2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

බඩුමිලේ - හිඟයේ තිත්ත ඇත්ත

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 44

සහල් මිල පසුගිය සතිය තුළදී යළිත් වරක් ඉහළ ගියේය. එකවරම රුපියල් 15, රුපියල් 30 වැනි මිල ගණන් වලින් සහල් මිල නගිද්දී පාරිභෝගික ජනතාවට කළ හැක්කේ හිසේ දෑත් ගසාගෙන බලා සිටීම පමණි. සති දෙක තුනක් තුළදී මේ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 30කින්ද සම්බා කිලෝවක මිල රුපියල් 15කින්ද නාඩු කිලෝවක් රුපියල් 15කින්ද ඉහළ ගොස් තිබේ. රුපියලකින්වත් සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවට පාරම් බෑ පිරිස් කොහේ ගියාදැයි නැත.

සහල් පමණක් නොව සෙසු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලේම මිල ඉහළ යමින් තිබේ. එපමණක් නොව ඇතැම් භාණ්ඩ හිඟ වෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. සුදු සීනි සහ ඇතැම් කිරිපිටි මේ හිඟයට අසුව තිබෙන භාණ්ඩ වර්ග අතුරින් දෙකකි. සුදු සීනි රජය නියම කරන මිලට අලෙවි කළ නොහැකි බව ආනයනකරුවෝ කියති. මේ නිසා සීනි තොග තවමත් වරායෙන් මුදාගෙන නැති බවද ඔවුහු සඳහන් කරති. මේ කතාවේ ප්‍රතිඵලය කළුකඩ මුදලට සුදු සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට බලකරනු ලැබීමය. රතු සීනි වුවද මිලදී ගතහැක්කේ සීමිතව පමණි. කිරිපිටිද මිල වැඩිකළ වහාම වෙළෙඳපොළට පැමිණි නමුත් මේ වනවිට ඇතැම් ප්‍රදේශවල කිරිපිටි මිලදී ගැනීමට නැත. අදාළ සමාගම් ප්‍රකාශ කරන්නේ තමන් වෙළෙඳපොළට අවශ්‍ය තරමට කිරිපිටි බෙදාහැරියත් ජනතාව විශාල වශයෙන් කිරිපිටි පැකට් මිලදී ගැනීමට පෙළඹුනු බැවින් හිඟයක් ඇතිවූ බවය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. අප දැන සිටින්නේ වැඩිකළ මිලටද ඇතැම් ප්‍රදේශවල කිරිපිටි මිලදී ගත නොහැකි බවය.

සහල් මිල වැඩි කරන බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් ප්‍රකාශයට පත්කරන විට වෙළෙඳපොළේ එම ප්‍රධාන සමාගම් නිපදවන සහල් හිඟයක් ඇතිව තිබිණි. ලංකා සතොස නිලධාරියකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ නාඩු සහල් රුපියල් 98 බැගින් කිලෝ 03ක් පාරිභෝගිකයකුට මිලදී ගත හැකි බවය. සුදු සහ රතු කැකුළු රුපියල් 95 බැගින් අලෙවි කරන බවද ඔහු සඳහන් කර තිබිණි. එහෙත් ඇතැම් සතොස ශාඛාවල කැකුළු සහල් නැත. සුදු සීනිද නැත.
භාණ්ඩ මිල වැඩිවීම සහ හිඟවීම පාරිභෝගික ජනතාවට බරපතළ ප්‍රශ්න ඇතිකර තිබේ. රසායනික පොහොර ගැටලුවක් සමඟ සහල් මිල ඉහළ යාම සහ ඇතැම් සහල් වර්ග හිඟවීම ගැටගැසී තිබේ. පසුගිය මාසයේ 27 වැනිදා දක්වා රජය සහල් සඳහා පාලන මිලක් පවත්වාගෙන ගියද එය අසාර්ථක වැඩපිළිවෙළක් විය. තවදුරටත් වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාමක් සහල් හිඟයක් ඇතිවීමත් වළක්වා ගැනීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කරමින් රජය සහල් මිල පාලනය ඉවත් කළේය. පාලන මිලක් පවත්වාගෙන ගියත් එම මිලට සහල් මිලදී ගැනීමට නොහැකි වී තිබිණි. පාලන මිල පවතිද්දී රුපියල් 125ක් වූ කීරි සම්බා කිලෝවක මිල නව මිල ගණන් අනු දැක්වෙන්නේ රුපියල් 195ක් හැටියටය. ඒ අනුව සියයට 60කට වැඩි ප්‍රතිශතයකින් සහල් මිල සති තුනක් තුළදී වැඩි වී තිබේ. මෙහි කෙළවර කුමක් වේදැයි සිතාගැනීමත් අමාරුය.

භාණ්ඩ මිල වැඩිවීමත් හිඟයක් ඇතිවීමත් මවන්නේ යහපත් චිත්‍රයක් නොවන බව ආණ්ඩුවේ බලධාරීන් දැන සිටිය යුතුය. රසායනික පොහොර ගැටලුව හේතුවෙන් වගා අස්වනු අඩුවනු ඇති බවට කෙරුණු අනතුරු ඇඟවීම් ආණ්ඩුවේ විෂය භාර මැති ඇමැතිවරුන් ගණන් ගත්තේ නැත. ඔවුන් එය ගණන් නොගත්තත් ප්‍රතිවිපාක නැවැත්විය නොහැක. ඒ බව තේ දලු නිපැයුම අඩුවීම පැහැදිලිවම පෙන්වා දී තිබේ. සහල්වලටද අත්වෙමින් තිබෙන්නේ එම ඉරණම බව තේරුම් ගැනීම අසීරු නැත. මෙවර මහ කන්නයේ වගා කටයුතු මේ වනවිට ආරම්භ වී තිබිය යුතු වුවද රසායනික පොහොර නොමැතිව ඇතැම් දිස්ත්‍රික්කවල ගොවීන් වී වගාව අතහරින බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. ආණ්ඩුවේ බලධාරීන් මේ ප්‍රකාශ විපක්ෂයේ බොරු ප්‍රචාර වශයෙන් සලකා බැහැර කළත් පොහොර නොමැතිව අස්වැන්න අඩු වීම වළක්වා ගන්නට හැකියාවක් නැත. තත්ත්වය තවදුරටත් බරපතළ වීම නවත්වා නොගතහොත් එය රටම මහත් අසීරුවකට ඇද දැමීමක් වනු ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට දැකගන්නට ලැබුණේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල වාහන පෝලිම් ඇතිවන බවය. එය සැපයීමේ ප්‍රමාදයක්ද යන්න පැහැදිලි නුවූවත් පෙට්රල් සම්බන්ධයෙන් පවතින්නේද අවිනිශ්චිත තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය. ධාවනයේ යෙදවීම දිනෙන් දින ප්‍රමාද කරන දුම්රිය පිළිබඳවද මේ අවිනිශ්චිත බව එසේම පවතියි. ඩීසල් ප්‍රමානවත් තරම් නොලැබීම එයට හේතුව බව සමහරුන් ප්‍රකාශ කරන අතර දුම්රිය වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා ඇත්තේ දුම්රිය සේවා ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට හේතු ප්‍රකාශ කරන ලෙසටය. එයට රජයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වීම සාධාරණය.

භාණ්ඩ මිල ඉහළයාම සහ හිඟවීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට ඇඟිල්ල දිගුකිරීමට රජයට දිගටම හැකියාවක් ලැබෙන්නේ නැත. එසේ වැරුද්ද පැටවිය හැක්කේ සාධාරණ හේතුමත සුළු කාලයකට පමණි. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගොස් ඇති භාණ්ඩ ගෙන්වන ආනයනකරුවන්ට රජය මගින් සහන සලසා නුදුන්නොත් එම භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැක. එසේම මෙරට භාණ්ඩ නිපැයුම්කරුවන් මුහුණ දෙන පිරිවැය සම්බන්ධව නිවැරදි තක්සේරුවක් නැතිව මිල පාලනය කරන්නට යාම නිෂ්ඵල ක්‍රියාවකි. අද සහල්, කිරිපිටි, සීනි, ගෑස්, ඉන්ධන, සිමෙන්ති ඇතුළු සියලු භාණ්ඩ මිල ඉහළ යාමේ තිත්ත ඇත්ත එයයි.