2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

කවදාවත් ඉගෙන නොගන්න පාඩම්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

2004 දෙසැම්බර් 26 වැනිදා මේ රටේ කාටවත් අමතක කළ හැකි දවසක් නොවේ. හතළිස් දහසකට අධික ජීවිත සංඛ්‍යාවක් බිලිගත්, රටේ වෙරළාසන්න ප්‍රදේශවලින් තුනෙන් දෙකකට බරපතළ හානියක් සිදු කළ සුනාමිය කඩා වැදුණේ එදාය. ලංකාවට අමතරව තායිලන්තය සහ ඉන්දුනීසියාවටද තවත් රටවල් කිහිපයකටද හානි සිදු වුණත් ඒවා ලංකාවේ තරම් බරපතළ වූයේ නැත.

සුනාමියෙන් රටට සිදු වූ හානිය ගිණිය නොහැකි තරම් විය. ඒ බව අවබෝධ වූයේ ආණ්ඩුවට පමණක් නොවේ. විපක්ෂයද එහි බරපතළකම අවබෝධ කරගෙන තිබුණි.

ඒ කාලයේ ලංකාවේ තිබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවකි. ඇය ජනාධිපතිනිය වන විට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද එදාද අග්‍රාමාත්‍යවරයා විය. විපක්ෂ නායකයා වූයේ රනිල් වික්‍රමසිංහය. ජවිපෙ නායකයා අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ විය. විපක්ෂය නියෝජනය කළ ද්‍රවිඩ සන්ධාන නායකයෝද සිටියහ.

එදා සුනාමිය මේ රටේ ජනතාව තුළින් ජීවත්වීමේ සියලු බලාපොරොත්තු තුරන් කර දමා තිබුණි. වියෝවූවන්ගේ ඥාතීන්ගේ විලාපය රටේ හැම දෙසින්ම ඇසෙමින් තිබිණි. විනාශ වී තිබූ දේපළ අප්‍රමාණය. මුහුදුබඩ දුම්රිය මාර්ගය තිබුණේ දෑතකින් ඇඹරූ යකඩ පටියක් ලෙසිනි. එය රටේම අනාගත බලාපොරොත්තු සුන් කර තිබූ අවස්ථාවක් විය.

හැම වෙලාවෙම එකිනෙකාට බැණගන්නා මේ රටේ දේශපාලනඥයන් සුනාමියේදී නම් එහෙම කරන්න ගියේ නැත. මේ සියලු නායකයන් වෙනදාට වෙන වෙනම වේදිකාවල නැගී සිටිමින් එකිනෙකා විවේචනය කර ගත්තත් එදා මේ ඔක්කොම ගොඩවුණේ එකම වේදිකාවක් මතටය. එහිදී නැගුණු හඬ එකම හඬක් විය. හැමදෙනාගේම ප්‍රතිඥාව වූයේ මේ රට යළි ගොඩනැගීමට තමන් සියලු දෙනාම කැපවන බවය. එය රටේ ජනතාව තුළ සිඳී යමින් තිබූ සියලු බලාපොරොත්තු යළි පණ ගැන්වීමට ප්‍රබල උත්තේජනයක් ලබා දුන්නේය. ඇඹරී ගිය යකඩ පටියක් වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගය දවස් 53කදී යළි ගොඩනැගීම එම උත්තේජනයේ තරම පෙන්වූ එක් සිද්ධියක් විය.

සුනාමිය මහත් ජාතික ව්‍යසනයක් විය. එම ව්‍යසනය රටේ සියලු දේශපාලන නායකයන්ට එකට එක්වී රට ගොඩනැගීමට ස්වර්ණමය අවස්ථාවක් උදා කර දුන්නේය. නමුත් එම අවස්ථාවෙන් නිසි අයුරින් ප්‍රයෝජනය ගැනීමට තරම් පුළුල් දැක්මක් මේ රටේ නායකයන්ට තිබුණේ නැත. ඒ අවස්ථාවේදී විවිධ රටවලින් ඩොලර් බිලියන ගණනින් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු නිකම්ම වාෂ්ප වී ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ සුනාමියේ සිහිවටන පමණක් රටට ඉතිරි විය. මුලින් එකතු වී පසුව බෙදී වෙන් වී ගිය දේශපාලනය ඉදිරියට ගියේය.

මේ වගේම අවස්ථාවක් යුද්ධය දිනූ 2009 වසරේද උදා විය. එයද යුද්ධයෙන් විනාශ වී ගිය අපේ රටට ලැබුණු තවත් ස්වර්ණමය අවස්ථාවක් විය. යුද්ධය ජය ගැනීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළු ගලක් පෙන්වා එය රත්තරන් ගලක් කිව්වා නම් ඒකත් විවාදයකින් තොරවම පිළිගන්නා තත්ත්වය මේ රටේ ජනතාව සිටියහ. මහින්ද රාජපක්ෂ ජනාධිපති කෙරෙහි එතරම් විශ්වාසයක් රටේ ජනතාව තුළ තිබිණි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් ඉටුකළ භාරදූර වගකීම පිළිබඳවද රටේ ජනතාවගේ ඉමහත් පිළිගැනීමක් තිබිණි. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමද රාජපක්ෂ රජයෙන් අතපසු වී ගියේය. ලංකාවට මිත්‍ර රටවලින් පොරොන්දු වූ බොහෝ ආධාර උපකාරද වචනවලට පමණක් සීමා විය. සුනාමිය අවස්ථාවෙන් ඉගෙන නොගත් පාඩම යුද්ධය දිනූ අවස්ථාවේද ඉගෙන ගැනීමට තරම් මෙරට දේශපාලන නායකයන්ට පුළුල් දැක්මක් නොතිබීම හේතුවෙන් රටේ සංවර්ධන ප්‍රතිලාභ පිළිබඳ ශේෂ පත්‍රයක් පමණක් ඉතිරි කොට රාජපක්ෂ රජය ඊට වසර 05කට පසු ගෙදර ගියේය.

සුනාමිය අවස්ථාවේ එකම වේදිකාවකට එකට එකතු වූ ආණ්ඩුව සහ විපක්ෂය දිගටම ඒ එකතුව ගෙන ගියා නම් මේ රටේ ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වීමට ඉඩ තිබිණි. ඩොලර් බිලියන හතරේ පහේ ආර්ථිකයක් වෙනුවට වෙනත් රටවලට බිලියන ගණනින් ආධාර දිය හැකි තත්ත්වයකට අපේ රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට තිබූ අවස්ථාවද මේ නිසා අහිමි වී ගියේය.

යුද්ධය දිනූ අවස්ථාවේදී විපක්ෂයේ කොටස්ද උතුරේ නැගෙනහිර තම විශ්වාසය දිනා සිටි දේශපාලන නායකයන්ද සමඟ එක් වී රටේ ඉදිරි ගමන් මග සකසා ගන්නවා වෙනුවට රාජපක්ෂ රජය එදා කළේ තම සන්ධානය තුළ සිටි දැඩි මතධාරී දේශපාලන නායකයන්ගේ බහට අවනත වී ක්‍රියා කිරීමය. එයින් රට තුළ පෞද්ගලික ජයග්‍රහණ ඇතිකර ගැනීමට හැකියාව ලැබුණත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස දැකගන්නට නොලැබිණි. රාජපක්ෂ රජය එහිදී ජාත්‍යන්තරය දිනාගන්නවා වෙනුවට ජාත්‍යන්තරයට අභියෝග කිරීමේ මාවත තෝරා ගත්තේය. ඒ මාවතේ ගමන ආණ්ඩුවේ ආයුෂද කෙටි කළේය. යුද්ධ ජයග්‍රහණයත් සමඟ රට තුළ ගොඩනැගුණු විශ්වාසය සහ උද්‍යෝගය රටේ ආර්ථික දියුණුවේ මාවත බවට හරවා නොගැනීමේ පළ විපාක කොතරම්ද යන්න අද වන විට මේ රට ආර්ථික වශයෙන් වැටී සිටින තත්ත්වයෙන් තේරුම් ගැනීම අපහසු නැත. 

අද අපේ රට සිටින්නේද සුනාමියේ කඩා වැදීම සහ යුද ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ වැනිම තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙමිනි. එකම වෙනස එය අපේ රටට පමණක් නොව මුළු ලොවටම බලපාන වසංගතයක් වීම පමණි.

කොවිඩ් වසංගතය රටට කඩා වදින්නේ යළිත් වරක් රාජපක්ෂවරුන්ගේ රජයක් බිහි වී තිබෙන අවස්ථාවකය. මුලදී යහපත් අන්දමින් පාලනය කර ගත්තත් වසංගතය තුන්වැනි රැල්ලෙන් ඔබ්බට ගිය විට පාලනයෙන් තොර වන අවස්ථාවක් දක්වා වර්ධනය වෙමින් තිබේ. මෙරට වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට මෙය කොවිඩ් වසංගතයේ භයානකම ප්‍රභේදය වන ඩෙල්ටා වෛරසය පුපුරා යාමකි. මෙම පුපුරා යාමේ බරපතළම ව්‍යසනකාරී තත්ත්වය ඉදිරි සති දෙක තුළදී උපරිම තත්ත්වයට ළඟා වනු ඇති බවත් ඒ වන විට දිනකට මිය යන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත් වෛද්‍ය මතයයි. ඔවුන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ දැඩි සීමා කිරීම්වලට නොගියොත් රටම දැඩි අවදානමකට ලක්වනු ඇති බවය. එහෙත් ආණ්ඩුවට එවැනි තීරණයක් ගන්න පුළුවන්ද?

ආණ්ඩුව පැත්තෙන් කියන්නේ තවම එවැනි තත්ත්වයක් උදා වී නැති බවය. රට සම්පූර්ණයෙන් වසා දැමීම රජයේ අවසාන පියවර වනු ඇති බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා කිව්වේය. ඒ ප්‍රකාශය රජයේ කිසිවකුත් ප්‍රතික්ෂේප නොකළ බැවින් ජනතාව සිතන්නේ එය රජයේ මතය බවය. ජනතාව එහෙම සිතුවත් ඔවුන් අසන්නේ දකින්නේ වෙනත් රටවල් වසා දැමුණේ අවසාන පියවර වශයෙන් නොව පළමු පියවර වශයෙන් බවය. නමුත් රජය මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රුඳී සිටිනවාට වඩා රටේ ආර්ථික උපදේශකවරුන්ගේ උපදෙස් මත රැඳී සිටින බව පෙන්නුම් කරයි. රට තුළ පවතින යථා තත්ත්වය නිසි පරිදි අවබෝධ කරගෙන තීන්දුවලට එළඹෙනවා නම් අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සේවා ස්ථානවලට කැඳවන නියෝග නිකුත් වීමට ඉඩක් නැත. අඩුම තරමින් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින එන්නත්කරණය තව සති කිහිපයක් තුළ සිදු කිරීමෙන් පසුව හෝ එවැනි තීන්දුවක් ගත්තා නම් වඩාත් සුදුසුය. එහි ප්‍රතිඵලය වූයේ එම නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට සිදුවීමය.

මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී රටේ සාමාන්‍ය මහජනතාව මුහුණදෙන දුෂ්කර තත්ත්වයන් කෙරෙහිද අවධානය යොමු කිරීම අවශ්‍යය. ඔවුන්ට රාජකාරි ස්ථානවලට යාමට ප්‍රමාණවත් තරම් බස් - කෝච්චි නැත. මේ බොහෝ දෙනකුට තමන්ගේ කියා වාහනයක් නැත. ඇතැමුන්ගේ රාජකාරි ස්ථාන ඇත්තේ බොහෝ දුරිනි. මේ දුෂ්කරතා මැද රාජකාරියට වාර්තා කිරීම කොවිඩ් වෛරසය කර තබාගෙන යාමකට දෙවැනි නැත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් නිකුත් කරන ලද නිවේදනය සඳහන් වී තිබුණේ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම ”ඇවිලෙන ගින්නට පිදුරු” දැමීමක් වන බවය.

කෙසේ වුවද මේ වන විට රටේ දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවා යමින් තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව දිනකට තුන් දහසකට ආසන්න බවද වාර්තාවල සඳහන් වෙයි. නමුත් ඇතැම් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මේ සංඛ්‍යාව 5000ක් තරම් ඉහළ අගයක් ගන්නා බවය. මේ තොරතුරුවල සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉතාම බරපතළ බවට වෙනත් සාධක අවශ්‍ය නැත. නමුත් රජය සෞඛ්‍ය බලධාරීන්ගේ මේ උපදෙස් පිළිගන්නා බවක් නොපෙන්වයි.

මෙවැනි බැරෑරුම් අවස්ථාවකදී සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී ක්‍රියාත්මක වීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. කොවිඩ් හේතුවෙන් රටේ ආර්ථික තත්ත්වයද පවතින්නේ පුපුරා යන තරම් ආසන්න තත්ත්වයක බවද නොරහසකි. කොවිඩ් වසංගතයට එරෙහි සටනේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහද සූදානම් බව වරින් වර යෝජනා කර තිබිණි. එහෙත් රජයෙන් ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නැත. 

2004දීත් 2009දීත් අපේ රටට ලැබුණු අවස්ථා දෙකම මේ රටේ ආණ්ඩු අත හැරියේය. කොවිඩ් ජාතික ව්‍යසනයේදීත් එම වරදම සිදු වුණොත් වෙන්නේ ආර්ථිකය නැතිවීම නොව මිනිසුන්ගේ ජීවිත නැතිවීමය. අපේ රටේ ආණ්ඩු නම් කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැත. 

 ශශීන්ද්‍ර

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00