2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

රිවර්ස් වීමේ අවුල

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 86

කොවිඩ් වසංගතයේ බරපතළ ප්‍රතිවිපාක සමඟ අභියෝගාත්මක ගමනක යෙදී සිටින ආණ්ඩුව පසුගිය සතියේ බලාපොරොත්තු නොවූ පසුබෑම් දෙකකට මුහුණ දුන්නේය. එයින් එකක් වූයේ මල්වතු මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්ගිරි මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිවරුන් විසින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට යොමු කරන ලද ලිපියයි.

එම ලිපිය යොමුකර තිබුණේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට වුවද ලිපියේ අන්තර්ගතය කියවා බැලීමේදී එය ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය සඳහා යොමු කළ එකක් බව පැහැදිලිය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 05 වැනිදා සිට තෙදිනක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ විද්වත් සභාව සඳහා තමන් සහභාගි නොවන බව දන්වමින් එම ලිපිය යොමු කර තිබිණි.

“රටේ කොරෝනා වසංගත තත්ත්වයක් පවතිද්දී ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොකරමු. එබැවින් අද (05) සිට තෙදිනක් පුරා පැවැත්වීමට යන මෙම විද්වත් සභාවට මල්වතු, අස්ගිරි පාර්ශ්වයන් නියෝජනය කරමින් කිසිවකුත් සහභාගි නොවන බව දැනුම් දෙමු.” යැයි එහි සඳහන් වෙයි.

යෝජිත ත්‍රිපිටක සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අද (05), හෙට (06) සහ අනිද්දා (07) දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම විද්වත් සභාව පවත්වන බැවින් එයට සහභාගි වන ලෙස තමන් වහන්සේලාට ආරාධනා කර ඇති බවත් මෙය එවැන්නක් පැවැත්වීමට සුදුසු අවස්ථාව නොවන නිසා ඊට සහභාගි නොවන බවත් මහ නාහිමිවරුන් තම ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ සමඟ මහ නාහිමිවරුන් දෙදෙනා පෙන්වා දී තිබුණේ අදාළ විශාරදයන් සමඟ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව මෙම පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට අපේක්ෂා කරන බවත් මෙය කඩිනමින් සම්මත කිරීමට කටයුතු කිරීම උචිත නොවන බවත්ය. නිසි අධ්‍යයනයකින් තොරව මෙම පනත සම්මත කළහොත් එයින් අනාගතයේ නොයෙක් ශාසනික ව්‍යාකූලතාවන් නිර්මාණය වීමට ඉඩ ඇතැයිද මහ නාහිමිවරුන් එම ලිපියේ සඳහන් කර තිබේ.

මේ ලිපියේ සඳහන් කරුණු රජය මගින් හොඳින් අධ්‍යයනය කළා නම් එහි අරුත වටහා ගැනීම අසීරු නොවනු ඇත. මීට පෙර අතීතයේද මහා නායක හිමිවරුන් විවිධ අවස්ථාවලදී රාජ්‍ය නායකයන් අමතා ලිපි යොමුකර තිබිණි. ඒ හැම ලිපියකින්ම රටේ පවතින අවස්ථාව පිළිබඳ රජයට කෙරෙන අනුශාසනාවක මට්ටමින් කරුණු පහදා දී තිබිණි. කෙසේ වුවද එම අනුශාසනා ඒ ආකාරයෙන්ම බාරගත්තාද යන ප්‍රශ්නය ඉතිරිව තිබේ. එසේ වූවා නම් රට තුළ මෙතරම් සමාජ - ආර්ථික වියවුල් හටගැනීමට ඉඩක් නැත. බොහොමයක් දේශපාලන නායකයන් ආණ්ඩු පිහිටුවා ගැනීමේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිගෙන කටයුතු කරන බවට ප්‍රතිඥා පිට ප්‍රතිඥා දෙන නමුත් රට කරගෙන යාමේදී ඒ ප්‍රතිපත්තිය අනුගමනය නොකළ බවට අතීත උදාහරණ තිබේ.

වත්මන් ආණ්ඩුව පිහිටුවීමේදී වෙන කවදාටවත් වඩා සිංහල - බෞද්ධ පදනම මත පිහිටා කටයුතු කෙරුණු බව ප්‍රතිඵල ප්‍රකාශයේ පටන්ම පැහැදිලි විය. ජනාධිපතිවරයා සිය ප්‍රථම කතාවේදී පටන්ම ඒ බව පැහැදිලිව රටට කියා තිබුණි. එපමණක් නොව මහා සංඝරත්නයෙන් සැදුම්ලත් උපදේශක සභාවක් පිහිටුවා මාසිකව රැස්වීමක් පවත්වා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගැනීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය. නමුත් යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මහා නායක හිමිවරුන් රජයට පෙන්වා දී ඇත්තේ මේ එයට උචිත කාලය නොවන බවය. එම විද්වත් සභාවට තමන්ගේ නියෝජනයක් ලබා නොදෙන බවත් නිසි අධ්‍යයනයකින් තොරව කඩිමුඩියේ මේ පනත සම්මත කිරීමට තමන්ගේ අනුමැතිය නොලැබෙන බවත් උන්වහන්සේලා පෙන්වා දී ඇත්තේ එබැවිනි.

මෙහිදී පෙනී යන්නේ ආණ්ඩුව මේ ආකාරයට මහා සඟරුවන සහභාගි කරවාගෙන විද්වත් සභාවක් පවත්වා උත්සාහ කළේ රට සාමාන්‍යකරණයට පත් වී ඇති බවට රට තුළ පණිවුඩයක් මුදාහැරීම නම් එම උත්සාහය මහ නාහිමිවරුන් විසින් ව්‍යාර්ථ කර ඇති බවය. රටේ බරපතළ වසංගත තත්ත්වයක් පවතින බවද උන්වහන්සේලා පෙන්වා දී තිබේ. මේ විද්වත් සභා රුස්වීම සංවිධානය කළ පිරිස මහා සඟරුවනේ ප්‍රතිචාර කෙසේ වනු ඇතිදැයි සොයා බැලීමක් කර නැති බව පෙනී යයි. මෙවැනි අනපේක්ෂිත පසුබෑමකට ආණ්ඩුව මුහුණ දුන්නේ ඒ හේතුවෙනි.

මීළඟට පසුගිය බ්‍රහස්පතින්දා (05) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවද රජය අපේක්ෂා කළ එකක් නොවීය. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදී මතවාදවලින් මුදාගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ලබන 24දා දක්වා වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කිරීම එම තීන්දුවයි. මේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකා බලමින් මේ අතුරු නියෝග නිකුත් කර තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68/2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “දැඩි අන්තවාදී මතවාදයන්ගෙන් මුදාගැනීම්” නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් මෙම රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි. මෙය පෞද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වීමක් බවද එම පෙත්සම්වල සඳහන් විය.

ජනාධිපතිවරයකු නිකුත් කරන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටුවනු ලැබීම නිතර සිදුවන්නක් නොවේ. එසේම ජනාධිපතිවරුන්ගේ නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමද නිතර සිදු නොවේ. විශේෂයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් විය හැකි බව දැන දැනම රෙගුලාසි, නියෝග නිකුත් කිරීම එවැනි අවස්ථාවලට මග පාදයි. ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ ගණනාවක් තිබියදී ඒ සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව වත්මන් රජය මෙවැනි නියෝග නිකුත් කරන බව සමහරුන්ගේ චෝදනාව වී තිබේ. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් රජයේ නියෝගයකට අතුරු තහනම් නිකුත් වීම ආණ්ඩුවක සෞඛ්‍යයට හේතු වන්නේ නැත.

මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ලිපියත්, ජනපති නියෝගය අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් දෙකම ආණ්ඩුව බලාපොරොත්තු වූ ඒවා නොවේ. කොවිඩ් වසංගතය රෝහල් තුළ රෝගීන් මැරී වැටෙන තත්ත්වයකට පත්වෙමින් සිටින බවට අනතුරු ඇඟවෙන තත්ත්වයක් තුළ එය තවත් ව්‍යාකූල වීමට එවැනි සිදුවීම්වලින් බලපෑම් එල්ල වීමටද ඉඩ තිබේ. මේ සමඟ පසුගිය 06 වැනි සිකුරාදා ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ තීන්දුවද රිවර්ස් කර ගැනීමට සිදු විය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේම නිසි අවබෝධයක් නොතිබීම එම රිවර්ස් කර ගැනීමට හේතු වී තිබිණි. අඩුම තරමින් හවුල්කාර පක්ෂවල නායකයන් සමඟ හෝ කිසිම අදහස් හුවමාරු කර ගැනීමක් සිදු වී නැතිවීම මේ තත්ත්වයට මග පාදා තිබිණි. එය ආණ්ඩුවේ පැත්තෙන් අවාසියක් විය.

මීළඟට සීමිත ලෙස රසායනික පොහොර  වර්ග කිහිපයක් ගෙන්වීමට ඉඩ දෙමින් මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන්ද පසුව පරස්පර අදහසක් ඉදිරිපත් විය. එහිදී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහත්වරුන් දෙදෙනාම ප්‍රකාශ කර තිබුණේ රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ වෙනසක් නැති බවය. එසේම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයද දැනුම් දීමක් කරමින් කියා තිබුණේ රජයේ තීන්දුවේ වෙනසක් නැති බවත් ඒ ගැන පසුව ප්‍රකාශයක් සිදු කරන බවත්ය. එය මුදල් ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දුවක් රිවර්ස් කිරීමක්ද යන්න ඉදිරියේදී හෙළි වනු ඇත.

විශ්වාසභංගයට අත් වූ ඉරණම හේතුවෙන් රිවර්ස් වී සිටි විපක්ෂය ආණ්ඩුවේ මේ රිවර්ස් තීන්දුවලින් යම් පමණක පණක් ලබමින් සිටියි. එහෙත් මේ දේශපාලන සෙල්ලම් අතරේ කොවිඩ් දරුණු වී මැරී වැටෙන මිනිසුන්ගේ මරණය නම් කවදාවත් රිවර්ස් නොවන බව පමණක් ඉතාම පැහැදිලිය.

 ශශීන්ද්‍ර

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00