2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

සීයට 5ක ආර්ථික වර්ධනයක්?

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

සීයට 5ක ආර්ථික වර්ධනයක්?

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසුව පොලී අනුපාතික ඉහළ දමමින් ආර්ථික ප්‍රසාරණ ප්‍රතිපත්තිය වෙනස් කළ ප්‍රථම ආසියානු රට බවට ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා (18) පත් විය. මුල්‍ය වෙළෙඳපොළේ ඇතිවී තිබෙන ඉහළ ණය ප්‍රසාරණයේ අතුරු විපාකයක් වශයෙන් මේ වසර තුළ රුපියල 8%ක ප්‍රමාණයකින් අවප්‍රමාණය වීම සමතුලිත කර ගැනීමට මේ තීන්දුව හේතු වනු ඇතැයි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඒකක 50කින් ඉහළ නැංවීමත් සමඟ දැනට 3% සිට 4.5% දක්වා පවතින පොලී අනුපාත 5% දක්වා පමණ ඉහළ යනු ඇත. එසේම ව්‍යවස්ථාපිත සංචිත සඳහා වන අනුපාතිකයද 4%කින් ඉහළ දමා තිබේ. මේ නව අනුපාත සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

සමස්ත ආර්ථිකයේ දේශීය සහ විදේශීය අසමතුලිතතා හේතුවෙන් පැන නැගී ඇති ගැටලුවලට විසඳුම් වශයෙන් මේ පියවර ගත් බව මහ බැංකුව කියයි. ආර්ථික වර්ධනයත් සමඟ ඇතිවිය හැකි දේශීය සහ විදේශීය මුල්‍ය විෂමතා කළමනාකරණය කර ගැනීමට මේ පියවර ගත් බවද කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ 2020 වසරේ කොරෝනා වසංගතයත් සමඟ ඇතිවූ ඍණාත්මක බලපෑම්වලින් පසුව මෙරට ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවය. මේ වර්ධනයත් සමඟ 2021 වසරේ දෙවැනි කාර්තුවේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගනු ඇතැයිද මහ බැංකුව කියයි. කෙසේ වුවද වසංගතයේ ව්‍යාප්තිය දිගටම පැවතීම හේතුවෙන් එම වර්ධන වේගයට බලපෑම් එල්ල විය හැකි බවද මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය මාස කිහිපය තුළදී රට තුළ උද්ධමනය වේගවත් වූ බවද ආහාර මිල ගණන් ඉහළ යාමත් ආහාරමය නොවන වෙනත් භාණ්ඩ මිල වැඩිවීමත් එයට හේතු වූ බවද පෙන්වා දෙන මහ බැංකුව ඉදිරි කාලසීමාව තුළදී 4% සිට 6% දක්වා ආර්ථික වර්ධනයක් ඇතිකරගනු ඇතැයි පුරෝකථනය කරයි.

එක් ආර්ථික විශ්ලේෂකයකු සඳහන් කළේ වසර අවසානයට පෙර තවත් වටයකින් පොලී අනුපාත ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ පහසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සැරසෙන බව පෙනී යන බවත්ය. 2022 සඳහා වන අයවැය තද මුල්‍ය පාලනයක් සහිත එකක් වනු ඇති බවද ඔහු කීය.

ටී.එන්.ඒ. ඇතුළේ අර්බුදයක් හැදූ ඩිනර් එක

ඉකුත් සතියේ දිනක අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස්ගේ නිවෙසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා තම සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් සිටී. එම භෝජන සංග්‍රහයට සහභාගි වී සිටි අනෙක් දේශපාලනඥයා වූයේ ඒ අවස්ථාවේදී අධ්‍යාපන ඇමැතිව සිට එම භෝජන සංග්‍රහයෙන් දින කිහිපයකට පසුව සිදුවූ ඇමැති මණ්ඩල මාරුවේදී විදේශ ඇමැති වශයෙන් පත් කරනු ලැබූ මහාචාර්ය ජී.එල්. පීරිස්ය.

අමෙරිකානු තානාපතිනිය විසින් පිරිනැමුණු මෙම භෝජන සංග්‍රහයේ සාකච්ඡාවේදී අවධානය ලක් වූ මාතෘකාව වී තිබුණේ &නව ව්‍යවස්ථාවක් හරහා ජනවාර්ගික අර්බුදයට* දේශපාලන විසඳුමක් සොයාගැනීමේ යෝජනාව සම්බන්ධයෙනි. මේ විෂය සම්බන්ධයෙන් ලැබී ඇති යෝජනා අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව තවමත් අධිකරණ අමාත්‍යවරයාට බාර දී නැත.

අදාළ සාකච්ඡාව සැලකුණේ දශක ගණනාවක් තිස්සේ ඇදී යන විෂයක් සම්බන්ධ නිල නොවන සාකච්ඡාවක් වශයෙනි. නමුත් ටී.එන්.ඒ. සෙසු පක්ෂ නායකයන්ට මේ සාකච්ඡාවට සුමන්තිරන්ගේ සහභාගීත්වය විමතියට කරුණක් වී තිබිණි. ඉන් එක් නායකයකු ප්‍රකාශ කර තිබුණේ රජය සැමවිටම &ගැටුම්කාරී දේශපාලනයක* නිරත වන බව තම සන්ධානයේ ස්ථාවරය බවයි.

තමන්ට කලින් දැනුම් නොදී මෙවැනි සාකච්ඡාවකට යාම ඔවුන්ගේ නොසතුටට හේතු වී තිබිණි. ටී.එන්.ඒ. සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන සුමන්තිරන් මන්ත්‍රීවරයා නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මේ වන විට දෙදෙනකුගේ පක්ෂයක් බවට පත් වී ඇති බවටත් ඔවුහු චෝදනා කරති. සුමන්තිරන් ප්‍රකාශ කරන්නේ තමන් අදාළ අවස්ථාවට සහභාගි වූයේ පක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ අනුමැතිය ඇතුව බවය.

ටී.එන්.ඒ. සෙසු පක්ෂ නායකයන් චෝදනා කරන්නේ ඉදිරියේදී පැමිණෙන මානව හිමිකම් සැසිවාරයේදී තමන්ට ලකුණු දමාගැනීමේ අවස්ථාවක් හැටියට රජය මේ අවස්ථාව අනිසි ලෙස ප්‍රයෝජනයට ගනු ඇති බවය. එක් පක්ෂ නායකයකු පෙන්වා දෙන්නේ &2015 – 2019 අතර පැවැති යහපාලන ආණ්ඩුව සමඟ මධුසමයක* නිරතව සිටි ටී.එන්.ඒ. ආසන 03ක් අහිමි කර ගැනීමෙන් ඒ සඳහා වන්දිය ගෙවූ බවය. රජය සමඟ මේ ආකාරයට කටයුතු කිරීමෙන් ටී.එන්.ඒ. තවදුරටත් ජනප්‍රියත්වයෙන් පිරිහෙන බවටද ඔහු චෝදනා කළේය.

මොහු පෙන්වා දෙන්නේ රජය වෙනුවෙන් මේ රාත්‍රී භෝජනයට සහභාගි වූ අමාත්‍යවරයා විදේශ අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි බැවින් අමෙරිකානු තානාපතිනිය ඔහුට ආරාධනා කරන්නට ඇති බවය.

 සන්ඩේ ටයිම්ස්