2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

කොරෝනා “මාර පරාජය”

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

මේ ගෙවෙන්නේ යක්ෂයාගේ හෝරාව යැයි කියන තරමට කොවිඩ් මාරයා අපේ රට හමුවේ දත් විලිස්සමින් සිටියි. පිට පිටම දින ගණනාවක් දෛනික මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තා වෙමින් තිබේ. මේ මරණ සංඛ්‍යාව ඉදිරි සති කිහිපය තුළදී දෙතුන් ගුණයකින් වර්ධනය විය හැකි බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවමින් සිටිති. ඒ අතරවාරයේ ආසාදිතයන් සංඛ්‍යාව අධිකව වැඩිවීම හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩලයද දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බවද සඳහන් වෙයි.

මේ අභාග්‍යසම්පන්න තත්ත්වයට මුලපිරුණේ පසුගිය අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු සමයේදී රට පුරා ජනතාවට නිදහසේ සංසරණය වීමට ඉඩකඩ ලබාදීම හේතුවෙන් බවට සමහරු චෝදනා කරති. එම චෝදනාවේ සත්‍ය අසත්‍ය බව සෙවීමට මෙය සුදුසු කාලය නොවන බව කිව යුතු නැත. එහෙත් කොවිඩ් මාරයා සෑහෙන පමණ අත පය දිගහැර වෛරසය රට වටේම බෙදීම ඇරැඹුවේ ඒ සමඟ බව රහසක් නොවීය. ඒ වැරැද්දේ වගකීමෙන් වැඩි කොටසක් ජනතාව විසින්ම බාරගත යුතු වෙයි. නමුත් මෙවැනි ව්‍යසනයක් සිදුවිය හැකි බවට රටේ මහජනතාවට දැනෙන ආකාරයට දැඩි සීමා ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් රජයටද කර අරිනු නොහැකි බව අපගේ වැටහීමයි.

අගෝස්තු මාසයේ 01 වැනිදා සිට මේ වන විට ගෙවී ගිය සති දෙක තුළ ආසාදිතයන්ගේත් මරණ සංඛ්‍යාවේත් ගුණනය වීම සියලු දෙනා තුළම භීතියක් ඇතිකර තිබේ. එහෙත් දැන් කළ යුත්තේ බියෙන් තැතිගෙන හතර අතේ සියලු දෙනාට බැණ වැදීම නොවේ. එයින් පලක් නැත. සියලු පාර්ශ්ව එකට එකතු වී කොවිඩ් වෛරසයට “මාර පරාජයක්” අත්කර දීමය. ඒ ගැන අවධානය යොමු කිරීමකින් තොරව මේ සටනින් ජය ගැනීම අසීරු බව ආසාදිතයන්ගේ සහ මරණය වැළඳගන්නන්ගේ සංඛ්‍යාලේඛන අපට පෙන්වා දෙමින් තිබේ. මේ සංඛ්‍යාලේඛනවල අව්‍යාජ බව අභියෝගයට ලක්වෙමින් තිබෙන බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. නමුත් සැබෑ තත්ත්වය දැනට පෙන්නුම් කරන සංඛ්‍යාවලට වඩා වැඩි මිස අඩු නැති බව තේරැම් ගැනීමට දිව්‍ය ඥානයක් අවශ්‍ය නැත.

වෛද්‍ය විශේෂඥයන් විසින් රටම ලොක්ඩවුන් කළ යුතු බවට රජයට උපදෙස් දෙන්නේ මේ පසුබිමේ සිටිමිනි. වෛද්‍ය විශේෂඥයන්ට අනුව පවතින තත්ත්වය සෞඛ්‍ය සේවාවට දරාගත හැකි ධාරිතාවේ රතු කට්ට පැනීමට ඉතාම ආසන්නය. එසේ වුවහොත් බලා සිටීම හැර වෙන යමක් කළ නොහැකි බවටද පුරෝකථන සැපයී තිබේ. තත්ත්වය එතරම් භයානක අඩියකට පත්වෙමින් තිබියදීත් රටම ලොක්ඩවුන් කිරීමට රජය එක්වරම ඉදිරිපත් නොවීමටද සැබෑ හේතු කාරණා තිබේ. එවැනි තත්ත්වයකදී රට තුළ උද්ගත විය හැකි සමාජ - ආර්ථික ගැටලු කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වයටත් වඩා භයානක වීමට ඉඩ තිබීම ඊට ප්‍රධානම හේතුවකි. එදිනෙදා ආදායමෙන් යැපෙන ලක්ෂ ගණනක් සිටින අපේ රට වසා දැමීම ඔවුන්ගේ දරුපවුල් විශාල අවදානමකට ඇද දැමීමකි. ධනවත් රටක් නොවන බැවින් එංගලන්තය, අමෙරිකාව හෝ ඕස්ට්‍රේලියාව කරන ආකාරයට අපේ රටට කටයුතු කළ නොහැක. එහෙත් රටේ ජනතාවගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර නොපමාව ගත යුතු බවට බල කෙරෙන තත්ත්වයකට රට තල්ලු වී ඇති බව තේරැම් ගැනීමට පමා විය යුතු නැත.

අප රටක් වශයෙන් අද මේ තත්ත්වයට මුහුණ දී සිටියත් වසංගතය අප රටට කඩා වැදුණු මුල් අවස්ථාවේ රෝගය පාලනය කරගත් හොඳම රටවල් කිහිපය අතරට අපේ රටද එකතු විය. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් මාර්ගෝපදේශ නියමාකාරයෙන් පිළිපැදීමත් ආරක්ෂක හමුදාවලද සහාය ලබාගනිමින් සියලු කණ්ඩායම් එක් වී වගකීමෙන් කටයුතු කිරීමත් හේතුවෙන් මාස කිහිපයකට පසුව රට බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට තරම් හැකියාවක් ලැබිණි. නමුත් එම තත්ත්වය තාවකාලික බවටත් වෛරසයේ ඊළඟ ප්‍රභේද ඊට වඩා බොහෝ බලවත් වනු ඇති බවටත් සිදුකෙරුණු අනතුරු ඇඟවීම්වලට ප්‍රමාණවත් පිළිගැනීමක් නොලැබිණි. එන්නත්කරණයෙන් තොරව ගැලවුමක් නැති බව පුන පුනා පැවසෙද්දී අපේ ඇතැම් බලධාරීන් “පැණි” බෝතල් කර තබාගෙන යාමත් මිත්‍යා මතවාද කරපින්නාගෙන ගඟට මුට්ටි අතහැරීමත් සිදු කර කාලය කා දමද්දී සෙසු බොහෝ රටවල් එන්නත්කරණ වැඩපිළිවෙළට අතගසා තිබිණි. එම ප්‍රමාදය රටට අවාසියක් වූ බවට විවාදයක් නැත.

කෙසේ වුවද එන්නත් ගෙන්වා ගැනීම නිසි ලෙස මාර්ගගත කොට එය වේගවත් කිරීමේ ක්‍රියාවලියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදා සහාය ලබාදීමත් සමඟ මේ ව්‍යසනය මැද ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක් හෙළීමට ඉඩක් ලබාදී තිබේ. මෙහිදී ත්‍රිවිධ හමුදාව විසින් ඉටුකරන කාර්යක්ෂම සේවය මේ වනවිට මහත් වෙහෙසට පත්ව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරමක අස්වැසිල්ලක් ගෙන දී තිබේ. අවශ්‍ය වන්නේ මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් රෝගීන් සංඛ්‍යාවත් මිය යන සංඛ්‍යාවත් අවම කර ගැනීමට කටයුතු කිරීමය. එහිදී මීට පෙර සිදුකෙරැණු වැරදි යළි යළිත් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බව පෙන්වා දිය යුතුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00