2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කරළියේ මල් සහ ගල්

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට යන බව ප්‍රකාශ කෙරුණේ සති කිහිපයකට පෙර සිටමය. එම ප්‍රකාශය නිකුත් වන විට ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක් එල්ල වෙමින් තිබුණේය. මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ තම වාචික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පතුරු යැව්වේය. ඇය ඉදිරිපත් කළ තොරතුරු ප්‍රතික්ෂේප කළ විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් අදාළ රටේ සහයෝගයකින් තොරව මානව හිමිකම් කවුන්සිලයට බලාපොරොත්තු වන ඉලක්ක ළඟා කරගත නොහැකි වන බවද රටේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට බාහිර අතපෙවීම් අනවශ්‍ය බවද කිව්වේය.

බැෂ්ලේගේ වාර්තාවේ ඇතැම් කරුණු කිසිදු මධ්‍යස්ථභාවයකින් ඉදිරිපත් කර නොතිබූ බව පැහැදිලිව පෙනිණි. ඇය එක් තැනකදී වත්මන් රජය මගින් දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් තහනම් කර හෝ ලැයිස්තුගත කර හෝ ඇති බවට කළ ප්‍රකාශය එවැන්නකි. ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවය රුකගැනීමට කෙළින්ම හේතු වන කාරණාවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැතිව ඒ ආකාරයේ ලිහිල් ප්‍රකාශයක් සිදු කිරීම මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි ප්‍රතිපත්තිය එළියට පැමිණි අවස්ථාවක් හැටියට ඇතැම් දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දී තිබිණි.

කෙසේ වුවද ජිනීවා තර්ජනයට මුහුණ දීමට ප්‍රමාණවත් සූදානමක් රජයට නොතිබූ බව පැහැදිලි විය. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන්ගේ යාන්ත්‍රණය එතැනින් නවතින්නේ නැත. ශ්‍රී ලංකාව පිළිබඳ තම අතැති සාක්ෂි තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළකට යාමට කවුන්සිලය සූදානම් වෙයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර ඔවුන්ට ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල සහාය ද අවශ්‍ය වෙයි. ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලංකාවට හිතවත් රටවල සහයෝගය ලබාගැනීමේ වැඩපිළිවෙළකට රජය දැන් සිටම සූදානම් විය යුතුය. ජාත්‍යන්තරයට තර්ජනය කිරීමෙන් මේ ගැටලුවට පිළිතුරු සෙවිය නොහැකි බව තේරුම් ගැනීම අවශ්‍යය.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ අමෙරිකා ගමන ඒ සමඟ යෙදීම ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වූයේ ඒ හේතුවෙනි. මහා මණ්ඩල සැසියේදී ජනාධිපතිවරයා විසින් සිදු කරන කතාව කුමන ආකාරයකට සිදුවනු ඇතිදැයි යන කුතුහලය සැමදෙනා තුළම තිබිණි. දැඩි ජාතිකත්ව පිළිවෙතක රුඳී සිටිමින් රජය කරගෙන යන ජනාධිපතිවරයාගේ පළමු මහා මණ්ඩල කතාවට සැමගේ අවධානය යොමු විය.

කෙසේ වුවද ජනාධිපතිවරයා එම සැසිවාරයට පෙර එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා මුණගැසුණු අවස්ථාවේ ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා කළ ආරාධනය රටේත් ජාත්‍යන්තරයේත් අවධානය යොමුකර ගැනීමට සමත් විය. එය තමන් මෙතෙක් දැරෑ දැඩි ප්‍රතිපත්තියෙන් මඳක් බැහැරට ගොස් නම්‍යශීලී වීමට තමන් තුළ තිබෙන අභිලාෂය හෙළි කිරීමක් විය. රටේ අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇඟිලි ගැසීම් තිබියදී ජනාධිපතිවරයා කළ එම ආරාධනය යහපත් ප්‍රවේශයක් විය. ඔහු පෙන්වා දී තිබුණේ රටේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට බාහිර පාර්ශ්වයන්ට ඉඩ දීම වෙනුවට ගැටලුවට අදාළ පාර්ශ්ව අතර සාකච්ඡාවක් ඇතිවීම ප්‍රතිඵලදායක වනු ඇති බවය.

ජනාධිපතිවරයාගේ එම ආරාධනයට ඩයස්පෝරාවෙන්ද යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබිණි. තමන් එවැනි සාකච්ඡාවකට සූදානම් බවට ඩයස්පෝරාවේ නියෝජිතයන් කිහිප දෙනකුම ප්‍රකාශ කර තිබූ අතර ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා කළ එම ආරාධනය අවංක චේතනාවෙන් සිදු කළ එකක් නම් එය ඉතා වැදගත් ප්‍රවේශයක් වනු ඇති බවය.

ඉන් පසු මහා මණ්ඩල සැසිය ඇමැතීමේදී යළිත් වරක් ජනාධිපතිවරයා අර්ථවත් එසේම බැලන්ස් කතාවක් කිරීමෙන් නමක් තැබීමට සමත් වූ බවද පෙන්වා දිය යුතුය. ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් ශ්‍රී ලංකාවේ නැවත කිසි දිනෙක සිදු නොවන බවට ජනාධිපතිවරයා එහිදී සහතිකයක් දුන්නේය. එසේම ලොවේ සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු බවද ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවක අවශ්‍යතාවද ආර්ථික අවිනිශ්චිතතාවෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක අවශ්‍යතාවද ජනාධිපතිවරයා තම කතාවෙන් පෙන්වා දී තිබිණි.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් වටිනා දූත මෙහෙවරක යෙදී ලකුණු රුස් කරගත් බව පැහැදිලිය. රජය අසමත් බවට පසුගිය කාලය පුරා විපක්ෂ කණ්ඩායම් මගින් ගෙන ගිය ප්‍රචාරයටද යම් ආකාරයක අගුලු වැටීමක් එයින් සිදුවිය. එහෙම වුණත් රටේ සෙසු කාරණා සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයාට සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් පෙනෙන්නට නැත.

මානව හිමිකම් සැසිය පැවැත්වෙද්දී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට තවත් පිරිසක්ද කැටුව බීමතින් කඩා වැදුණු බවට චෝදනා එල්ලවීම රජය කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ. වඩාත්ම බරපතළ වූයේ අනුරාධපුර බන්ධනාගාරයේදී ද්‍රවිඩ සිරකරුවන් පිරිසක් එළියට ගෙන ඔවුන්ගේ හිසට පිස්තෝලයක් එල්ල කර තර්ජනය කළ බවට චෝදනා එල්ල වීමය. මේ සිදුවීම් හේතුවෙන් බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවද ලොහාන් රත්වත්තේ තවමත් රාජ්‍ය ඇමැතිවරයෙකි. ඔහුට එරෙහිව ස්වාධීන කමිටුවක් පත් කරන බවටත් එහිදී හෙළිවන කරුණු අනුව ඔහුට එරෙහිව පියවර ගනු ඇති බවත් රජය ප්‍රකාශ කළේය.

එය එසේ වුවද අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත ප්‍රශ්න කළ යුතු බරපතළ චෝදනාවක් එල්ල වූ රාජ්‍ය ඇමැතිවරයකු සියලු වරප්‍රසාද අතැතිව සිටියදී ඔහුට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට රජය සිදු කරන ප්‍රකාශය රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කියමනක් නොවේ. ඊට අමතරව ඔහු රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම මහා විශාල ආදර්ශවත් ක්‍රියාවක් වශයෙන් හඳුන්වන විමල් වීරවංශ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි ඇමැතිවරුන්ගේ හැසිරීමෙන්ද ජනතාවට ඒත්තු යන්නේ ලොහාන් රත්වත්තේ බේරාගැනීමේ සැලැස්මක් ආණ්ඩුව ඇතුළෙන් ක්‍රියාත්මක වන බවය. ආණ්ඩුවේ ප්‍රතිරෑපයට පවා බරපතළ හානියක් විය හැකි මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය ඔහු ආපසු පැමිණීමෙන් පසුව බලාගත හැකිවනු ඇත.

එහෙත් තත්ත්වය වඩාත් සංකීර්ණ වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට එරෙහිව පිස්තෝලය එල්ල කර තර්ජනය කළ බවට සිදුකෙරෙන චෝදනාවය. එම සැකකරුවන් සම්බන්ධයෙන් සියලු තොරතුරු උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයන් විසින් ගොනු කරගෙන සිටින අතර ඉදිරි විමර්ශනයේදී ඒවා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කෙරුණොත් රජය දැඩි අසීරුවකට පත්වනු ඇත.

එසේම ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නයට ද තවම විසඳුමක් නැත. රජය රුපියල් 5000ක දීමනාවක් ලබා දී සේවයට වාර්තා කරන ලෙසට ඉල්ලීම් කළත් ගුරු සංගම් පවසන්නේ තමන් දීමනාවක් ඉල්ලා සටන් නොවැදුණු බවය. තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලුවද එය තවම නොලැබුණු බවද ඔවුහු කියති.

මෙහිදී රජයේ වෑයම වී ඇත්තේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කොවිඩ් වසංගතයෙන් බැට කන රටේ ශිෂ්‍ය පරපුර සහ මාපියන් ප්‍රාණ ඇපයට ගෙන අසාධාරණ සටනක් ගෙන යන බව පෙන්වීමට බව පැහැදිලිය. ගුරුවරුන් සහ සමිති නායකයන් සී.අයි.ඩියට කැඳවා ප්‍රකාශ ලබාගැනීම වැනි පියවර හරහා ඔවුන් බිය ගැන්වීමට ක්‍රියා කරන බවට වෘත්තීය සමිති ආණ්ඩුවට චෝදනා කරයි. මෙහි ප්‍රතිඵලය තවමත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වාගෙන යාමය.

මේ තත්ත්වය යහපාලන රජය කාලයේ මාලබේ සයිටම් ප්‍රශ්නය වැනි දිගටම ඇදෙන ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. සයිටම් ප්‍රශ්නය රටේම ප්‍රශ්නයක් විය හැකි බවට වගකිව යුතු පාර්ශ්ව ගණනාවක් ඒ රජයට පෙන්වා දුන්නත් යහපාලනය එය කනකට ගත්තේ නැත. රජය පැවසුවේ අන්තරයේ සිසුන් කිහිප දෙනකු විසින් සමස්ත වෛද්‍ය පීඨ සිසුන්ම ප්‍රාණ ඇපයට ගෙන ඇති බවය. අවසානයේ සයිටම් ප්‍රශ්නය වෛද්‍ය සිසුන් පමණක් නොව සියලු විශ්වවිද්‍යාල අකර්මණ්‍ය කරන තැනකට තල්ලු විය. යහපාලන ආණ්ඩුව ජනතාවට වහ කදුරු වීමට එය එක් ප්‍රධාන හේතුවක් විය. ගුරු - විදුහල්පති ගැටලුව පිළිබඳ නිවැරදි තක්සේරුවක් රජයට නැතිනම් එය මේ රජයේ සයිටම් එක වීමටද ඉඩ තිබේ. මෙරට ගුරු - විදුහල්පතිවරුන්ගෙන් අති බහුතරය ඡන්දය ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටත් ඔහුගේ රජයට තුනෙන් දෙකක බහුතරයක් ලබාදීමටත් බව එම මැතිවරණ දෙකේ තැපැල් ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණයේදී පහසුවෙන්ම සොයාගත හැකිය.

මේ සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මැකීම, ආණ්ඩුව ඇතුළේ පක්ෂ අතර ඇති මතගැටුම, මැති ඇමැතීන් සහ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ බැණ ගැනීම, ඉහළ යන බඩු මිල සහ භාණ්ඩ හිඟය, පොල්තෙල් - සීනි සහ සුදු ලූනු වැනි ජාවාරම්වලදී ආණ්ඩුව පිළිතුරු නොදී මගහැරීම වැනි බරපතළ ගැටලු ගණනාවක් හේතුවෙන් රජය ජනතාවගේ දැඩි විවේචනයට හසු වී සිටී. කොවිඩ් වසංගතයේ බලපෑම් හේතුවෙන් දැනෙන දැඩි පීඩනයද එම විවේචනයේම කොටසකි. එසේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉල්ලා අස්වීමද, එල්.එන්.ජී. ගිවිසුමට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය එල්ල වීමද තවත් හිසරදයකි.

ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසියෙන් පසුව දින කිහිපයක විවේකයෙන් පසුව ආපසු පැමිණීමට නියමිත බව සඳහන්ය. මුහුණදීමට තිබෙන ගැටලුවල ස්වභාවය අනුව එවැනි විවේකයක් ජනාධිපතිවරයාට අවශ්‍ය බවට විවාදයක් නැත.

 - ශශීන්ද්‍ර

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00