුවන්ද?

දැනට නෑ. ක්ෂණික නූඩ්ල්ස් වැඩ නැති නිසා දැනට නෑ. දැන් බලන්න පවුලක තාත්තට සල්ලි තියෙනවා නම් දරුවෝ, නෝනා විතරක් නෙමෙයි මහත්තයත් සතුටින්. සල්ලි නැත්නම් ඔක්කොම දුකෙන්. ඒ වගේ තමයි ජනාධිපතිතුමත්. එතුමට දෙන්න පුළුවන් නම් සියලු සහන දෙනවා. ඒ නිසා මම ජනතාවට කියන්නේ කෙටි කාලීන අපහසුතාවය දිගුකාලීන අස්වැසිල්ලකට හේතු වෙනවා. ඒ නිසා බුද්ධිමත් ජනතාව හිතන්න.

 ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00