2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

වෛරසයට සතුරු වෙමු

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 32

කොවිඩ් රෝගීන්ගෙන් වාට්ටු පිරී යාමත්, රෝහල් ඇඳන් යට සහ කොරිඩෝවල පවා රෝගීන් රැඳවීමට සිදුවීමත් හේතුවෙන් පසුගියදා රෝහල් ගණනාවක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමඟ හදිසි තත්ත්වයකට පත් කෙරුණු රෝහල් අතර සෞඛ්‍ය ඇමැතිවරිය නියෝජනය කරන රත්නපුරද ඇතුළු වීම තත්ත්වයේ බරපතළකම හොඳින්ම පෙන්නුම් කරයි. කොතරම් පහසුකම් ලබාදුන්නත් රෝගීන්ගේ සංඛ්‍යාව රෝහලකට දරාගත නොහැකි ආකාරයට ඉහළ ගියහොත් රෝගීන් පත්වන අවදානමේ තරම මෙයින් පැහැදිලි වෙයි.

තම රෝහල්වල හදිසි තත්ත්වයක් පවතින බව ඒ වනවිට ප්‍රකාශ කර තිබුණේ රත්නපුර සහ කරාපිටිය රෝහල් පමණක් වුවද කොළඹ ජාතික රෝහල, රාගම සහ කළුබෝවිල රෝහල් සහ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළද රෝගීන් සංඛ්‍යාවේ ධාරිතාව ඉක්මවා ගිය තත්ත්වය හේතුවෙන් බරපතළ ගැටලු මතුව ඇතැයිද සඳහන් වෙයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ නිල වශයෙන් නිවේදනය නොකළත් තවත් රෝහල් ගණනාවක පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක් බවය. සෑම පැයකටම කොවිඩ් මරණ 03ක් පමණ වාර්තාවන බවද හෙළිකරන ඒ මහතා ප්‍රකාශ කරන්නේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සමඟ මරණ ප්‍රතිශතය තවත් වැඩිවිය හැකි බවය. රෝගීන් මැරී වැටෙන තත්ත්වය අතිශය භයානකය.

මෙය මේ රටේ ජනතාව හෝ සෞඛ්‍ය අංශ හෝ කිසිසේත් බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. රෝගීන් සංඛ්‍යාව පාලනය කර නොගෙන රෝහල් පද්ධතියට දරාගත නොහැකි තරමට වර්ධනය වුවහොත් කළ හැක්කේ කුමක්ද? විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන ආකාරයට කළ හැකි එකම දෙය බලා සිටීම පමණි. ඒ හැර වෙනත් ව්‍යසනයක් රටකට සිදුවිය හැකිද? සෞඛ්‍ය බලධාරීන් සති ගණනාවක් තිස්සේ ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ තිබෙන බව නොවේද? එසේ නම් එවැනි භයානක තත්ත්වයක් වළක්වා ගැනීමට කල් තබා පියවර නොගත් සියලු දෙනාටම එම වගකීමෙන් ගැලවී යා නොහැකි බව පැහැදිලිය. ඒ සියලුදෙනා අතරට මහජනතාවගෙන් කොටසක්ද සිටින බව කිව යුතුය.

රජයත් විපක්ෂයත් දෙකම මේ අවස්ථාවේදී කල්පනාකාරී නොවුවණොත් මේ දෙපිරිසටම මෙරට තුළ දේශපාලනය කිරීමට සිදුවනු ඇත්තේ මහජනතාවගේ මළකඳන් මතින් බව කනගාටුවෙන් වුවද පෙන්වා දීමට සිදුව තිබේ. කොවිඩ් පැතිරෙන්නේ උද්ඝෝෂණ සහ පෙළපාළි හේතුවෙන් බව ප්‍රකාශ කොට එහි වරද එහි නායකයන්ගේත් සහභාගි වන පිරිසගේත් කර මතින් යැවීම මේ බරපතළ ගැටලුවට විසඳුමක් නොවේ. රජය ඊට වඩා වගකීමකින් කටයුතු කිරීම අවශ්‍යය. කොවිඩ් රෝගයට ගොදුරු වන්නේ උද්ඝෝෂකයන් පමණක් නොවේ. මේ බරපතළ අවදානම බලපාන්නේ මුළු රටටමය. ඒ ගැන අවබෝධයෙන් ක්‍රියාකොට ජනතාවගේ ආරක්ෂාව සලසාදීම රජයේ මූලික වගකීමය. සෙසු දේශපාලන ගනුදෙනු බේරාගැනීම පසෙක දමා සියලුදෙනා විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම අවශ්‍ය බව පෙන්වාදීමට කැමැත්තෙමු.

විපක්ෂයටද උද්ඝෝෂකයන්ටද කියන්න ඇත්තේ මේ ටිකමය. කොතලාවල පනතට එරෙහිව බෝඩ් අල්ලාගෙන පාරවල් අයිනේ සිටියාට, පෙළපාළි ගියාට, ගුරු-විදුහල්පති සටනට සහාය දක්වමින් උද්ඝෝෂණය කළාට රට කොවිඩ් අවදානමෙන් මිදෙන්නේ නැත. මුලදී එන්නත්කරණයට රජය අවධානය යොමු නොකරන බවට චෝදනා කළ විපක්ෂය, ප්‍රමාද වී හෝ දැන් එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද ප්‍රශංසාවට ලක්වෙමින් සිදුකෙරෙන විට දේශපාලන කාරණා ඇදගෙන රජයට අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමෙන් පවතින තත්ත්වයට විසඳුමක් සොයාගත නොහැක. රටක විපක්ෂයද කටයුතු කළ යුතුව ඇත්තේ වගකීමක් ඇතුවය. රටපුරා භයානක වසංගත තත්ත්වයක් පවතිද්දී ජනතාව එයින් මුදාගැනීම පළමු ප්‍රමුඛතාව බව සිහි තබාගෙන කටයුතු නොකළහොත් වඩාත්ම අසරණ තත්ත්වයට පත්වනු ඇත්තේ තමන් ඉදිරියේදී ඡන්දය බලාපොරොත්තු වන මහජනතාවමය.

කොවිඩ් වෛරසය මේ රටේ පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවේම බලවත් සතුරෙකි. එම සතුරාට එරෙහි සටන දිනාගත හැකිවන්නේ එක්ව සටන් කිරීමෙන් මිස වෙන් වෙන්ව කකුලෙන් අදිමින් කරන සටන්වලින් නොවන බව රජයත් විපක්ෂයත් තේරැම්ගත යුතුය. වෛරසයේ මිතුරකු වී විපක්ෂයේ කොන්ද කැඩිය හැකි යැයි රජය සිතනවා නම් එය වස වැරැද්දකි. එසේම වෛරසය මිතුරකු කර ගනිමින් රජය දණගැස්විය හැකි යැයි විපක්ෂය සිතන්නේ නම් ඔවුන් සිදුකරන්නේ රටේ මහජනතාවට ද්‍රෝහී වීමකි. අවශ්‍යව ඇත්තේ දෙපිලට බෙදී සටන් කිරීම නොව කොවිඩ් රෝගයෙන් අසාධ්‍ය වී හුස්ම ගැනීමට නොහැකිව ඔක්සිජන් ඉල්ලා යදින රෝගීන්ගේ මිතුරකු වී ඔවුන් ගලවා ගැනීමට සහාය වීමය. රට වටේ රෝහල්වලින් හදිසි තත්ත්වයක් පිළිබඳ සිදුකෙරෙන ප්‍රකාශ එවැනි තත්ත්වයට රට තල්ලුවන බවට ප්‍රබල ඉඟියකි. වෛරසයේ සතුරකු වීමේ තීන්දුව ගැනීමට රජයත් විපක්ෂයත් තවම ප්‍රමාද නැත.