2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

සහල් මිල පාලනය

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

සහල් මිල ඉහළ යන සහ එය අඩු නොවන ගැටලුව මතු වුණේ ඊයේ පෙරේදා නොවේ. කාලයක සිට රටේ සහල් මිල ක්‍රමානුකූලව ඉහළ ගියේය. මිල ඉහළ යාමට හේතුව රජරට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකු සහල් කිලෝවකින් විශාල මුදලක් ලාබ වශයෙන් රඳවා ගැනීම හේතුවෙන් බවටද චෝදනා නැගිණි. රජරට සහල් මාෆියාව වශයෙන්ද එම තත්ත්වය හඳුන්වනු ලැබීය. මේ වී මෝල් මුදලාලිලා දේශපාලන වශයෙන් බලපුළුවන්කාරයන් වූ බැවින් සහල් මිල පාලනය සිහිනයක් පමණක් බවට පත්වෙමින් තිබිණි. ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි එම වී - හාල් මුදලාලිලාගේ මෝල්වලට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කඩා වැදීම මේ කතාවේ කූඨප්‍රාප්තියයි.

එම කඩාවැදීමෙන් පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩාවල තිබූ සහල් කිලෝ අට ලක්ෂයක සහල් තොගයක් රජයේ භාරයට ගෙන තිබිණි. ඉදිරියේදී තවදුරටත් මේ ආකාරයේ කඩාවැදීම් සිදුකර පාලන මිලට නිකුත් නොකර සඟවාගෙන සිටින සහල් තොග රජයේ භාරයට ගෙන පාලන මිලට අලෙවි කිරීම සඳහා පියවර ගන්නා බව සඳහන්ය. මෙසේ පවරාගන්නා සහල්වල වටිනාකම රජයේ අනුමත පාලන මිලට අනුව සහල් මෝල් හිමියන්ට ගෙවන බවද ඒවා මහජනතාවට අලෙවි කිරීම සඳහා සතොස වෙළෙඳසල් සහ සමූපකාර වෙළෙඳසල් යොදවාගන්නා බවද කියයි.

රජය මගින් ප්‍රකාශ කළ පාලන මිලට සහල් තොග නිකුත් කරන්නැයි මෝල් හිමියන්ගෙන් අවස්ථා කිහිපයකදීම රජය ඉල්ලා තිබිණි. එහෙත් එකී මිල ගණන්වලට අනුව සහල් නිකුත් කිරීමට මෝල් හිමියෝ කටයුතු නොකළහ. අඩු තරමින් එවැනි සූදානමක් තමන් තුළ තිබෙන බව හෝ පෙන්වා දීමට ඔවුහු අසමත් වූහ. මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කර ඒවායේ තොග රජයේ භාරයට ගැනීම සඳහා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට මග පෑදුණේ ඔවුන්ගේ එම ක්‍රියාව හේතුවෙනි.
රජය මගින් ගනු ලැබූ එම පියවරත් සමඟ පිටකොටුව තොග වෙළෙඳපොළේ සහල් මිල පහත වැටුණු බවද වාර්තා විය. එය අධික ජීවන බරකින් පීඩා විඳින පාරිභෝගිකයන්ට මහත් සහනයකි. අනෙක් සියලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යද්දී සාධාරණ මිලකට සහල් ලබාගැනීමට හැකිවීම ඔවුන්ගේ පීඩනය අඩු කිරීමකි.

එය කෙසේ  වුවද මෙවැනි කඩාපැනීම් සහ සහල් තොග රජයේ භාරයට ගැනීම තුළින් පමණක් සහල් මිල පාලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වීම නිෂ්ඵලය. එසේම ගබඩා කර ඇති සියලු සහල් තොග වැඩි මිලට විකිණීමේ චේතනාවෙන් සැඟවූ තොග වශයෙන් පෙන්වා දීමද යුක්ති සහගත නැත. කන්නයෙන් කන්නයට වී තොග රුස්කර ගැනීමත් ඒවා සහල් කිරීමෙන් පසුව සහල් තොග ගබඩා කිරීමත් මොල් හිමිකරුවන් අතින් සිදුවිය යුතුය. අඩුම තරමින් ඉදිරි මාස තුනකට ප්‍රමාණවත් තරම් සහල් තොග රට පුරා මෝල් හිමියන් සතුව පැවතීම අවශ්‍යය. හිඟයකින් තොරව ඕනෑම හදිසි අවස්ථාවක පාරිභෝගික ජනතාවට සහල් සැපයීම අඛණ්ඩව සිදු කළ හැක්කේ එවැනි තොග පවත්වාගැනීමෙන් පමණි. රජය සහල් තොග ගබඩා පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සිදුවන ක්‍රියාවක් නොවේ.

තවත් අතකින් හදිසි නීතිය යොදවාගෙන සහල් නිෂ්පාදකයන්ගේ සහල් තොග රජයට පවරාගැනීම දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදෙන්නේ යහපත් සංඥාවක් නොවේ. මෙය රටේ දේශීය ව්‍යාපාරිකයන්ගේ කොන්ද කැඩීමක් ලෙසටද ඇතැමුන් දැකිය හැකිය. මෙවැනි කඩාපැනීම් සිදු කිරීමට පෙර සහල් මිල ඉහළ යාමට තුඩු දී ඇති සැබෑ කරුණු නිවැරදිව හඳුනාගැනීමේ සැබෑ උත්සාහයක් තිබුණාද යන්නද ප්‍රශ්නාර්ථයකි. විශාල ලෙස අයුතු ලාබ ලබාගැනීමේ චේතනාවෙන් සහල් තොග රැස්කරගෙන ජනතාව ගසාකෑමට මොල් හිමිකරුවන්ට ඉඩ දිය යුතු නැත. එහෙත් ඔවුන්ගේ ව්‍යාපාර පාලනය කළ යුත්තේ වෙළෙඳපොළ තරගය ඇති කිරීමෙනි. තව තවත් නව සහල් ව්‍යාපාරිකයන් සඳහා ඉඩ ප්‍රස්ථා විවර කිරීමෙනි. එසේ නොකර නීති මගින් වෙළෙඳාම පාලනය කරන්නට යාම යහපත් ක්‍රියාවක් නොවේ.

සහල් නිෂ්පාදනයේදී ගොවීන්ගේ දායකත්වය වැදගත්ම සාධකය වෙයි. ගොවි සංවිධාන ගණනාවක්ම පසුගිය කාලය තුළ දිගින් දිගටම පෙන්වා දී තිබුණේ රජය මගින් ලබාදෙන සහතික මිල ප්‍රමාණවත් නැති බවත් වී මිලදී ගැනීමේදී රජයේ නිලධාරීන් පනවන කොන්දේසි හේතුවෙන් තමන්ට රජයේ ගබඩාවලට වී ලබාදීමෙන් පාඩු සිදුවන බවත්ය. මේ නිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට වී විකුණාගැනීම හැර තමන්ට වෙනත් විකල්පයක් නැති බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර සහල් මෝල් හිමියන්ද ප්‍රකාශ කරන්නේ පසුගිය කාලය තුළදී තමන්ගේ නිෂ්පාදන වියදම් අධික වූ බවය. තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් ලාබයක් ලබාගත යුතු බවද ඔවුහු පෙන්වා දෙති. එහෙත් එම ලාභය ජනතාව පීඩාවට පත් කරන අධික මිලක් නොවිය යුතුය. ඔවුන් සහල් සඳහා පැනවූ සමහර මිල ගණන් ඉතා අධිකය. එනිසා තීන්දු ගැනීමේදී රජය මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම අවශ්‍යය. මේ යථාර්ථය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව කටයුතු නොකළහොත් සහල් මිල ගැටලුව වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැකි බවද සඳහන් කරමු.