2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

ආසියාවේ විශ්මලන්තයේ නම් ඕනෑ දෙයක් ඔට්ටුයි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්නයක් ඇසුවේ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙනි. නාමල් රාජපක්ෂ මහතාත් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුත් ටෝකියෝ ඔලිම්පික් සංචාරයට සහභාගි වීම එම ප්‍රශ්නයට නිමිත්ත වී තිබිණි.

හේෂා විතානගේ ඇසුවේ ටෝකියෝ ඔලිම්පික් ආරම්භක උළෙලට සහභාගි වීමට සිදුකළ සංචාරය සඳහා රජයේ මුදල් වැය කළේද යනුවෙනි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ තමන්ගේ සංචාරය සඳහා අනුග්‍රහය ලබාදුන්නේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා බවය. රොෂාන් රණසිංහ මහතා සමඟ තවත් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙක්ද මේ සංචාරයට එක්වී සිටියහ.

“කොවිඩ් වසංගතය හේතුවෙන් පැන වී ඇති සංචරණ සීමා හේතුවෙන් දැඩි ව්‍යාපාරික අර්බුදයකට මැදි වී සිටින ගුවන් සමාගම් සියල්ලක්ම පාහේ මේ වනවිට තමන්ගේ ගුවන් ටිකට් පත් ගාස්තු විශාල ලෙස ඉහළ දමා තිබේ. කොළඹ සිටින ප්‍රධාන පෙළේ ගුවන් ටිකට්පත් අලෙවි නියෝජිතයකුට අනුව කොළඹ - ටෝකියෝ යාමට සහ ඒමට ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක මිල දැන් රුපියල් 8,70,000 සිට මිලියනයක් දක්වා වන බව සඳහන්ය. වෙන්කරවා ගන්නා පන්තිය අනුව මිල ගණන් එසේ වෙනස් වන බවද ඔහු කීය.

එම ටිකට්පත් අලෙවි නියෝජිතයා තවදුරටත් සඳහන් කළ අන්දමට ශිෂ්ඨ සම්පන්න ප්‍රජාතාන්ත්‍රික රටවල මේ ආකාරයේ “අනුග්‍රාහකත්වයන්” සලකනු ලබන්නේ දේශපාලන දූෂණයක් වශයෙන් බවය. නමුත් ආසියාවේ විශ්මලන්තයට නම් එය තවත් එක් අහඹු ප්‍රකාශයක් පමණි.”

- සන්ඩේ ටයිම්ස්

විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය - පෞද්ගලික වැඩපිළිවෙළක්!

විදේශ කටයුතු අමාත්‍යංශය මින් පෙර නොවූ විරූ පියවරකට යමින් විදෙස් දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වශයෙන් සේවය කිරීම සඳහා පෞද්ගලික අංශයේ නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටී.

වෘත්තීමය නිපුණත්වයේ අඩුවීම හේතුවෙන් සිදුවන අඩුපාඩුකම් මගහැරවීමට අමාත්‍යංශය මේ තීන්දුව ගෙන තිබෙන බවද සඳහන් වෙයි. එය මේ අමාත්‍යංශයේ සැබෑ තත්ත්වයද නැතහොත් දේශපාලන නායකත්වයේ ගැටලුවක්ද නැතහොත් පරිපාලනයේ පවතින දෝෂ සහගත තත්ත්වයක්ද? රටේ විදේශ සබඳතා පවත්වාගෙන යාමේදී අභිමානවත් කාර්යභාරයක් ඉටුකළ ආයතනයක තත්ත්වය එයින් ගිලිහී යාමක්ද? යන්න ගැටලුවකි.

දේශපාලන නායකත්වය විසින් නොසලකා හැරීම හේතුවෙන් දක්ෂ, පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නිද්‍රාගත වීම සිදුව තිබේ. මේ නිසා විදේශ සබඳතා අසමත් වීමේ සම්පූර්ණ වගකීම අමාත්‍යංශයේ වෘත්තීමය නිලධාරීන් මත පැටවිය නොහැක. ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය පසුබෑමකට ලක්වීමටද මෙය හේතුවක් වී තිබේ.

මේ අලුත් ක්‍රියාමාර්ගය පිළිබඳව විවිධ හේතූන් නිසා ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබේ. පවතින අසාර්ථකත්වයට මෙමගින් පිළිතුරක් ලැබෙනු ඇතිද යන්න එක් ප්‍රධාන ප්‍රශ්නයකි.

එසේම විදේශ දූත මණ්ඩල රාජකාරි සඳහා පුහුණුව ලද පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මේ නිසා තම උසස්වීම නොලැබී යාමට තිබෙන ඉඩකඩද තවත් ප්‍රශ්නයකි. මේ ඇතැම් නිලධාරීන් දූත මණ්ඩල ප්‍රධානීන් වශයෙන් පත්කරනු ලැබීමට පවා සුදුසුකම් ලැබුවෝ වෙති. අනෙක පෞද්ගලික අංශයෙන් මේ සඳහා සුදුස්සන් තේරීම සුදුසු යාන්ත්‍රණයක්ද යන්නය.

විදේශ අමාත්‍යංශයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සුගීෂ්වර ගුණරත්න මහතා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට මෙසේ පැවසීය.

“ඇතැම් විශේෂිත ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පෞද්ගලික අංශයේ ප්‍රවීණයන්ගේ සේවය ලබාගැනීමට ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. විදේශ අමාත්‍යංශය ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ආයතනයයි. තෝරාගත් තානාපති කාර්යාල සඳහා වසර දෙකක කාලසීමාවකට විවිධ අංශවල ප්‍රවීණ පුද්ගලයන් 20ක් තෝරා ගැනීමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳාම සහ කාලගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීම මෙහි අරමුණයි.”

මේ සඳහා තෝරාගනු ලබන රටවල් සහ විෂයයන් මොනවාදැයි තවම අවිනිශ්චිතය. කෙසේ වුවද ජාත්‍යන්තර වෙළෙඳාම, මූල්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන වැනි විෂයන් සදහා පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් මහත් කැමැත්තක් දක්වනු ඇති බව පැහැදිලිය. එහෙත් එම විෂයන් සඳහා විදෙස් රටවල් ආකර්ෂණය කර ගැනීමට නම් රජය කළ යුත්තේ නිවැරදිව තීන්දු ගැනීම නොවේද? මේ වැඩපිළිවෙළ රටේ යහපත සඳහාද කෙරෙන අවංක උත්සාහයක්ද නැතහොත් ඇතැම් පුද්ගලයන්ගේ පෞද්ගලික අභිමථාර්ථයන් ඉටුකර ගැනීමේ උත්සාහයක්ද යන්න නම් ප්‍රශ්නාර්ථයකි.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00