2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ලොහාන්ලා එක්ක විනයගරුක රටක්!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 108

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූයේ ජනතාව ඉදිරියේ තබන ලද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වූ සාර්ථක ඡන්ද ව්‍යාපාරයකින් පසුවය. ජනතාව එම ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූහ. ජනාධිපතිවරණයේදීත් ඉන් පසුව පැවැති මහ මැතිවරණයේදීත් ලැබුණු ප්‍රතිඵලවලින් එය හොඳින්ම පැහැදිලි විය. විනයගරුක පාලනයක් සහිත රටක් බිහි කරන බවට ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව කියා තිබිණි.

ජනාධිපතිවරයාට අවශ්‍ය වූ ප්‍රතිපත්තිය එය වුවද රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ වැනි ආණ්ඩුවේ දේශපාලනඥයන්ට එය කිහිසේත් අදාළ නැති බව පෙන්වා දී තිබේ. පිස්තෝලයක් අතැතිව බන්ධනාගාරවලට අවේලාවේ ඇතුළු වී බීමතින් චණ්ඩි පාට් දැමූ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය ඇමැතිවරයා ඉන් පසුව අනුරාධපුර බන්ධනාගාරයේදී එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවට පැවසෙන චෝදනාව ජාත්‍යන්තරයටද ගියේය. ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ බරපතළ අර්බුදයක පැටලී සිටින අවස්ථාවේ ආණ්ඩුව ඇතුළතින්ම එම චෝදනාවලට ජීවමාන සාක්ෂි සපයන ලොහාන් රත්වත්තේලා සිටින විට ශ්‍රී ලංකාවට එරෙහි වෙනම ජාත්‍යන්තර කුමන්ත්‍රණ අවශ්‍ය නැත. මේ නිසා ලොහාන් රත්වත්තේ තමන් දැරෑ බන්ධනාගාරයට සම්බන්ධ ධුරයෙන් ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු. රටේ බහුතරයක් මහජනතාවගේ ස්ථාවරයද එය බව ඔවුන් දක්වන අදහස්වලින් පැහැදිලි වෙයි.

මෙතරම් බරපතළ චෝදනාවකට ලක් වුවද ලොහාන් රත්වත්තේ මහතා තවමත් රාජ්‍ය ඇමැතිවරයෙකි. ඔහුට ලැබුණු දඬුවමක් නැත. අඩුම තරමින් මේ චෝදනා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වනතුරු හෝ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී සිටීමට තරම් සදාචාරාත්මක යුතුකමක් ඔහුට තිබිණි. එය තේරුම් ගැනීමට තරම් ඕනෑකමක් රත්වත්තේ මහතා තුළ නැතිනම් එල්ල වූ චෝදනා විමර්ශනය කරන තුරු ඔහු ඉවත් කිරීමට ආණ්ඩුව මොහොතක්වත් පමා විය යුතු නැත. එහෙත් මේ කාරණා දෙකම ඉටු නොවීය.

ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයක රැඳී සිටියදීම ඔහුට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට කමිටුවක් පත්කිරීම විහිළුවකි. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. පිස්තෝලය අතේ රඳවාගෙන හැසිරෙන බලවතකුගෙන් කරැණු විමසා සාක්ෂි සටහන් කර ගැනීමට ඉදිරිපත් වන විමර්ශන නිලධාරියකු සිටිනවා නම් එක්කෝ ඔහු චූදිතයාගේ මිතුරකු විය යුතුය. නැතහොත් මොළේ හොඳ නැති පුද්ගලයකු විය යුතුය.

මෙතරම් බරපතළ චෝදනාවකට ලක්වීමෙන් පසුවද ඔහු රජය තුළම රඳවා ගැනීමට කටයුතු කිරීමෙන් රෙදි ගැලවෙන්නේ ආණ්ඩුවේ බව සියලු බලධාරීන් සිතට ගැනීම අවශ්‍යය. මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ද ක්‍රියාත්මක වී ඇත්තේ රාජකාරිය හරි හැටි ඉටුකිරීමට නොව තමන්ගේ ගැලවීම සඳහා බවද පැහැදිලිය. ශ්‍රී ලංකාවේ රජයේ ඇමැතිවරයකුට තිබෙන බලතල සහ බලපුළුවන්කාරකම් පිළිබඳ දන්නා එම නිලධාරීන් එසේ හැසිරීම පුදුමයක් නොවේ. වරද ඇත්තේ ඔවුන්ගේ අතේ නොව බරපතළ වැරැද්දක් කළ බවට චෝදනා තිබියදීත් එවැනි පුද්ගලයන් රැකගැනීමට ක්‍රියා කරන ආණ්ඩුව අතේය. ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් තබාගැනීමෙන් පැහැදිලි වන තිත්ත ඇත්ත එයයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ප්‍රකාශ වී තිබුණේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අස්වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු ධුරය දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බවත්ය. රත්වත්තේ මහතාගේ බරපතළ සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් නීතිඥ සංගමය ඉල්ලීමක්ද කරයි. විය යුත්තේ එය බව අපිද ප්‍රකාශ කරමු.

කෙසේ වුවද මේ වන විට ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බව පොලීසිය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මාධ්‍යයට කියා තිබේ. එම විමර්ශන කටයුතු පොලීසිය ආරම්භ කරන්නටත් පෙර ලොහාන් රත්වත්තේ තම නිර්දෝශීභාවය පළ කරමින් මාධ්‍යයට අදහස් පළ කිරීම පුදුම සහගතය. ඔහුගේ මතයට අනුව ඔහු කිසිදු වැරැද්දක් කර නැත. මේ කරුණේ චූදිතයාටම තමන් නිර්දෝශී යැයි මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමට ඉඩ දීම පවා ඔහුට එරෙහි විමර්ශනවලට අනියමින් සිදු කරන බලපෑමකි. ඔහු එසේ ප්‍රකාශ කරන විට ඔහුට එරෙහිව බන්ධනාගාර නිලධාරීන් සාක්ෂි දෙනු ඇතැයි බලාපොරොත්තු වීමත් නිෂ්ඵලය. මේ සිද්ධිය සනාථ කිරීමට ඇති ප්‍රබලම සාක්ෂිය වන සී.සී.ටී.වී. දර්ශන මේ වන විට මකා දමා නැත්නම් එය ලෝක පුදුමයකි.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු චූදිතයා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් සිටියදී ඔහුට එරෙහිව චෝදනා විමර්ශනය කිරීම ජනතාව රවටන මාධ්‍ය සංදර්ශනයක් විය යුතු නැත. නමුත් රජයේ බලධාරීන් අවබෝධ කරගත යුත්තේ මේ සිද්ධිය රටේ සබුද්ධික ජනතාවගේ ප්‍රබල නිරීක්ෂණයට හසුවන රටම බලා සිටින විමර්ශනයක් බවය. ඔහුට එරෙහිව නිසි පියවර ගැනීමට අසමත් වුවහොත් එයින් අදහස් වන්නේ විනයගරැක රටක් ඇතිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේ ලබාදුන් පොරොන්දුවට තවදුරටත් වලංගුභාවයක් නැති බවය. එවිට කවුරු හරිද වැරදිද කියා ජනතාව විනිශ්චය කරනු ඇත.