2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අෙප් ඡන්දදායකයන් ෙම් ෙවලාෙව් පාරට බැස්සීම තකතීරු වැඩක්

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

  • එජාපයට ඇති එකම විකල්පය අපිත් සමඟ එකතුවීම පමණයි
  • මේ රට හදන්න බැරි දේශපාලකයන් මැදිහත් වන ජාවාරම් නිසා
  • සජිත් මහත්තයා වංචනිකයෙක්වත් දූෂිතයෙක්වත් නොවෙයි
  • හොරුන්ට දඬුවම් දිය හැකි සරත් ෆොන්සේකා ඉන්නේ අපි ළඟයි
  • අපි කවදාවත් කොරෝනා මතින් බලය අල්ලන්න යන්නෙ නෑ
  • එදා පොළොව ඉම්බ මහින්ද මහත්තයා දැන් මහපොළොව විකුණනවා
  • රාජපක්ෂ සාටක නාටකයේ රනිල් මහත්තයත් එක කොටසක්

 

 

ආණ්ඩුවේ ඇතැම් කාරණා එක්ක අපි දන්නවා යම් ජනතා විරෝධයක් ඇතිවෙලා තියෙනවා කියලා. මේ නිසා ජනතාවත් බලාපොරොත්තු වෙනවා විශාල වශයෙන් විපක්ෂයේ මැදිහත්වීමක් මේ ප්‍රශ්නවලට. ඔබ විශ්වාස කරනවාද ජනතාව බලාපොරොත්තු වුණ විපක්ෂයේ වගකීම ඉෂ්ඨ කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා කියලා?

ඉතිහාසයේ විපක්ෂ එක්ක බලද්දී වර්තමානයේ විපක්ෂයේ හැසිරීම අනාගතයේ ආණ්ඩුවක් පාලනය කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා. ඒක සියයට සීයක් කියලා මම එකඟ වෙන්නේ නෑ. නමුත් යහපාලන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළ ඒකාබද්ධ විපක්ෂය එක්ක බලද්දී වර්තමාන විපක්ෂය ඉහළ තැනක තියෙන්නේ. අමතක කරන්න එපා අපි ජවිපෙට වඩා විශාල පිරිසක් ඉන්න පක්ෂයක් කියලා. අපිට උද්ඝෝෂණයෙන් එහා ගිය වගකීමක් තියෙනවා. මොකද දැන් ජනතාවට ඕන එහෙම රවටන්නේ නැති පිරිසක්.

ඔබලා කොහොමද කියන්නේ ඔබලා ජනතාව රවටන එකක් නෑ කියලා. ඔබලත් ආණ්ඩු කරපු අය?

මේ රටේ පළවෙනි වතාවට තමයි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඇතුළු අපිට ආදරය කරන ජනතාව හොරු නොවෙන පිරිසක් පත් කළේ. විශේෂයෙන් එජාපයේ ඩීල්කාරී බව, නායකත්වයේ ප්‍රශ්න නිසා ජනතාව අපිට ඡන්දය දීලා හොඳ පිරිසක් පත්කරගත්තා.

හොරු එහෙම නෑ?

හොරුත් ඉන්නවා. අපි ඒ අය දන්නවා. කවුද සමහර දේවල්වලට උදව් කළේ කියලා. ඒ ගැන දේශපාලන තීන්දු ගන්න ඕන රටේ ජනතාව. කොහොම වුණත් අපි අපේ වගකීම නිවැරදි ලෙස ඉටුකරමින් යන්නේ වර්තමාන කොවිඩ් වසංගතයත් සමඟ. ඒ නිසා අපිට කොහෙත්ම නෑ ජනතාව රවටන අරමුණක්. මොකද අපේ ජයග්‍රහණය අපේ ඡන්ද දායකයාගේ වගේම රටේ ජයග්‍රහණයක් වෙන්න ඕන.

අපි දන්නවා ආණ්ඩු විරෝධී ජනතා රැළි ඇති වෙනකොට ඒ ජනතා බලය විපක්ෂයට හරවගන්න විපක්ෂය සූක්ෂම වෙනවා. වර්තමානයේ ජනතාවගේ කැමැත්ත, සහය විපක්ෂය වෙත නැඹුරු කරගන්න පුළුවන් වුණාද?

ඔබ කියන දේ හැමදාම වෙච්ච දේ මේ රටේ. එහෙම ආණ්ඩුවල ප්‍රශ්නවලින් ආපු විපක්ෂය, පස්සේ ආණ්ඩු කරන්න ගිහින් දියාරුවෙලා, අමාරුවේ වැටිලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජනතා උද්ඝෝෂණවලට මැදිහත් නොවී පාර්ලිමේන්තුව සහ ඉන් එහාට ගිහින් ප්‍රශ්න වෙනුවෙන් සටන් කරන එක තමයි මේ වෙලාවේ විපක්ෂයේ අරමුණ වෙන්න ඕන. අපිට බැරිකමක් නෑ ලක්ෂ 55ක අපේ ඡන්ද දායකයෝ එක්ක පාරට බහින්න. මම හිතන්නේ ඒවා මේ වෙලාවේ තකතීරු ඔලමොට්ටල වැඩ.

මේ රටේ පාවෙන ඡන්ද තියෙනවා. ඒ ඡන්ද ටිකවත් ඔබලාගේ පැත්තට ළං කරගන්න පුළුවන් වුණාද?

මම හිතන්නේ ඒ ඡන්ද ළං විය යුතුයි. මම දන්නවා යහපාලනය කාලේ ඒ ආණ්ඩුවෙන් වුණ යම් යම් කාරණා හේතුවෙන් ඒ අය අමනාපයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. විශේෂයෙන් ජාති විරෝධී ආගම් විරෝධී ප්‍රශ්න. හැබැයි පාස්කු ප්‍රහාරය සහ වර්තමානයේ හැසිරීම ගැන අවබෝධයක් තියෙන උගතුන්ට වියතුන්ට මම කියනවා එදා බලයට ගෙනාවේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න එක්ක නිසා දැන්වත් ඔබලා හිතලා බලන්න කියලා. මොකද ඩීල් නැති පිරිසක් ඉන්නේ. සමාගම්වලට යට නොවන පිරිසක් ඉන්නේ. ඒ හයිය සජිත් ප්‍රේමදාස මහත්තයට තියෙනවා. රටේ ඉතිහාසය ගත්තම ජයග්‍රහණය සඳහා උදව් කරන්නන්ගේ වචන අහලා රට විනාශ කරලා තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් අපි අතර නෑ. මම උගතුන්ට වියතුන්ට කියන්න තියෙන්නේ ඔබලා අසරණ වුණාට අපි ඔබලාගේ අරමුණු සඵල කරන්න කටයුතු කරනවා කියලා. මොකද ඔබලගේ එකම විකල්පය වෙන්නේ සමගි ජනබලවේගය.

ගොඩක් අය කියනවනේ ඔය කතා?

ඔවුන් සමහර කණ්ඩායම් විශේෂයෙන් ආණ්ඩු කරපු අය මේ වෙද්දී විවිධ මුහුණුවරින් එමින් ඉන්නේ. අපිට තමයි මේක කරන්න පුළුවන් කියලා. අන්න ඒ අය තමයි මේ රට අවුරුදු 70ක් තිස්සේ විනාශ කළේ. ඒ අයට රුවටෙන්න එපා කියලා මම ඉල්ලනවා. මොකද වැඩකළ හැකි හොඳම පිරිස ඉන්නේ අපිත් එක්ක. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා වගේම මේ රටේ හොරාකාපු අයට දඬුවම් දියහැකි නායකයා ඉන්නෙත් අපි ගාව. ඒ සරත් ෆොන්සේකා මහත්තයා. තරාතිරම නොබලා ඔහු දඬුවම් දෙනවා. හොරාකාපුව නැවතගන්න පුළුවන් වෙන්නෙත් ඔහුට විතරයි. ඒක මම පෞද්ගලිකව දන්නවා. එතුමා සමඟ ඉදිරි අවුරුදු පහ සජිත් ප්‍රේමදාස මහතා කරයි.

දැන් ඔබලගේ පක්ෂයේ දූෂිත අය ඇත්තෙම නැද්ද?

යම් චෝදනා තියෙන අය ඉන්නවා. විශේෂයෙන් යහපාලනය කාලයෙත් ඉන් එපිටත් කරපු දේවල් ගැන පක්ෂයක් හැටියට අපි විමර්ශනයක් කරන්න ඕන. දැන් ඔබ දන්නවා ටොප් ටෙන් කියලා චෝදනා එල්ල වුණ අය හිටියා. එහෙම චෝදනා තියෙන අය ඉන්නවා නම් අපිට බෑ රටක් හදන්න. ඒ නිසා අපි පක්ෂයෙන් ඉල්ලන්නෙත් මේ පක්ෂය හොරුන්ගෙන් තොර බවට ජනතාවට සහතික කරන්න කියලා. මොකද අපි දන්නවා මේ රට හදන්න පුළුවන්. හදන්න බැරි දේශපාලකයන් මැදිහත්වෙලා කරන ජාවාරම් නිසා. ඒ නිසා අපි රටට පෙන්නන්න ඕන අපේ ආණ්ඩුවකදී මෙතුමාට බලය දීලා ඒ හොරාකාපු මිනිස්සුන්ට දඬුවම් දෙනවා කියලා.

ඔබ හිතන්නේ මොකක්ද, පක්ෂයේ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණ අයට පරීක්ෂණ කරන්න කිව්වම පක්ෂ නායකත්වය ඉටුකරයි හෝ මගහරියි කියලද?

ඔහු මග හැරලා නෑ. ඔහුට මේ වෙලාවේ බලය නෑ. හැබැයි බලය ගන්නකොට ඒක කරන බවට සහතිකයක්, විශ්වාසයක් ඉටු කරන්න ඕන. ඔහු ගැන අපිට විශ්වාසයි. හේතුව ඔහු වංචනිකයෙක්වත්, දූෂිතයෙක්වත් නෙමෙයි. මම දන්නවා ඔහුගේ වැඩ පෞද්ගලිකවම. මොකද ඔහුගේ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී හැටියට මම හිටියේ. ඒ නිසා ළමයි බදාගන්න එක, බදාගෙන උම්මා දෙන එකට වඩා ජනතාවට ඕන ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ජනතාව ඉදිරියේ රඟපාලා බෑ.

පහුගිය ටිකේ විපක්ෂනායකතුමා කුඩ තියාගෙන වැස්සේ තෙමෙනවා අපි දැක්කා. ඒවත් රඟපෑම් කියන්න පුළුවන්නේ?

අපි දැක්කනේ යුද්ධය දින්න වෙලේ මහින්ද රාජපක්ෂ මහත්තයා පොළව ඉම්බ හැටි. එතැනින්නේ ආදරේ කරන්න ගත්තේ. හැබැයි එතුමා දැන් රටේ මහ පොළව විකුණනවා. ඒ නිසා එහෙම එකක් අපේ නායකතුමාට නෑ. මම කියන්නම් එදා වෙච්ච දේ. එතුමා එදා ගියේ ගොවිබිමට. ඒ වෙලාවේ මිනිස්සු පන් හයසීයක් අමතන වෙලාවේ වහින්න ගත්තා. ඒ වෙලාවේ මේ කලකිරීමෙන් ඉන්න ගොවි ජනතාව වැස්සෙ තෙමීගෙන එතුමා එක්ක ඉන්නකොට ඒ ජනතාවට ගෞරවයක් හැටියට කුඩේ ඉහිලුවේ නෑ. ඒ තමයි ජනතාව වෙනුවෙන් එතුමාගේ ගෞරවය. ඒ වෙලාවේ මම හිටියත් ඒක කරන්නේ. ඉතින් ඒක කට්ටිය රඟපෑමක් වගේ කතා කිව්වට ඇත්තට වුණේ ඒක. කුඩේ නිකන් හරි දිගඇරියා නම් වෙන කතාවක් කියයි.

ඔබ නිතර කියනවා මේ රට හදන්න විපක්ෂ නායකතුමාටත්, සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමාටත් පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබලාගේ ආණ්ඩුවක උඩ ඉන්නේ ඒ දෙන්නද?

නෑ නෑ. අපේ තව ඉන්නවා. දැන් බලන්න එදා හාල් මාෆියාවට විරුද්ධව වැඩකළ ඇමතිවරයා ඉන්නේ අපි ගාව. ඩඩ්ලි සිරිසේනව මෙල්ල කළේ හර්ෂ ද සිල්වා ඇමතිතුමා. ඒ නිසා තමයි මම සරත් ෆොන්සේකා මහත්තයව ගත්තේ. එතුමා යුද්ධය ඉවර කළා වගේම මේ රටේ හොර දූෂණය නවත්තන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තව ඉන්නවා පාඨලී චම්පික රණවක ඇමතිතුමා, රාජිත සේනාරත්න ඇමතුමා වගේ අයත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ අය විෂය ප්‍රවීණයන්. ඒ වගේම නායකත්වය දරන්න පුළුවන් අය. මොකද හැමදාම සජිත් ප්‍රේමදාස මහත්තයට නායකත්වයේ ඉන්න බෑ. එතුමාගෙන් පස්සෙත් සුදුසුකම් තියෙන අය ඉන්නවා.

ඇයි මේ ඔබ ළඟදී එකපාරටම ඔබේ පක්ෂයේ නායකයාට පහර දෙන්න ගත්තේ? ඇති වෙලාද?

නෑ එහෙම කිසිම එකක් නෑ. මම කියන්නේ වර්තමාන ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරයෙන් අසරණ වුණ ජනතාවගේ කඳුළු මතින්. මතකනේ ඒ ප්‍රහාරයට කලින් ගෙනාපු වඳ කොත්තු, වඳ දොස්තරලා මේ හැමදේම ඒ නිර්මාණයේ කොටස් කියලා සැකයක් තියෙනවා. කාදිනල්තුමා පවා කියනවා පාස්කු ප්‍රහාර ගැන බලය ලබා ගැනීමේ සැකයක් කියලා. ඒ නිසා අපිට එහෙම බලය ගන්න අවශ්‍යතාවයක් නෑ. මම කියන්නේ අපිත් කොරෝනා මරණ මතින් බලය අල්ලන්න යන්න නරකයි. අපිටත් සාප කරනවා මාස දෙක තුනක් යනකොට ඒ මිනිස්සු. ඒ නිසා මේක අනතුරක් අනාගතයේ අපිට. ඒ නිසයි මම ඒක කිව්වේ. යෝජනා කළේ පක්ෂයට.

ඒ යෝජනාවට විපක්ෂ නායකතුමාගේ ප්‍රතිචාර කොහොමද?

මට කතාකරපු  වෙලාවේ කිව්වේ චමින්දට විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ටත් සජිත් රට කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා කියලා. එදා විපක්ෂය වගේ ජනතාව රවට්ටන්න බොරු කියන්නේ නැතුව ඇත්ත යෝජනා කරපු එක ගැන එතුමා සතුටු වෙනවා කිව්වා. චමින්දත් ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්න සජිත්ගේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියේ රටට කියනවා කියා එතුමා කිව්වා. අන්න ඒක වෙන්න ඕන. අපි කියන්නෙත් ඒකයි. එතුමා එක්ක මට තරහක් නෑ.

දැන් මේ වෙනකොට එජාපයත් නැගිටලා එනවා. ඔබේ හිටපු නායකතුමා විවිධ යෝජනා ගේනවා. මොකද හිතන්නේ ඒ ගැන? බයක් නැද්ද?

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකල් එහෙම බයක් නෑ. මොකද මම හිතන්නේ එතුමා රාජපක්ෂලාගේ සාටක නාටකයේ එක් කොටසක්. එතුමා පහුගිය ටිකේම පාර්ලිමේන්තුවේ කතා කළා. ගම්මන්පිල ඇමතිට විරුද්ධව විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ කතා කළා. හැබැයි ඔහු ඡන්දය දෙන්නේ නෑ ආණ්ඩුවට විරුද්ධව. එතුමා කිව්වෙත් ආණ්ඩුවට විරුද්ධව ගේන්න කියලා. ආණ්ඩුවට විරුද්ධ නොවන අය ගම්මන්පිල මහත්තයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් එතුමා කිව්වෙ ආණ්ඩුවට විරුද්ධව ගේන්න කියලා. කාගේ උවමනාවටද? ආණ්ඩුව රුකගන්න. එතුමා පිළිගත් නායකයෙක් හැටියට කරන්න ඕන මේ වෙලාවේ ජනතාව ප්‍රතික්ෂේප කළාම තරුණ නායකයකුට පක්ෂය බාරදීලා යන එක. පාර්ලිමේන්තු එන එක නෙමෙයි.

ඒ කියන්නේ බලය අල්ලන්නවත් එජාපය එක්ක එකතුවීමක් නැද්ද ඔබලාගේ?

නායකතුමාගේ දැක්ම අනුව රාජපක්ෂ පාලනය මර්දනය කරන්න ඕනනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එජාපයට එකඟ වෙන්න වෙනවා අපි එක්ක යන්න. වෙන විකල්පයක් නෑ. ඕනෑම කෙනෙක්ට ඒක එකඟයි. මොකද ඒ හයිය තියෙන්නේ අපිට.

 ගයාන් ගාල්ලගේ