2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

ඇඳිරියෙන් ගැලවෙමු

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 48

ඇඳිරි නීතියද ඇතුළත් දැඩි සංචරණ සීමා පැනවී සතියක් ගත වනවිට රෝහල් ආරංචි මාර්ග මගින් ප්‍රකාශ වෙන්නේ කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් රැසක වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවය. රාගම, කළුබෝවිල, කරාපිටිය, ගම්පහ, රත්නපුර, අයි.ඩී.එච්., වැලිසර ඇතුළු තවත් රෝහල් ගණනාවක් මේ තත්ත්වයට මුහුණ දී ඇති බවද සඳහන්ය. ඇඳිරිය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවලදී මේ තත්ත්වයද සැලකිල්ලට ගනු ලැබීමට හොඳටම ඉඩ තිබේ.

ඇතිවිය හැකි ආර්ථික දුෂ්කරතා පවා පරදුවට තබමින් රජය ඇඳිරි නීතිය පනවා රටම ලොක්ඩවුන් කරනු ලැබුවේ කොවිඩ් රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමේ එක් පියවරක් වශයෙනි. සංචරණය දැඩිව සීමා කිරීම ලොවම පිළිගත් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රධාන උපක්‍රමයකි. එය එකම පිළිතුර නුවූවත් සංචරණයට දැඩි සීමා පැනවීමකින් තොරව කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීමට හැකියාවක් නැත. අප කොතරම් අකැමැති වුවද යථාර්ථය එයයි.
රටේ රෝහල් පද්ධතියට දරාගත හැකි සීමාවන් ඉක්ම යමින් පවතින බව අප මුලින්ම සඳහන් කළ කරැණු වලින් පැහැදිලි වෙයි. මේ නිසා රජයට සිදුවූයේ රැවුලත් කැඳත් දෙකම බේරාගැනීමේ තීන්දුවකට යාමටය. දින 10කට පමණක් බල පැවැත්වෙන සේ මුලින්ම ඇඳිරි නීතිය පැනවූයේ එබැවිනි. දින නියමකින් තොරව හෝ දීර්ඝ කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීමට රජය ක්‍රියා නොකළේ ආර්ථිකයට සිදුවිය හැකි බරපතළ හානිය වළක්වා ගැනීමට බව අවබෝධ කර ගැනීම දුෂ්කර නැත. ආර්ථිකයේ ප්‍රධාන ගැටලුවලටත් වඩා එදිනෙදා ආදායමින් ජීවත්වන සහ කුඩා ව්‍යාපාර පවත්වාගෙන යමින් ආදායම් සොයාගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරමං නොකිරීම රජයේ අරමුණ වූ බව රජයේ බලවතුන්ගේ ප්‍රකාශ වලින්ද පැහැදිලි වෙයි. ඇඳිරි නීතිය කාලයේ රටේ සියලුදෙනාම මේ තොරතුරැ පිළිබඳව සැබෑ අවබෝධයකින් ක්‍රියා කළ යුතුය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ වර්තමානයේ පවතින කොවිඩ් රුල්ලට වඩා විශාල පස්වැනි කොවිඩ් රුල්ලක් පැමිණීමට තිබෙන අවදානම කිසිසේත් බැහැර කළ නොහැකි බවය. එම වෛරසයේ ප්‍රභේද වෙනස් වීමේ ක්‍රියාවලිය මීට වඩා දරුණු වී සැප්තැම්බර් මස මීට වඩා මරණ වාර්තා විය හැකි බවටද එම ප්‍රභේද එන්නත්වලට දක්වන ප්‍රතිරෝධය මීට වඩා දරුණු විය හැකි බවටද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අනතුරැ අඟවා තිබිණි. ඔවුන් මෙරට සියලු වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරමින් රටේ පවතින කොවිඩ් රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රටපුරා යකා නැටීමෙන් වැළකී සෞඛ්‍ය සේවකයන්ට හුස්ම ගැනීමට ඉඩදෙන ලෙසද කියා තිබිණි.

රටේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ගන්නා තත්ත්වයක් තුළ සෞඛ්‍ය සේවයට ඉස්පාසුවක් ලබාදෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් කරන ඉල්ලීම කෙරෙහි වෘත්තීය සමිතිවල පමණක් නොව සියලු දෙනාගේම අවධානය යොමුවිය යුතු යැයි අපි විශ්වාස කරමු. රටේ ජනතාවගේ සහයෝගයෙන් තොරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් පමණක් රෝග තත්ත්වය පාලනය කළ හැකි යැයි යමකු සිතනවා නම් එය වැරදි වැටහීමක් බව කිව යුතුය. ඇඳිරි නීතිය සමඟ දැඩි සංචරණ සීමා පනවා ඇත්තේ ජනතාවටද මේ සම්බන්ධයෙන් පවතින වගකීම හේතුවෙනි. ඔවුන් අතින් එම වගකීම් ඉටුවීම ගිලිහෙන්නේ නම් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ වීම පමණි. එය ඍජුවම රටේ ආර්ථිකයට වදින පහරකි. එම පහරේ බලපෑම වඩාත්ම දැනෙනු ඇත්තේ එදිනෙදා ආදායම මෙන් සහ කුඩා ව්‍යාපාරවලින් ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත පිරිසටය. මේ නිසා ඇඳිරිනීති කාලය තුළදී වඩාත්ම නීතිරීතිවලට වඩාත්ම අනුගතව ක්‍රියාත්මක වීමට සියලුදෙනාගේ වගකීම බව පෙන්වාදීමට කැමැත්තෙමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සතිපතා නිකුත් කරනු ලබන කොවිඩ් තත්ත්ව වාර්තාවේ නවතම ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පොසිටිව් වීමේ වේගය 15.8%ක් දක්වා වර්ධනය වී ඇතැයි සඳහන් වේ. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ නව ආසාදිතයන් වාර්තා වීම පිට පිට පස්වැනි සතියේදීත් ඉහළ ගොස් තිබෙන බවය. එසේම ඔවුන් සඳහන් කරන්නේ එන්නත්කරණයේදී දකුණු සහ අග්නිදිග ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ පසුවන බවය. භූතානය සහ මාලදිවයින ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින දෙරට වෙයි.

මේ සියලු දත්ත, වාර්තා සහ ප්‍රකාශ හරහා පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය බරපතළ අඩියකට වැටී ඇති බවය. රෝහල් පිරී ගොසිනි. වෛද්‍ය අංශය හුස්ම ගැනීමට ඉඩක් ඉල්ලයි. රටවැසියෝ ඇඳිරි නීතියට යට වී සිටිති. මේ තත්ත්වය හොඳ අතට හරවා ගැනීමේ හැකියාව ඇත්තේ අප අතේ බව පෙන්වාදිය යුතුය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00