2021 ජුලි 31 වන සෙනසුරාදා

රත්වෙන අගෝස්තුව

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර “දීගය” පසු කාලෙකදී “දික්කසාදයක” තත්ත්වයට වර්ධනය වෙමින් තිබුණි. සන්ධානයක් කොතරම් බලවත් වුණත් එහි එක් දේශපාලන පක්ෂයක් හෝ කැඩී ගියොත් එය සන්ධානයේ ඉදිරි ගමනට යහපතක් වන්නේ නැත. මීට කලින් පැවැති බොහොමයක් සන්ධාන මගින් පිහිටුවනු ලැබූ ආණ්ඩු කඩා වැටීමේ මුල් පියවරක් වුණේ එහි ප්‍රධාන පක්ෂයක් කැඩී වෙන්වී යාමය. නැත්නම් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවන මතගැටුම් එළියේ පුපුරා යාමය.

ශ්‍රීලනිපය ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක් වුවත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තමන්ට ලැබුණු “කුඩම්මාගේ සැලකිලි” සම්බන්ධයෙන් හිටියේ සිත් තැවුලෙනි. ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ ගැන කිසිම දෙයක් ප්‍රසිද්ධියේ කීමට ඉඩක් තිබුණේ නැත. මේ නිසා ආණ්ඩුව ඇතුළේ ඉන්න ගමන් ආණ්ඩුව විවේචනය කරමින් තම දේශපාලනය වෙනුවෙන් බෙල්ල දීමේ “බිලී බෝයි” බවට පත්වුණේ පක්ෂයේ මහා ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරය.

ඔහු මේ ගනුදෙනුව මුලදී පොහොට්ටුවේ නායකයන්ට පණිවුඩ යවා ගොඩින් බේරාගන්න තැත් කළත් එය හරි නොයන බව තේරැම් ගත්තේය. ඉන් පසුව එළියට ඇවිත් තම පක්ෂයේ දුක් ගැනවිල්ල ජනගත කළේය. එහෙත් ආණ්ඩුව සැලුණේ නැත. නමුත් ඉන් පසුව ආණ්ඩුවේ ඇතැම් වැඩට විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වෙද්දී දයාසිරි ජයසේකරද එම රත්වූ තැටියෙන් ශ්‍රීලනිපයේ රොටිය පුච්චා ගැනීමේ කාර්යයට අත ගැසුවේය. එයට ශ්‍රීලනිපයේ සිටිමින් ආණ්ඩුවට වැඩි බරක් තබා සිටින ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින්ගේ සහාය ලැබුණේ නැත. ඔවුන් දිගින් දිගටම කිව්වේ මේ ප්‍රශ්න අභ්‍යන්තර සාකච්ඡා මගින් විසඳාගත යුතු බවය. එහෙත් එය සාකච්ඡාවලින් නොකෙරෙන බව දයාසිරි දැන සිටියේය. ඔහු තම පක්ෂයේ ගැටලු ජනතාව ඉදිරියේ තැබුවේ එමගින් හෝ ආණ්ඩුවට පීඩනයක් එල්ල කර ගැටලු විසඳාගැනීමේ බලාපොරොත්තුවෙනි. එයට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිහඬ සහාය හිමිවන බව පැහැදිලි විය. ආණ්ඩුව මේ සියලු අවස්ථා ගණන් නොගත් නමුත් අවශ්‍ය නම් තමා තනතුරු අත්හැරීමට වුවත් සූදානම් කියා දයාසිරි කියන විට එය ආණ්ඩුවට දැනුණේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා කිරීමට දිනයක් වෙන් කළේ මේ පසුබිමේය.

කලින් වෙන් කළ දිනයට පසුව යොදාගත් පසුගිය 26 වැනිදා මේ සාකච්ඡාව පැවැත්වුණි. එයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පිරිසක් සහභාගි වූහ. පැයක කාලයක් ඒ සඳහා වෙන්කර තිබුණත් පැය දෙකහමාරක් පැවැති සාකච්ඡාව අවසානයේ දයාසිරි මාධ්‍යයට කිව්වේ මෙහෙමය.

“අපි ජනාධිපතිතුමා සමඟ කළ සාකච්ඡාව සාර්ථකයි. ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතින්ගෙන් සිදුවන මදිපුංචිකම් සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමා දැනුවත් කළා. එතුමා ඒ ගැන අවධානය යොමු කරන බව ප්‍රකාශ කළා. ශ්‍රීලනිපය ආණ්ඩුකරණයට සම්බන්ධ කර ගන්නා ලෙසට අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා.”

බැලූ බැල්මට එම කතාවෙන් කියැවුණේ ආණ්ඩුව සහ ශ්‍රීලනිපය අතර මතගැටුම් මේ සමඟ ඉවර වනු ඇතැයි ශ්‍රීලනිපය බලාපොරොත්තු වන බවය. හැබැයි එදාම බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කිව්වේ මෙහෙමයි.

“ශ්‍රීලනිපයට පමණක් නොව විපක්ෂයේ පක්ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රීලනිපයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමැතිවරයෙක් ඔහුට විහිළු ඇමැතිකමක් ලැබුණු බවත් කිව්වා. මෙවැනි කිහිප දෙනෙක් ඒ පක්ෂයේ ඉන්නවා. ඒත් බහුතරය ඒ මතයේ නොවීම ගැන අපි සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරැම් ගත්තත් තේරැම් නොගත් අය විවිධ කතා කියනවා. මීට පෙර පැවැති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්ෂය ශ්‍රීලනිපය වුවත් වර්තමානයේ එසේ නොවන බව ඇතැම් මන්ත්‍රීවරුන්ට අමතක වෙලා. මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්ෂය ඔවුන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ශ්‍රීලනිපයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්ෂය තමන් වන බවට වන අතීත මානසිකත්වයේ.”

තමන් ජනාධිපති සමඟ පැවැති සාකච්ඡාව සාර්ථකයි කියූ කට වසා ගන්නටත් පෙර සාගර කාරියවසම් මෙහෙම කිව්වේ කාගේ උවමනාවටදැයි දයාසිරිලා නොදන්නවා විය නොහැක. මේ කතාවෙන් පැහැදිලි වන්නේ දයාසිරිලාගේ ප්‍රශ්නය තවමත් එතැනම බවය. එහෙත් ශ්‍රීලනිපය තුළ සිටින ඇතැම් පිරිසක් අවස්ථාවක් ලැබුණු විට පොදුජන පෙරමුණ සමඟ එකට සිටගනු ඇතැයි බලාපොරොත්තුවක්ද සාගරයේ එම කතාවේ තිබේ.

පොදුජන පෙරමුණ තුළ ශ්‍රීලනිපය සම්බන්ධ අර්බුදයක් තිබුණා නම් එය තවමත් සමතයකට පත්වී නැති බව මෙයින් පැහැදිලිය. මේ ගැටුමේ ප්‍රතිඵලය හරියටම තීරණය වනු ඇත්තේ අද හෙට නොව රට දේශපාලන වශයෙන් තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමේදීය. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවට බැට් කිරීමට සිදුවන පිච් එකේ තත්ත්වය අනුව ශ්‍රීලනිපයේ ඉදිරි ගමනද තීරණය වනු ඇති බව පැහැදිලිය.

කොවිඩ් වසංගතයද සාර්ථකව පාලනය කර ගනිමින් රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලින් යම් ප්‍රමාණයක් හෝ විසඳාගෙන ආර්ථිකය යන්තම් හෝ කෙළින් කරගත හැකි තත්ත්වයකට රට ගෙන යාමට ඉදිරි කාලය තුළදී ආණ්ඩුවට හැකි වුණොත් ශ්‍රීලනිපයට ඇති එකම විකල්පය වනු ඇත්තේ නාහෙන් අඬමින් ආණ්ඩුවේම එල්ලී සිටිමින් තමන්ට ඇති තනතුරු ටික බේරාගැනීම පමණි. එහෙම තැනකට රට ගෙන යාමට ආණ්ඩුවට හැකි වෙයිද?

එහෙම වෙන්න පුළුවන්ද කියන එක ගැන ආණ්ඩුවද දැන් දෙගිඩියාවකින් නොසිටිනවා නම් පුදුමයකි. සාමාන්‍යයෙන් මේ රටේ දේශපාලන කරළිය රත්වෙන්න පටන් ගන්නේ ජූලි මාසයේදීය. එහෙත් මේ අවුරුද්දේ ජූලි මාසයටත් වඩා අගෝස්තු මාසය රත්වෙන ලකුණු පහළ වෙමින් තිබේ. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අගෝස්තු 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතය. එය තිබෙන මට්ටමින් ඉදිරිපත් කිරීමට රජය දැඩි තීන්දුවක සිටින බව පෙනෙන්නට තිබේ. එහෙත් එසේ පනත සම්මත කර ගැනීමට විපක්ෂ කණ්ඩායම් පමණක් නොව ආණ්ඩුව ඇතුළේම සිටින ඇතැම් මැති ඇමැතින්ගේ පවා විරෝධය පළවන බව සඳහන් වෙයි. මේ නිසා එම පනත පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව සලසා දී තිබේ. ඇමැති චමල් රාජපක්ෂ මහතාට වැඩි වගකීමක් පැවරෙන එම සාකච්ඡාව ලබන 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙහිදී හැමදාමත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව දැඩි හඬක් නැගූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ඇමැතිවරුන් ගන්නා තීන්දුව කුමක් වනු ඇතිදැයි මේ පනත කෙරෙහි සංවේදීව කටයුතු කරන සියලු පාර්ශ්වවල අවධානය යොමු වී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල යනු නිදහස් අධ්‍යාපනය විකිණීමක් බවට දැඩි මතයක සිටින ඔවුන්ට කොතලාවල කෙටුම්පත පවතින ආකාරයට සම්මත කර ගැනීමට ආණ්ඩුවට සහාය ලබාදිය හැකිද යන්න තීරණාත්මක අවස්ථාවක් බව පැහැදිලිය.

කෙසේ වුවත් වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට විශාල සහායක් ලබාදුන් මෙරට රාජ්‍ය සේවයේ ප්‍රධාන කොටස්කරුවන් වන ගුරු - විදුහල්පතිවරුන් වැටුප් සටනද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොතලාවල පනතට දක්වන දැඩි විරෝධයද හමුවේ ආණ්ඩුව තමන්ගේ ඉදිරි ගමන් මාර්ගය තීන්දු කරන තැනකට තල්ලු වෙමින් සිටී. කොතලාවල විශ්වවිද්‍යාල පනත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් බැවින් ඊට සහාය දක්වනු හැර වෙනත් මගක් ගැනීමට ආණ්ඩුවට ඉඩක් නැත. ගුරු - විදුහල්පතිවරුන් කැඳවා සාකච්ඡා මට්ටමින් ගැටලුව විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැරූ උත්සාහයද සාර්ථක නොවීම මේ අර්බුදයේම තවත් කොටසක් බව පැහැදිලිය.

ශ්‍රීලනිපය මේ අවස්ථාවේදී කුමන තීන්දුවක් ගනු ඇතිද යන්න බලා සිටිය යුතුය. ආණ්ඩුව මෙවැනි අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී විපක්ෂයද සිටින්නේ අර්බුද ගණනාවකට මැදිවෙලාය. ප්‍රධාන පක්ෂය වන සජබ පසුගියදා ගෙන ආ විශ්වාසභංගය ආණ්ඩුව ශක්තිමත් කළ බවට යූ.එන්.පියද චෝදනා කළේය. ඒ අතරවාරයේ සජබට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යළිත් කැඳවා ගැනීමේ උත්සාහක යූ.එන්.පිය නිරතව සිටින අතර එය තරමක් දුරකට පළ දරා තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ සඳහා විසඳුමක් නොමැතිවීම සජබට අවාසියකි. ප්‍රාදේශීය සභා ඡන්දය නියමිත පරිදි ලබන වසර මුලදී නොපැවැත්වුණොත් සජබ මේ නිසා ලොකු ගැටලුවකට මුහුණ දෙනු ඇත.

මේ අතර යූ.එන්.පිය තම 75 වැනි සංවත්සරය ලබන සැප්තැම්බර් 06 වැනිදා සැමරීමට සූදානමින් සිටී. එහිදී නව වැඩපිළිවෙළ එළිදක්වන බවද යූ.එන්.පිය කියයි. නමුත් මෙරට අති දැවැන්ත පක්ෂයක් වූ යූ.එන්.පිය 75 වැනි සමරුවට මුහුණ දෙන්නේ එකට පාර්ලිමේන්තු අසුනක් හෝ ඡන්දයෙන් තේරී පත් නොවුණු අවස්ථාවක වීම එම පාක්ෂිකයන්ගේ බලවත් කනස්සල්ලට හේතුවන බව නම් පැහැදිලිය.

ආණ්ඩුවත් විපක්ෂයත් අර්බුදවලින් වෙලී සිටියදී රටේ මහජනතාවට කඩවෙමින් පවතින පොරොන්දු ගැන කම්පා වෙමින් සිටීමට සිදුවීම සැබෑම ඛේචවාචකයයි.

ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00