2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

දැන් සැපද කියලා අපි නම් අහන්නේ නෑ - සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී - හරීන් ප්‍රනාන්දු

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

  • වැරදි මිනිසුන්ට බලය ගියාම රටේ වහල්ලු බිහිවෙනවා
  • ආණ්ඩුවේ, විපක්ෂයේ හොඳ මිනිස්සු එකතු විය යුතුයි
  • ඩිජිටල් එපා මැනුවල් යමු කියන මහාචාර්ය කෙනෙක් ඉන්නේ ලංකාවේ විතරයි
  • දත්ත මැකුණට පස්සේ තොග ගාණට ටෙන්ඩර් දාලා
  • රනිල් ගුරුතුමා සජිත් සහෝදරයා
  • එක රටක් එක නීතියක් කියලා මිනීමරුවන් නිදහස් කරනවා නම් වැඩක් නැහැනේ

වර්තමානයේ ලෝක වසංගතයත් එක්ක විපක්ෂයේ භූමිකාව වෙනදා වගේ නෑ. යම් යම් සීමා ඇතිවෙලා. ඒ තත්ත්වය තුළ වුණත් ඔබ නියෝජනය කරන විපක්ෂය වර්තමානයේ සිදුකරන භූමිකාව ගැන සැහීමකට පත්වෙනවද?

වර්තමාන කොවිඩ් තත්ත්වය තමයි යම් බලපෑමක් එල්ලකරලා තියෙන්නේ. ඒත් අපි අවස්ථාවාදී, අශීලාචාර දේශපාලනය කරන්නේ නෑ. සරලවම කිව්වොත් බොරදියේ මාළු බාන්නෙ නෑ. දැන් සැපද? වගේ අවස්ථාවාදී වචන අපි භාවිතා කරන්නේ නෑ. ඒත් මේ තත්ත්වය තුළ වුණත් යම් ආකාරයකින් රට විනාශයකින් පසුව ආණ්ඩුව රට අත්ඇරලා ගියොත් ඊටපස්සේ කුමක්ද කරන්නේ යන්නත් අපි සාකච්ඡා කරලා ඉවරයි. කොහොම වුණත් අසංවර, අශීලාචාර දේශපාලනයක් අපි කරන්නේ නෑ. ඒ නිසා බුද්ධිමත් ජනතාවට අපි කරන දේශපාලනය තේරෙයි.

තුනෙන් දෙකක බහුතරයක් තියෙන මේ ආණ්ඩුවට මේ වේලාවේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒත් විපක්ෂයක් හැටියට ඒවා වළකාලන්න හයියක් ඔබලාට තියෙනවද?

මෙහෙමයි මේ සියල්ල අපි සටහන් කරලා තියෙන්නේ. ඒ ඒ සිද්ධිය ගානේ. මම කියන්නේ අද වෙන වංචා දූෂණවලට ඒ අයට අනාගතයේ වන්දි ගෙවන්න වෙයි. ඒ අයට තමන්ගේ දේපළවලින් පවා වන්දි ගෙවන්න වෙයි. කොහොම වුණත් අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය පැමිණිලි කිරීම්, නඩු ගොනුකිරීම් සියල්ලම කරලා තියෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දීලා පිනුම් ගහන්න අවසරය හදලා දුන්නම විපක්ෂයට බැනලා වැඩක් නෑ. ඒ වගේම අපි ඒ බලය දුන්න ජනතාවට බනින්නෙත් නෑ. ඒත් අපි ඒ බලයට එරෙහිව උපරිමයෙන් මුහුණ දීලා සටන් කරනවා.

ඔබ කිව්වා ඔබලාගේ ආණ්ඩුවකදී මේ ආණ්ඩුවේ වැරදි කරපු අයට වන්දි ගෙවන්න වෙයි කියලා. අපි දන්නවා එහෙම කියලා එන ආණ්ඩු අවසානයේ හැමෝමත් එක්කම මිත්‍රශීලිව කටයුතු කරනවා. අවසානයේ ජනතාව රැවටෙන්නේ?

ඇත්තටම කනගාටුවන කරුණ තමයි බල හුවමාරුවකින් පසුව ඩීල් සහ ගේම් සිද්ධවෙනවා. මෙතන ලොකුම ප්‍රශ්න‍ය තමයි දේශපාලනඥයන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා තමන්ගේ එදිරිවාදියන්ට විරුද්ධව. නමුත් වෙන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන්ට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න නිදහස පසුබිම හදලා දෙන්න ඕන පාර්ලිමේන්තුව විසින්. සරලවම කිව්වොත් මේ රටේ කුලුනු තුන වෙච්ච ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න දෙන්න ඕන. නමුත් වෙන්නේ අද එක එක ආයතන ඒ ඒ තැන් පාලනය කරන්න යනවා. පුද්ගලයෝ පසුපස යන්න යනවා. ඒ නිසා අපේ ආණ්ඩුවකදී වුණත් එහෙම දෙයක් වෙනව නම් දේශපාලනය අත්ඇරලා වෙනම ඉන්න එක තමයි හොඳම දේ.

ඔබලගේ රජයක පවා හරියට එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා සැකයක් තියෙනවද?

නෑ මම එහෙම හිතන්නේ නෑ. අපේ කණ්ඩායම වගේම අපේ නායකත්වය ගැන කතා කරද්දී ඒ සියලු දෙනාම ඉන්නේ සිස්ටම් එකක් හදන තැන. එක එක්කෙනාට අනුව වෙනස් වෙන්නේ නැති ක්‍රමවේදයක් හදන එක තමයි අරමුණ. දැන් බලන්න එක රටක් එක නීතියක් කියලා %පොර ටෝක්^ දුන්නට ඒක වෙන්නේ නැත්තන් වැඩක් නෑනේ.

එහෙම කතා කිව්වට ආණ්ඩුවෙන් ගේන චෝදනාව තමයි ඔබලා කොවිඩ් වසංගතය මැද්දේ ජනතාව උසිගන්වලා, පාරට ගෙනැල්ලා, උද්ඝෝෂණ තියලා දේශපාලන වාසි ගන්නවා කියලා?

ඔබ එක තැනකදී නොකියා අහනවා විපක්ෂය පණ නැද්ද කියලා. දැන් අහනවා ජනතාව උසි ගන්වනවද කියලා. මම මේ දෙකටම එකඟ නෑ. මතක තියාගන්න අපි ආණ්ඩු පෙරළන්න මිනිස්සු බස්වලින් කොළඹට ගෙනැල්ලා උද්ඝෝෂණ තියලා නෑ. ගෝල්ෆේස් එකේ පොල් ගස්වල මිනිස්සු නග්ගලා නෑ. එහෙම පහත් දේශපාලන වැඩ කරලා නෑ. ඒත් මම විශ්වාස කරනවා අනාගතයේ එහෙම වෙන්න වෙයි කියලා. මේ රටේ රෑ 12ට ගිවිසුම් අස්සන් කරලා රට විකුණපු එකට විරුද්ධව ජනතාව පාරට බහින තැන බොහොම අත ළඟක තියෙන්නේ. මේක තමයි රටටම තියෙන ලොකුම වෛරසය. බලන්න අර යුගදනවි බලාගාරය වික්කනේ අමු අමුවේ. මේවට මිනිස්සු පාරට එනවා ඉක්මනින්ම.

ඔබ කියනවා මිනිස්සු පාරට බහිනවා කියලා. විපක්ෂ නායකතුමා කියනවා ආණ්ඩුව අපිට දෙන්න අපි කරන්නම් කියලා. ඇත්තටම මිනිස්සුන්ට ඕන ආණ්ඩු වෙනසක්ද? දේශපාලන සංස්කෘතියේ වෙනසක්ද කියලා ඔබට වැටහෙන්නේ නැද්ද?

ඇත්ත. මිනිස්සුන්ට ඕන දේශපාලන සංස්කෘතියේ වෙනසක්. පාලකයන් සම්බන්ධයෙන් ජනතාවට තියෙන්නේ අප්පිරියාවක්. මෙහෙන් එහෙට ගිහිල්ලා, එහෙන් මෙහෙට ගිහිල්ලා වෙනස් වුණා කියලා දැන් මිනිස්සුන්ට වැඩක් නෑ. ලොකු වෙනසක් වෙයි කියලා මිනිස්සුන්ට විශ්වාසයක් නෑ. ඒ වගේම මටත් එහෙම විශ්වාසයක් නෑ. මොකද මමත් ආණ්ඩුවක එක් පුද්ගලයෙක් පමණයි. ආණ්ඩුව කියන්නේ කණ්ඩායමක්. ඒ නිසා කලකිරීම් ඇතිවෙනවා. දැන් බලන්න මේ ආණ්ඩුවේ හොඳ මිනිස්සු කීපදෙනෙක් ඉන්නවා. මම දැක්කා බන්දුල ගුණවර්ධන මහත්තයා කරපු කතාව. ඔහු ඉතාම කලකිරීමක ඉන්නේ. ඒ වගේම ඩලස් අලහප්පෙරුම වගේ ඇමතිවරු බොහොම කලකිරීමෙන් ඉන්නේ. හොඳ මිනිස්සු පක්ෂ විපක්ෂ දෙකේම ඉන්නවා. ලක්ෂ 69ට මම දොස් නොකියන්නේ ඒ අයත් මේ අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වුණ මිනිස්සු. විශේෂයෙන් ඔය වියත්තු කියන සංකල්පයම බොරුවක් කළා. මම නම් කියන්නේ ඉදිරි අවුරුදු 10 එකට එකතුවෙලා හොඳ කට්ටියක් තෝරගෙන අරමුණක් වෙනුවෙන් වැඩකරන එක තමයි හොඳම දේ. දේශපාලන වශයෙන් බෙදිලා ඉන්න නිසා එවැනි දෙයක් හීනයක් වෙයි සමහර විට.

ඒකට හොඳ කට්ටියක් තවම විපක්ෂයේ නැද්ද?

අපෝ ඉන්නවා. විපක්ෂයේ විතරක් නෙමෙයි ආණ්ඩුවෙත් එහෙම අය ඉන්නවා. අන්න ඒ කට්ටිය එක තැනකට ඇවිල්ලා පෞද්ගලික න්‍යායපත්‍ර නැති, එක පවුලකට යට වෙන්නේ නැති පාලන ක්‍රමයක් ගෙන ආ යුතුමයි. මොකද අපි අතඇරලා ගියත් මේ රට හදන්න බෑ. අපි හිටියා කියලත් මේ රට හදන්න බෑ. නමුත් මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් එක් වතාවක් හරි උත්සාහ ගන්න එක හොඳයි කියලා.

ඔය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි, යහපාලනය සැමට එක සමාන නීතියක්, වගේ සංකල්ප ගෙනාවේ. ඒත් ඒ දේවල් පිරිසක් විසින් වෙනස් කරලා අවසානයේ නැති කරලා යනවා. ඉතිං ආයේ ජනතාවට අලුත් සංස්කෘතියක් ගැන හිතන්න ඉඩක් තියෙනවද?

ඒකට හේතුව තමයි පුද්ගලවාදී වීම. මොකද මේ දේවල් පට්ට හොඳ අදහස්. ඒත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටලු එනවා. පේනවනේ මෛත්‍රීපාල මහත්තයා එක පැත්තකට ඇද්දා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පැත්තකට ඇද්දා. අන්තිමේ යහපාලනය බිඳිලා ගියා. ඒ නිසා මම කියන්නේ මේ සංකල්පවල අවුලක් නම් නෑ. ඒවා ක්‍රියාත්මක කරන්න ඕන රටේ ජනාධිපති හරි අගමැති හරි. එක රටක්, එක නීතියක් කියන එකත් හොඳ දෙයක්. කීපදෙනෙක් ඇති ඒකට කැමති. ඒත් ඒක ක්‍රියාත්මක කරන කෙනා මිනීමරුවන්ව නිදහස් කරනව නම් වැඩක් නෑනේ. නායකත්වය දෙන කෙනා දැනගන්න ඕන ඒ වචනවල ගෞරවය ආරක්ෂා කරන්න. අන්න එතන තමයි අපිට වැරදුණේ. විධායක බලතලය තනි පුද්ගලයෙක්ගේ අතට යනතාක් කවදාවත් මේ රටට හරියන්නේ නෑ.

ඔබ ගෙවපු සහ ගෙවන දේශපාලනයත් එක්ක බලද්දී ඉන්නේ කලකිරීමකද?

පසුපෙළ මන්ත්‍රී කෙනෙක් හැටියට පටන් අරගෙන මම පළාත් සභා ගියා. මහ ඇමති වුණා. ඇමති කෙනෙක් වුණා. ජනතා ප්‍රසාද ලැබුණා. ජනතා ඉල්ලීම් ඉෂ්ට කරන්න බැරිවුණා. මේ ගතකරපු දේශපාලන කාලය තුළ යම් කලකිරීමක් තියෙනවා. හැබැයි මේක වෙනස් කරන්න බැරිකමක් නෑ. ගමේ පියදාස මාමගේ පුතාටත් පාර්ලිමේන්තු පැමිණිමේ හැකියාව තියෙන්න ඕන. අර මංගල සමරවීර මහත්තයා පහුගිය කාලයේ කතා කළා රුඩිකල් මැදක් ගැන. මට හිතෙනවා එතුමා කිව්ව දේ ඇත්ත කියලා. ඒ රුඩිකල් මැදක අවශ්‍යතාවය අද ලොකුවට මේ රටට ඕන වෙලා තියෙනවා. දැන් ඉන්න තරුණ පරපුර ටිකක් වෙනස්. රුඩිකල්. දේශපාලකයන් පිටිපස්සේ යන්නේ නෑ. ඒ නිසා මට මගේ පක්ෂය ගැන විශ්වාසයක් තියෙනවා. මොකද අපේ පක්ෂය අයත් රුඩිකල් මතධාරී පිරිසක් ඉන්නේ. අපේ නායකයට වුණත් අපි පිළිතුරු දෙන්නේ ඒ මට්ටමෙන්. ඒවා රණ්ඩු නෙමෙයි සංවාදශීලිව. අපේ පක්ෂය ඒ නිසා තමයි සාම්ප්‍රදායික එජාපයෙන් ගැලවිලා එන්නේ.

ඒ කියන්නේ රැඩිකල් වෙනසකට?

එතන තිබ්බ අඩුපාඩු නිසා. ඒ තමයි පරම්පාරාගත දේශපාලනයෙන් මිදිලා නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. වහල්භාවයක් අවශ්‍ය නෑ. එක එක පවුලකට සීමා වෙන්න. දැන් බලන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු එක පවුලකට කොටුවෙලා. මට ඒ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු දැක්කම හිතෙනවා ඒ අය කවදද ඒ පක්ෂයේ නායකයා වෙන්නේ කියලා. මේ රටේ කොච්චර පක්ෂ තිබ්බත් පවුල් කීපයකට කොටුවුණ දේශපාලනයක් තියෙන්නේ.

ඔබ කියන අදහසයි පාඨලී චම්පික කියන අදහසයි එක සමානයි. ඔබලා දෙන්නා වෙනස් ගමනක්ද යන්නේ?

එතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ රටේ සාමාන්‍ය ත්‍රීවිල් එලවන මනුස්සයගේ පුතා ඉගෙනගෙන, කැම්පස් ගිහින් මේ රටේ දේශපාලනයට එකතු වෙන්න ඉඩක් තියෙනවා නම් ඔහුටත් ඒ ඉඩ තියෙන්න ඕන. නමුත් ලංකාවේ එහෙම එන්න ක්‍රමයක් නෑ. මගේ පියාට සල්ලි තියෙන්න ඕන නැත්තන් දේශපාලකයෙක්ගේ පුතෙක් වෙන්න ඕන. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. එහෙම පැලැන්ති දැන් අවශ්‍ය නෑ. මේවා ලෝකෙට පේන්නේ වහල් සංස්කෘතියක්. ඒකට හොඳම උදාහරණය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. කවදාවත් එතුමා ඒ පක්ෂයේ හිටියා නම් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. මේ රටේ ජනාධිපති වෙන්න බෑ. නමුත් අපිට එකතු වුණාම අපි ඒ දේ කළා. ඒ නිසා ඒ පවුල් සංස්කෘතිය බිඳ දැමීමේ සීමාව අපිට තියෙනවා කියන සතුට අපිට තියෙනවා.

ඒ වෙනුවෙන් මොකක්ද කරන්න ඕන හොඳම සහ ඉක්මන්ම දේ?

ඒ වෙනුවෙන් ඇත්තටම 19 වැනි සංශෝධනය බලාත්මක කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. වැරදි මිනිස්සුන්ගේ අතට ගියාම තමයි රටට වහල්ලු බිහිවෙන්නේ.

ඔබ ඩිජිටල් ඇමතිවෙලා ඉන්න කාලේ තමයි ඔබේ යටතේ තියෙන අයි.සී.ටී.ඒ. කියන ආයතනයේ මැදිහත් වීමෙන් ඖෂධ නියාමන අධිකාරියට පෞද්ගලික සමාගමක් හරහා ඊ-එන්.එම්.ආර්. සිස්ටම් එකක් හැදුවේ. දැන් ඒකේ දත්ත මැකිලා කියලා අවුලක් ඇවිත්. ඇත්තටම මොකද මේ වෙලා තියෙන්නේ?

ඇත්තටම චන්න ජයසුමන ඇමතිතුමාගේ දේශපාලනය ගැන මට කලකිරුණා. අඩුම ගානේ එතුමාට තාක්ෂණය ගැන කතා කරන්නවත් දැනුමක් නෑ. අර එක එක්කෙනාට ලියලා දුන්නම ඒ අය ඒවා කියවනවා වගේ වැඩක් වුණේ. එතුමාගේ උත්තර සභාගත කරලා තිබ්බේ. මම උදේම ගිහින් ඒවා බැලුවා. නමුත් එතුමා ඒ උත්තර ටිකවත් හරියට බලලා නෙමෙයි කතා කරලා තිබ්බේ. අයි.සී.ටී. එක තිබ්බේ ඒ කාලේ මගේ අතේ. ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ 2018 වගේ. ලෝකය ඩිජිටල් ක්‍රමයකට යන්නේ හොරකම් නවත්තන්න. ෆයිල් එකක් පාස් කරන්න මේ රටේ සාමාන්‍ය ක්‍රමය තමයි ෆයිල් එක යටින් කීයක් හරි තියලා දෙන එක. අපි ඕවා පිච්චර්වල පවා දැකලා තියෙනවා. ඒ නිසා තමයි ලෝකය ඩිජිටල් ක්‍රමයකට යන්නේ. ඒත් ලෝකයේ පළවෙනි වතාව තමයි මහාචාර්ය කෙනෙක් ඩිජිටල් ක්‍රමයෙන් බැහැර වෙලා මැනුවල් ක්‍රමයකට යමු කියලා කිව්වේ. මගේ ඇඟ හිරිවැටුණා. එතුමා කිව්වා අපේ කාලයේ ඉඳලා වෙලා තියෙන්නේ කියලා. ඒක බොරුවක්. මේක ට්‍රයල් ගිහින් ෆුල් සිස්ටම් එකකට ගිහින් තියෙන්නේ 2020 ජනවාරි මාසේ ඉඳලා. ඒ ගැන නොදැන නේ එයා කතා කරන්නේ.

ඔබ කියන්නේ මේ ගිවිසුම් නිසිපරිදි ගිවිසුම් ගතවුණා කියලද?

ඔව් ගිවිසුම් ගතවුණේ නිවැරදි ක්‍රමයට. හැබැයි දත්ත මැකිලා යනවා නම් ඒකට වගකියන්න ඕන ඒ ඒ ආයතන. අද තාක්ෂණ විෂය තියෙන්නේ ජනාධිපතිවරයට. දැන් හිතන්නකෝ ඔබේ ඇඟිලි සලකුණ මේ රටෙන් මැකිලා යනවා නම් තවත් ඔබ කියලා කෙනෙක් නෑ. මේක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. හිතන්නකෝ ඔබේ දත්ත මේ රටෙන් මැකිලා ගියොත් ඔබ කියලා කෙනෙක් මේ රටේ නෑ. ඒක භයානකයි. හැබැයි අපේ කාලේ තමයි දත්ත ආරක්ෂක පනතක් හැදුවේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා. තවම ඒක හිරවෙලා. මම මුල ඉඳලා කිව්වා ජනාධිපතිතුමාට වැඩ වැඩියි. ඔය ඇමැතිකම වෙන කෙනෙක්ට දාන්න ඕන. දත්ත මැකුණට පස්සේ විශාල ටෙන්ඩර් තොගයක් දාලා තියෙනවා. ඒ වගේම දාලා නෑ කිව්ව කොවිඩ් ආරක්ෂිත උපාංග මිලදී ගැනීමේ ටෙන්ඩර් එකකුත් දාලා තියෙනවා. 12,000ක් මිනිස්සු මැරිලා ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් කරනවා නම් උඩ ඉන්න දෙයියොම බලාගනී.

අවසාන වශයෙන් අහන්නේ මොකද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබ වෙනුවෙන් නිතර පෙනී ඉන්නේ. මොකක්ද ඒ මිත්‍රකම?

මගේ පළවැනි ගුරුවරයා එතුමා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒත් එතුමාව අත ඇරලා එන්න හේතුකාරණා තිබුණා. ඒක එතුමාට පවා කිව්වා. නමුත් එහෙම කියලා එතුමාව වැරදි සහගත ලෙස විවේචනය කරන්න යන්නේ නෑ. මම තවම විශ්වාස කරනවා ඔවුන්ට අපි ඉවත්වෙලා ආපු කාරණය පේන්න ඕන කියලා. ඒ වගේම මම කැමති අපේ නායකයන් නැවත මේ දෙපිරිස එකතු කරනවා නම්.

රනිල් වික්‍රමසිංහ ගුරුතුමා නම් සජිත් ප්‍රේමදාස කවුද ඔබේ?

එතුමා මගේ සහෝදරයෙක් වගේ. අපිට ඕන දෙයක් එතුමා එක්ක බෙදාගන්න පුළුවන්.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00