2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කිරිපිටි- ගෑස් - සහල් - සීනි අර්බුදය

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

ඉහළ යන බඩු මිල සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය බරපතළ ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. හදිසියේම වයින් ස්ටෝර්ස් විවෘත කිරීමත් සමඟ පැන නැගුණු මහා ඝෝෂාව හේතුවෙන් බඩු මිල සහ හිඟය පිළිබඳ කතාව යටපත් වී ගියේය. එහෙත් ඒ සද්ද බද්ද විසි හතර පැයකට පමණක් සීමාවීම හේතුවෙන් අරක්කු පෝලිම් කතාව යටපත් වී යළිත් බඩු පෝලිම් කතාව මතුවිය. අරක්කු පෝලිම් වෙනුවට කිරිපිටි, ගෑස්, සිමෙන්ති පෝලිම් දික් ගැසෙමින් තිබේ.

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති වර්ග තුන අප මෙහිදී විශේෂයෙන් සඳහන් කෙරු‍ණේ ඒවා අත්‍යාවශ්‍ය භාණ්ඩ වීම හේතුවෙන් පමණක් නොවේ. අද හෙටම ඒවායේ මිල වැඩිවීමට නියමිත බැවිනි. කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින්ද ග්‍රෑම් 400 රුපියල් 78කින්ද ඉහළ යනු ඇති බව සඳහන් විය. ලාෆ්ස් ගෑස් රුපියල් 363කින් මෑතකදී ඉහළ නංවනු ලැබුවත් එය තම නිෂ්පාදන වෙළෙඳපොළට දැමීමට තරම් ප්‍රමාණවත් නොවන බව කියා සමාගම අලෙවි කටයුතු නැවැතූ බැවින් යළිත් ලාෆ්ස් ගෑස් සඳහා පෝලිම් හැදෙමින් තිබේ. ලිට්රෝ ගෑස් මිලද ඉහළ යනු ඇතැයි ප්‍රකාශිතය. සිමෙන්ති දැඩි හිඟයක් මතුව තිබෙන අතර ඒ හේතුවෙන් කළු කඩේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් දෙතුන් සියයකින් වැඩිකර අලෙවි කරන බවට පැමිණිලි ලැබෙමින් පවතී.

බඩු මිල ඉහළ යාමට එකම හේතුව ඒවා නිෂ්පාදනය පහළ බැසීමක් නිසා ඇති වූ හිඟය නොවන බව පැහැදිලිය. කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමත් ඩොලරයට එරෙහි රුපියල දුර්වල වීමත් හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ඉහළ දැමිය යුතු බවය. ඩොලර් හිඟය නිසා ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1300ක් වරායේ සිරවී ඇති බවද වාර්තා වී තිබේ. එම කන්ටේනර් වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබිණි.

ගෑස් සම්බන්ධයෙන් ඇත්තේද එම කතාවමය. සිමෙන්තිද ඊට වෙනසක් නැත. මේ අනුව මිල ඉහළ දැමීමකින් තොරව කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති හිඟය නිම නොවන බව නියතයකි. බඩු මිල ඉහළ දැමීමට සිදුවීම ආණ්ඩුව පැත්තෙන් තිත්ත කසාය බීමට සිදුවීමකි. එහෙත් අකැමැත්තෙන් වුවද මේ තීන්දුව ගැනීම හැර ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. පෝලිම් සහ කළුකඩ පිටුදැකීමට නම් මිල ඉහළ දැමීමට යා යුතුමය.

ඊට අමතරව ඉදිරි දිනවලදී වෙළෙඳපොළේ සහල් සහ සීනි හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවක්ද පැවසෙයි. සහල් වර්ග කිහිපයක් සඳහා ආණ්ඩුව මගින් පනවන ලද පාලන මිලට ඒවා මේ දිනවල මිලදී ගැනීමට තිබේ. එහෙත් මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට හැකිවනු ඇතිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඉදිරි කන්නවලදී ලැබෙන අස්වැන්නේ ප්‍රමාණයද මෙහිදී තීරණාත්මක සාධකයක් බව පැහැදිලිය.

රසායනික පොහොර තහනම හේතුවෙන් ලැබෙන අස්වැන්න අඩුවනු ඇති බවට පුරෝකථනය කෙරී තිබේ. තේ වගාවේ එම ප්‍රතිඵලය මේ වන විටද දැනෙන්නට පටන්ගෙන තිබේ. වී වගාවට එසේ වුවහොත් මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ග්‍රහණය තවත් දැඩි වී සහල් හිඟයක් ඇතිවිය හැක. නැති හිඟයක් මවාපෑමට සමත්කම් ඇති මෝල්පතියන්ගේ මාෆියාව දැන් සිටම ඒ පිළිබඳ පිඹුරුපත් සකසා ඇති බවට සැකයක් නැත. සීනි ආනයනකරුවන්ගේ අවශ්‍යතා සපුරා දීමටද රජය අපොහොසත් වුවහොත් සීනි හිඟයක් ඇතිවිය හැකි බවටද රතු එළි දැල්වෙමින් තිබේ.

සිතාමතා භාණ්ඩ හිඟයක් ඇතිකිරීමට කිසියම් වෙළෙඳ ජාලයක් ක්‍රියාත්මක වෙනවා නම් එය වළක්වා ජනතාවට සාධාරණ මිලට හිඟයකින් තොරව භාණ්ඩ ලබාදීමට රජය දැඩි පියවර ගත යුතුය. එහෙත් එම පියවර හදිසි නීතිය යොදවා ගබඩාවල තිබූ සහල් තොග සහ සීනි තොග රජයේ භාරයට ගෙන බෙදාහැරීමට පමණක් සීමා නොවිය යුතු බවද පෙන්වා දිය යුතුය. එය තාවකාලික පියවරක් පමණි. සහල් සහ සීනි කර්මාන්තකරුවන් මුහුණ දී සිටින සැබෑ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් අනාගතයේදී වඩාත් බරපතළ භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත.

වෙළෙඳපොළේ සහල් ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාම සහ හිඟය දේශපාලනික කාරණාවක් වශයෙන් පමණක් නොදැකිය යුතු බවද මෙහිදී පෙන්වා දීම අවශ්‍යය. වෙළෙඳපොළ තුළ සහල් මිල තීරණය වන්නේ වී මිලදී ගැනීම සහ සහල් නිෂ්පාදනය අතර පැවතිය යුතු පිරිවැය මූලික කර ගනිමින් බව යථාර්ථයයි. එම යථාර්ථයට පිටුපා මෙය වී මෝල්කරුවන්ගේ මාෆියාව විසින් සිදු කරන ජාවාරමක් වශයෙන් පමණක් හංවඩු ගැසීමෙන් ලැබෙන්නේ කෙටිකාලීන වාසියක් පමණි. එය දැන් වෙළෙඳපොළේ පෙනෙන්නට තිබේ. එහෙත් දැනට තිබෙන සහල් ප්‍රමාණය බෙදාහැරීමෙන් පසුව නිෂ්පාදන පිරිවැය හේතුවෙන් පාලන මිලට දිය නොහැකි යැයි ප්‍රකාශ කර වී මෝල් හිමියන් වී සහල් බවට පත් කිරීමෙන් වැළකී සිටියොත් එම වී තොග රජය භාරයට ගැනීමෙන් ගැටලුව විසඳෙන්නේ නැත. වී මෝල් හිමියන් අයුතු ලාබ ලබාගැනීම වැළැක්විය යුතු බව සැබෑය. එහෙත් පාලන මිල සහ නිෂ්පාදන පිරිවැය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැති වනු අැත. එවිට පාලන මිලට කෙසේ වෙතත් කළු කඩයේ මිලටද සහල් මිලදී ගැනීමට නොහැකි වුවහොත් දැන් තිබෙන කිරිපිටි, ගෑස් පෝලිම්වලට සහල් පෝලිමද එකතු වනු ඇත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00