2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

මෝල් හිමියෝ හෙලිකොප්ටරේ: වී ගොවියා බයිසිකලේ

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 75

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

වර්තමාන වසංගතය හමුවේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙනවා. විශේෂයෙන් ආර්ථික අවුල වගේ දේවල් ගැන. ඔබ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්තම කියන්න ආණ්ඩුව මේ වෙලාවේ හිරවෙලා ඉන්නේ මොන වගේ ප්‍රශ්න ගොඩකටද?

මේ වෙලාවේ මුළු ලෝකයම මුහුණදෙන ප්‍රධානම ගැටලුව වන කොව්ඩ් වසංගතයටයි මේ ආණ්ඩුවත් ප්‍රධාන වශයෙන් මුහුණ දීලා තියෙන්නේ. මේ වෙද්දී ඒකට එකම සහ හොඳම විසඳුම හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීලා තියෙන්නේ එන්නත්කරණය. ඉතින් මේ සියලු දේවල් ඉතාම හොඳින් විසඳගනිමින් අපි ආණ්ඩුවක් හැටියට හොඳ ගමනක් යනවා. මේ වසංගතය නිසා ගොඩනැගුණු ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් ආර්ථික පැත්තෙන්. හැබැයි ඒ සියල්ල ක්‍රමානුකූලව අපි විසඳගෙන යන්නේ. මොකද මේවා හංගන්න දෙයක් නෑ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මුදල් ඇමැති කෙනෙක් තියෙන ප්‍රශ්න විවෘතව ප්‍රකාශ කළා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ සියල්ල ගැන ඇත්ත කිව්වා. හැබැයි මේ කිසි දෙයක් ආණ්ඩුවේ වරදින් වුණු දේවල් නෙමෙයි. කොවිඩ් වසංගතය නිසා අපේ ප්‍රධාන ආදායම් මාර්ග වැහුණා. ඒ හා සමානව සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වියදමක් දරන්න වුණා.

මේ අවුල විපක්ෂය පිළිගන්නවා වගේම ඒ අය චෝදනා කරනවා රාජ්‍ය සම්පත් විකුණන තැනට ආණ්ඩුව පත්වෙලා කියලා. ඇත්තටම ඒ දේවල් කරන්නේ සල්ලි නැති නිසාද? ළඟම උදාහරණය කෙරවළපිටිය විදුලි බලාගාරය?

ඒක පදනම් විරහිත කතාවක්. අපි කිසිම තැනක කිසිම රාජ්‍ය දේපළක් විකුණලා නෑ. ඒ නිසා අපි ඒක පිළිගන්නේ නෑ. මේ වගේ වැරදි මත දිගින් දිගටම විපක්ෂය ප්‍රචාරය කළා. එක දෙයක් කියන්න ඕන. අපේ රටේ විපක්ෂය වෙන රටවල්වල විපක්ෂය වගේ නෙමෙයි. වෙන රටවල විපක්ෂය මේ වෙලාවේ එකතුවෙලා වැඩ කරන්නේ. ඒත් මේ අය කරන්නේ අසත්‍ය පතුරුවන එක. සුනාමිය වෙලාවෙත් විපක්ෂය හිටියේ වෙනම. ත්‍රස්තවාදීන් පරාජය කරන මොහොතෙත් විපක්ෂය හිටියේ විරුද්ධව. මේ වෙලාවෙත් විපක්ෂය කරන්නේ ඒ දේමයි.

ඒ වුණාට කෙරවළපිටිය බලාගාරය අමෙරිකන් සමාගමකට ඔබතුමාලා වික්කනේ?

නෑ. වික්කේ නෑ. අපි සීයට 40ක කොටස් ප්‍රමාණ‍යක් පැවරුවේ. ඒ පැවරීම සිද්ධ කළේ අවුරුදු 15කට. එහෙම නැතුව විකිණුවා නෙමෙයි.

විකිණුවේ නෑ කියලා ඔබ වගකීමෙන්ද මේ කියන්නේ?

ඔව්. අපි වගකීමෙන් කියන්නේ. බලාගාරය විකුණලා නෑ.

ඔබ ඉස්සෙල්ලා කිව්වා විපක්ෂයේ සහයෝගයක් නෑ කියලා. විපක්ෂය කියන්නේ ආණ්ඩුව මේ වෙලාවේ විපක්ෂයට ආරාධනාවක්වත් කළේ නෑ කියලා. ඇත්තටම ඔබලා එවැනි ආරාධනාවක් විපක්ෂයට කළේ නෑ නේද?

මෙහෙමයි. කොවිඩ් වෙනුවෙන් කරන්න ඕන සියලුම වැඩ කටයුතු අපි ආරම්භයේ පටන් නිවැරදිව කරගෙන ගියා. ඒ බව මේ රටේ මිනිස්සු දන්නවා. 

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වුණත් ආණ්ඩුව ගත්ත ඇතැම් ක්‍රියාමාර්ග ඉතාම දුර්වලයි. ඒ නිසා තමයි තත්ත්වය බරපතළ වුණේ කියලා විපක්ෂයෙන් කියනවා?

නෑනේ. මේ ලෝකේ ප්‍රධාන රටවල් එක්ක බලද්දි කොවිඩ් වෛරසයට ගන්න ඕන සෑම ක්‍රියාමාර්ගයක්ම ආණ්ඩුවක් හැටියට අපි ගත්තා. මම ඔබට වාර්තා කියන්නම්. අපේ රටේ ජනගහනය මිලියන 21.9යි. ඒ ජනගහනයෙන් මිලියන 14.8ක් වයස 20ට වැඩි අය. ඒ අයගෙන් පළවෙනි එන්නත දීලා තියෙනවා 98%කට. දෙවැනි එන්නත දීලා තියෙනවා ඒ සංඛ්‍යාවෙන් 11.7%කට. ඒ වයස් කාණ්ඩයත් එක්ක ගත්තම අපේ රටේ 79%කට එන්නත්කරණය කරලා තියෙනවා. මුළු ජනගහනයෙන් ගත්තොත් 52%කට අපි එන්නත ලබා දීලා. ජනගහනයත් එක්ක බලද්දි මෙපමණ සංඛ්‍යාවක් එන්නත් කරලා තියෙන්නේ ලංකාවත් එක්ක රටවල් 10යි. ඒ ජපානය, මැලේසියාව, අමෙරිකාව, ජර්මනිය, ඉතාලිය, එංගලන්තය, කැනඩාව, ස්පාඤ්ඤය වගේ රටවල්. අපි ඒ ලැයිස්තුවේ 8 වැනි තැන ඉන්නේ. මේ රටවල් බලවත් රටවල් විතරක් නෙමෙයි එන්නත් නිෂ්පාදනයෙත් ‍යෙදිලා ඉන්නේ. බලන්න අපි මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වෙනුවෙන් අරන් තියෙන ප්‍රගතිය. 

විපක්ෂය කරන චෝදනා කමක් නෑ කියමු. හැබැයි ආණ්ඩුවේ සහෝදර පක්ෂත් දැන් දැන් ආණ්ඩුවට බණින තැනට පත්වෙලා. ඔබට හිතෙන්නේ නැද්ද ආණ්ඩුවේ මොකක්දෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා?

ඕනෑම පක්ෂයක, සමාගමක, සමිතියක ඔය වගේ ප්‍රශ්න මතවාද තියෙනවා. ඕක සාමාන්‍ය ස්වභාවය. අමුතු දෙයක් නෙමෙයි. හැබැයි ඒ අයත් දෙයක් තේරුම් ගන්න ඕන අපි ඉන්නේ අසාමාන්‍ය තත්ත්වයක කියලා. අසාමාන්‍ය යුගයක කියලා. ඒ වගේ යුගයක සාමාන්‍ය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සමීකරණය හැමෝම දැනගන්න ඕන. වැඩිය ඕන නෑ. අපි දැක්කනේ මෑතක විපක්ෂ නායකතුමාට චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ගහපු ගැහිල්ලා. විපක්ෂ නායකතුමා පස්සේ කිව්වා ඇඟට නොදැනී පයට පෑගෙන දූවිල්ලක් තරම් ඒවා එයා පිළිගන්නේ නෑ කියලා. ඒ අතින් බලද්දි අපේ නායකයෝ අපේ අයගේ අදහස් පිළිගන්නවා, ඇහුම්කන් දෙනවා. ඒ නිසා අපේ සන්ධානය ඇතුළේ ඔය කියන තරම් ප්‍රශ්න නෑ. 

අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් ගමනක් යන්න උත්සාහ කරනවා. ඒ අය වෙනම සන්ධාන එහෙම හදලා. මේක මේ ආණ්ඩුවට එරෙහිව යාමක් වගේ නේද?

නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරනවා ඒ අයගේ කඳවුර ශක්තිමත් කර ගන්න. ඒක ආණ්ඩුවට එරෙහිව යාමක් නෙමෙයි. අපිට කලබලයක් නෑ. අපේ පක්ෂය ශක්තිමත් පක්ෂයක්. අපිට මේ වෙලාවේ වගකීමක් තියෙනවා මේ ලෝක වසංගතය හමුවේ මේ රටත් ජනතාවත් බේරගන්න. ඒ වගකීම අපි මේ වෙලාවේ ඉෂ්ඨ කරමින් ඉන්නේ. ඒ නිසා අපිට ඔය දේවල් ගාණක් නෑ.

ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුවේ බලය හමුවේ තව පක්ෂ, සන්ධානවලට ඉඩක් නෑ කියලද?

ඒක පැහැදිලිනේ. ශ්‍රීලනිපයේ සභාපති මේ රට අවුරුදු පහක් පාලනය කළා. ජනතාව දැක්කා මොකද වුණේ කියලා. ඒ නිසා කරුණු අවබෝධ කරගෙන දේශපාලනය කරන්න ඕන. අපි කලබල වෙන්නේ නෑ. කාලයට ඉඩ දෙමු. අපේ මූලික අරමුණ තියෙන්නේ එකක් කොවිඩ් මර්දනය කරන එක. දෙක මේ රටේ ආර්ථිකය නංවන එක. ඒ නිසා අනෙකුත් දේශපාලන කාරණා වැදගත් නෑ. අපේ මූලික අරමුණ තියෙන්නේ එකක් කොවිඩ් මර්දනය කරන එක. දෙක මේ රටේ ආර්ථිකය නංවන එක. ඒ නිසා අනෙකුත් දේශපාලන කාරණා වැදගත් නෑ.

ජනතාව ගැන හිතලා තීන්දු තීරණ ගන්නවා කිව්වට ඇත්තටම හාල් මිල තීරණය කරන්නේ ආණ්ඩුවද? නැත්නම් හාල් මෝල් හිමියොද?

මෙහෙමයි. අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි මුල ඉඳලම හිතුවේ වී ගොවියා ගැන. ඒ නිසයි හොඳ වී මිලක් දෙන්න අපි හැමවෙලේම උත්සාහ කළේ. අපි ඒක රු. 50 කළා. ඒත් පහුගිය ආණ්ඩුවෙන් ගොවියට සහතික මිලක් ලැබුණෙම නෑ. උපරිම ලැබුණේ 30ක් වගේ. හැබැයි අපි ඇවිත් 50ක් විතරක් නෙමෙයි 55ක් කළා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්. ඒ වගේම වී මෝල් හිමියෝ කිව්වනේ රුපියල් 70 කට ගන්නවා කියලා. අන්න ඒකත් අපි ලබපු ජයග්‍රහණයක්. මොකද ගොවියට හොඳ මිලක් ලැබීම ගැන සතුටු වෙනවා. මේ රටේ වී මෝල් හිමියෝ හෙලිකොප්ටර්වල යද්දි ගොවියෝ තවම යන්නේ බයිසිකලේ. ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද මාස ගාණක් දුක් වින්ද ගොවියට වටිනාකමක් නෑ. මේ තත්ත්වය උඩ මෝල් හිමියටත් ගොවි ජනතාව මතක් වුණු එක ගැන අපිට තියෙන්නේ සතුටක්. 2015 ඉඳලා 2019 තෙක් හූරාගෙන කාලා දැන් මෙහෙම හිතන එකත් ලොකු දෙයක්.

ඔබතුමාලට ගොවියා ගැන පෙනුණට පාරිභෝගිකයා පේන්නේ නැද්ද?

අපි පාරිභෝගිකයයි ගොවියයි දෙන්නම ගැන හිතලා තමා සහතික මිල ලබා දුන්නේ. උදාහරණයක් හැටියට නාඩු 90ට දුන්නේ ඒකනේ. හාල් කිලෝ 50ක් ගන්න වී කිලෝ 85ක් ඕනේ. වී රුපියල් 50ට ගත්තට එක හාල් කිලෝ එකක් හදන්න රුපියල් 90 ශත 20ක් යනවා. එතකොට බැංකු ණය, සේවක පඩි, විදුලිය, ප්‍රවාහනය වගේ දේවල් එක්ක බලද්දි තව රුපියල් හයක් යනවා. ඒකත් එකතු කළා. කොහොම හරි මේ රටේ දවසකට ලක්ෂ 65ක් හාල් පරිභෝජනය වෙනවා. දවසකට මෝලකින් ලක්ෂ හතක් විතර අලෙවි වෙනවා. එක දවසක විතරක් ලාභය ලක්ෂ හතක් විතර. ඉතින් ඒ තත්ත්වයත් එක්ක නාඩු 150 පැන්නා. ඒ නිසයි අපි පාලන මිල ගෙනාවේ. අන්තිමේ දැන් නාඩු 115කට දෙන්න තීන්දු වුණා. ඒ කොහොම වුණත් අපි මේකට විසඳුමක් හැටියට පිටරටින් හාල් ගේන්න තීන්දු කළා. තව සතියකින් දෙකකින් පෙනෙයි හාල් මිලට මොකද වෙන්නේ කියලා.

පිටරටින් හාල් ගේන්නේ නෑ කිව්වා නේද ඔබලගේ ආණ්ඩුව?

ඒක තමා මම කිව්වේ අකැමැති නමුත් සමහර තීන්දු තියෙනවා අවස්ථාව අනුව ගන්න. මේක මේ අසාමාන්‍ය යුගයේ හැටි. ඍතුව අනුව තමයි දලු දාන්නේ.

ඔබ ගොවියන් නියෝජනය කරන පළාතක ඉන්න මන්ත්‍රීවරයෙක්. ඔබ දන්නවා කාබනික පොහොර 100%ක් භාවිතය නිසා ගොවීන් විශාල වශයෙන් දුක් වෙනවා කියලා. මොකද ඔබ ඒ ගැන හිතන්නේ?

ඉස්සෙල්ලම කියන්න ඕන අපි කාබනික පොහොරවලට කොහොම හරි යන්නම ඕන. හැබැයි මේකෙන් අපිට ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු හැම මොහොතකම එන්න පුළුවන්. ඒක නෑ බෑ කියන්න බෑ. කොහොම වුණත් අපි රජයක් හැටියට ඉදිරියේදි පොස්පේට් සහ දියර පොහොර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාබනික වගාවට හානියක් නොවන විදිහට. විශේෂයෙන් තේ වගාවටත් සහන ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. මේක අමාරු කාලයක්. අපි ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. නමුත් අපි ජනතාවට පීඩනයක් දෙන්නේ නෑ.

ඔබ ඔය ගොවීන්ගේ පැමිණිලි රජයට අරගෙන යනවද?

ඔව් පැහැදිලිවම. පැමිණිලි, යෝජනා සියල්ල අරගෙන යනවා. මම කිහිප වතාවක් කෘෂිකර්ම ඇමැතිතුමා එක්ක පෞද්ගලිකව කතා කළා. එතුමත් සාධනීය පිළිතුරු ලබා දීලා තියෙනවා.

අපි දැක්කා විපක්ෂ නායකතුමා කිව්වා ඉක්මනින් ඡන්දයක් අවශ්‍යයි කියලා .ඒත් ඔබලා තියන්න තිබුණු පුංචි ඡන්දෙත් කල් දාලා. ඇයි ඡන්දවලට බයද?

විපක්ෂ නායකතුමා කියන දේවල් ඒ තරම් ගත යුතු නෑ. එතුමා ගැන අහන්න ඕන එතුමගේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන්. ඒ නිසා අපිට එතුමගේ කතා වැඩක් නෑ. මොකද අපි ඡන්දවලට බය වුණු පක්ෂයක් නෙමෙයි. අපිට එක අභියෝගයයි තියෙන්නේ. මේ මැතිවරණයක් තියන්න ඕන කාලයක නෙමෙයි අපි ඉන්නේ. මේ කල් දැමීම සිදු කරන්නේ වර්තමාන තත්ත්වය නිසා මිසක් වෙන දෙයක් නෙමෙයි.

අවසාන වශයෙන් අහන්නේ මේ වෙද්දි ආණ්ඩුවට විශාල චෝදනාවක් එල්ල වෙනවා සුදු වංචාව ගැන. මොකක්ද මේ වෙලා තියෙන්නේ?

නෑ. මේ ගැන බන්දුල ඇමැතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා වගේම මේ සම්බන්ධයෙන් සී.අයි.ඩී. පැමිණිල්ලකුත් ඉදිරිපත් කරලා තියෙනවා. මේ චෝදනා එල්ල කළ කෙනාටත් කරන්න තිබුණේ ගිහින් පැමිණිල්ලක් දාන්න. කවුරුත් පැමිණිල්ලක් දාන්නේ නෑ. නමුත් වෙළෙඳ ඇමැතිතුමාම පැමිණිල්ලක් දාපු එක වටිනවා. මොකද දැන් ඇත්ත හොයාගන්න පුළුවන්.

ඇත්ත හොයන්න කර්තෘවරු, මාධ්‍යවේදීන් පස්සෙන් පන්නලා හරියනවද?

නෑ ඒක වැරදියි. අපි මේ සිදුවීම ගැන පරීක්ෂණයක් කරනවා. මොකද මේක අනාවරණය කළ පුද්ගලයා පස්සෙන් මිසක් වෙන අය පස්සේ යන්න ඕන නෑ. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා.

 ගයාන් ගාල්ලගේ