2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 84

භාණ්ඩ අපනයනයෙන් වාර්තාවක්

වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව පිට පිට තුන්වැනි මාසයටත් ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ලැබීමට සමත් වී තිබේ. කොවිඩ් වසංගතය මැද පැනවුණු සීමාකිරීම් මැද වුවද සියලු ප්‍රධාන භාණ්ඩ නිමැයුම් හොඳින් ක්‍රියාත්මක බව අපනයන සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කෙරුණු නිවේදනයේ සඳහන් වෙයි.

එම නිවේදනයට අනුව අගෝස්තු මාසයේ අපනයන ආදායම 14.4%කින් පසුගිය වසරේ අගෝස්තුවට වඩා වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පසුගිය වසරේ අගෝස්තුවේදී ඩොලර් මිලියන 947.4ක් පෙන්වා තිබූ අපනයන ආදායම මේ වසරේ අගෝස්තුවේදී ඩොලර් බිලියන 1.08ක් උපයා තිබේ. ඇඟලුම් අපනයනය මෙහිදී 12.13%ක වර්ධනයක් පෙන්වා ඇත්තේ ඩොලර් මිලියන 491.5ක් උපයමිනි.

තේ අපනයනයෙන් 13.41%ක වර්ධනයක් අගෝස්තුවේදී පෙන්වා ඇත. එය ඩොලර් මිලියන 116.78ක ආදායමකි. මේ වසරේ ජූලි මාසයට වඩා අගෝස්තුවේදී 1.43ක්ද තේ අපනයන ආදායම ඉහළ ගොස් තිබේ. තේ අපනයනයෙන් ලැබෙන ආදායම රටේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 12%කට හිමිකම් කියයි.

රබර් සහ නිමි රබර් නිපැයුම් ආදායමද පසුගිය වසරට සාපේක්ෂව 27.31%කින් වර්ධනය වී තිබේ. එයින් මේ අගෝස්තුවේ ලද ආදායම ඩොලර් මිලියන 92.34කි. පොල් ආශ්‍රිත නිපැයුම් ආදායමද ඉහළ ගොස් තිබේ.

මේ අතර මුහුදු ආහාර අපනයනයෙන් ඩොලර් මිලියන 165.48ක් උපයා ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය 19.65%කින් ඉහළ යාමකි. මාළු, ඉස්සන්, කූනිස්සන්, පොකිරිස්සන් සහ කකුළුවන් අපනයනයෙන් මේ මුදල උපයාගෙන තිබේ. 
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 7.8ක් උපයා තිබෙන අතර එය 22.36%ක වර්ධනයකි.

ශ්‍රී ලංකාව මේ ආදායම් උපයා ගැනීමේදී බ්‍රිතාන්‍යයට ඩොලර් මිලියන 604.5ක භාණ්ඩ අපනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ගැනුම්කරු වන්නේද බ්‍රිතාන්‍යයයි. එසේම නෙදර්ලන්තයට සහ කැනඩාවටද ශ්‍රී ලංකාව 50%කින් අපනයනය වැඩිකරගෙන තිබේ.

- ඩේලි මිරර්

මහ බැංකු අධිපතිගේ කාමරේ පොරේ!

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපති වශයෙන් 15 වැනිදා බදාදා ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපිය ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට පසුදින වැඩ බාරගැනීමට ගියේය. ඔහුගේ කාර්යාල කාමරය මහ බැංකු නිලධාරීන්ගෙන් පිරී ගොස් තිබුණේ ඔහුට සුබපැතුම් පිරිනැමීම වෙනුවෙනි. එසේම ඔහු රාජකාරි අරඹමින් ලියැවිල්ලක් අත්සන් කිරීම වාර්තා කිරීමට මාධ්‍යවේදීහුද ඡායාරෑප ශිල්පීහුද එක්රොක් වී සිටියහ.

මෙහිදී කොවිඩ් - 19 නීති රෙගුලාසි සියලුදෙනාටම අමතක වී ගොස් තිබිණි. වඩාත්ම නරක සිද්ධිය වූයේ ඒ නීති පිළිපැදිය යුතු බව සියලු දෙනාටම මතක් කරදීමට කිසිවකුත් නොසිටීමය. එසේම ඔහු අත්සන් තැබුවේ කුමන ලියැවිල්ලටදැයි කිසිවකුටත් තහවුරු නොවීය.

කෙසේ වුවද ඔහු අත්සන් තැබුවේ මහ බැංකු අධිපති වශයෙන් ඔහුට අත්සන තැබීමට අයිතියක් තිබෙන අලුත්ම අලුත් මුදල් නෝට්ටුවකට නොවන බව නම් සහතික වශයෙන් පෙනී ගොස් තිබිණි.

- සන්ඩේ ටයිම්ස්

අභාග්‍යයට ගිය සෞභාග්‍යයේ දැක්ම 

- ඉරාන් වික්‍රමරත්න

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පසුගිය බදාදා (22) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රජය මගින් පොරොන්දු වූ සෞභාග්‍යයේ දැක්ම දැන් දූෂණයේ සහ නොසැලකිල්ලේ දැක්ම බවට පෙරළී තිබෙන බවය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති වශයෙන් පත්කරනු ලැබීම, ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රධානතම තනතුරු දැරීමට තිබිය යුතු වූ මූලික සුදුසුකම් පිළිබඳ බලවත් සැකයක් ඇතිකර තිබෙන බව ඔහු කියයි.

සෞභාග්‍යයේ දැක්ම, දූෂණයේ සහ නොසැලකිල්ලේ දැක්ම බව පෙන්වීම ආරම්භ වූයේ මිනීමැරුම් චෝදනාවකට වරදකරු කරනු ලැබ ඇපල් උසාවි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දිවුරුම් දීමට ඉඩ සැලැස්වීමෙනි. මෑතකදී මහත් ආන්දෝලනයකට ලක්වූ සිදුවීමක් වන සිරකරුවන්ට තර්ජනය කළ බවට චෝදනා ලැබූ ලොහාන් රත්වත්තේ මහතා එම තනතුරට පත්කිරීමේදී ඔහුට එරෙහි අතීත චෝදනා සම්පූර්ණයෙන් නොසලකා හැර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

කබ්රාල් මහතාගේ නම අයථා ගනුදෙනු කිහිපයකටම ඈඳී තිබෙන බව ඔහු මහ බැංකු අධිපති වශයෙන් පත්කරනු ලැබීමේදී නොසලකා හැර තිබෙන බවද කියන වික්‍රමරත්න මහතා එවැනි චෝදනා අධිකරණය හමුවේ විභාග නොවන විට ඒවා දේශපාලන මඩගැසීම් වශයෙන් සලකා බැහැර කළත් කබ්රාල් මහතා මීට පෙර මහ බැංකු අධිපති පදවිය දැරෑ කාලයේ මහ බැංකුවේ ප්‍රශ්න සහගත ගනුදෙනු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බවද කියයි.

- ඩේලි එෆ්.ටී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00