2021 ජුලි 31 වන සෙනසුරාදා

ගුරු - විදුහල්පති සටනින් බැට කන දූ දරුවෝ

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 45

ගුරු - විදුහල්පති වැටුප් සටනට ලබන සඳුදා (02) තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අදාළ ගැටලු විසඳන තුරු දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බව එම වෘත්තීය සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එය එසේ වුවහොත් කොවිඩ් වසංගතය හේතුවෙන් ගහෙන් වැටී සිටින සිසු පරපුරට ගොනා ඇනීමකට දෙවැනි නොවනු ඇත. ඉගෙන ගැනීමේ අයිතියද අහිමි වී අසරණව සිටින සිසු දරුවන් බිත්තියටම තද කරගෙන ඉල්ලීම් දිනාගැනීමේ සටනක් බවට මෙය පත්වෙමින් තිබේ.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධනය කර ගැනීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට තිබෙන අයිතියට අපි ගරු කරමු. සටන් වැදීමකින් තොරව ඉල්ලීම් දිනාගැනීම ඉතාම සුපිරි පැළැන්තියේ සේවා සහ රාජ්‍ය ආයතන කිහිපයකට පමණක් සීමා වී තිබෙන තත්ත්වයක් තුළ තමන්ගේ මාසික වැටුප් වැඩිකර ගැනීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හැර ගුරුවරුන්ට වෙනත් මගක් නැත. එහෙත් අප විරුද්ධ වන්නේ ඒ සඳහා යොදාගෙන තිබෙන කාල වකවානුව සම්බන්ධයෙනි.

දැන් පවතින්නේ ඉල්ලීම් දිනාගැනීමේ සටන් මෙහෙයවන කාලයක් නොව රටේ සියලු ජනකොටස් එකට එකතු වී කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒමට කාර්යක්ෂම වැඩපිළිවෙළක් දියත් කළ යුතු කාලසීමාවකි. ගුරු - විදුහල්පති වෘත්තීය සමිතිය වැඩි වැටුප් ඉල්ලා අවි අමෝරාගෙන සටන් වදින්නේ තම වැටුප් වැඩිකර ගැනීම සඳහා බව අපි දැන සිටිමු. ඒ අතරවාරයේ පාසල් අධ්‍යාපනය අහිමිවීම හේතුවෙන් අමාරුවේ වැටී සිටින පාසල් දරුවෝ ගස්, ගල් මත නැගගෙන, මාපියන්ගේ මදි පාඩුකම්, අගහිඟ මැද කෙසේ හෝ ලබාගන්නා ස්මාට් ෆෝන් රැගෙන විශාල දුෂ්කරතා මැද අකුරු කරති. ඔවුන්ට මේ ගුරු - විදුහල්පති වැඩවර්ජනය මහා හෙණපතයකි. බලාපොරොත්තු අහිමි කිරීමකි. පසුගිය වසර එකහමාරටම දින කිහිපයක් පමණක් පාසල් ගිය දරුවන්ගේ අනාගතයට බලපාන මහා ඛේදවාචකයකි.

තමන්ට විසඳුම් අවශ්‍ය බව කියන වැටුප් විෂමතා ගැටලුවේ ඉතිහාසය 2006 වසර දක්වාම දිව යන බවද දැනගන්නට තිබේ. එම ඉල්ලීම් දිනාගැනීමට වරින් වර සටන් මාර්ගයෙන් කළ උත්සාහයන් ව්‍යාර්ථ වූ බවද කියති. එසේ නම් මෙතෙක් බලයේ සිටි සියලුම ආණ්ඩු මෙරට ගුරුවරුන්ගේත් විදුහල්පතිවරුන්ගේත් වැටුප් විෂමතා මෙතෙක් කාලයක් විසඳා නොදීමෙන් සිදුකර ඇත්තේ බරපතළ වැරැද්දක් බව පෙන්වා දිය යුතුය. බොහොමයක් මැති ඇමැතිවරුන් තම තමන්ගේ සියලු දීමනා එම කාලය තුළදී කොතරම් වැඩි කරගෙන තිබේදැයි සොයා බැලිය හැකි නම් ගුරු ගැටලුව මෙතරම් දුරකට විසඳීමකින් තොරව පැමිණීමේ සාධාරණ, අසාධාරණ බව වටහාගත හැකිවනු ඇත.

ගුරු - විදුහල්පති සටනේ මූලික ඉල්ලීම වැටුප් විෂමතා සකස් කර දිය යුතු බවය. ඒ අතර කොතලාවල සරසවි පනත් කෙටුම්පත අහෝසි කිරීම, නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කර කොවිඩ්-19 තත්ත්වය තුළ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමද වෙනත් ඉල්ලීම් වශයෙන් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් දිනාගැනීම සඳහා දියත් කරන සටනේදී මුලින්ම පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනයට පහර වැදීම කැපී පෙනෙයි. කොවිඩ්-19 තුළ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීම සිසුන්ට කරන බලවත් අසාධාරණයක් බව බැලූ බැල්මටම පෙනේ. ඉල්ලීම් ලබාදෙන තුරු ඔන්ලයින් අධ්‍යාපනය දීමෙන් වැළකී සිටීමේ තීන්දුව “මස් රාත්තලම ඉල්ලා සිටීමක්” ලෙස ඇතැමුන් දකින්නේ මේ හේතුවෙනි.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර දෙන බවට ඡන්ද කාලයේ ලබාදෙන පොරොන්දු මේ අවුල් ජාලයට ලොකුම හේතුවය. ජනතාවගේ ඡන්දය ලබාගෙන ආණ්ඩුව පිහිටුවාගත් පසුව වැටුප් වැඩිකිරීම් පොරොන්දු පසෙකට විසි වෙයි. එසේ වන්නේ රජයේ සේවක වැටුප් වැඩි කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බැවිනි. එවිට සිදුවන්නේ වරින් වර කෑලි එල්ලමින් සිදු කරන තාවකාලික වැටුප් වැඩි කිරීම්ය. එවැනි වැඩිකිරීම් නිසැකවම දීර්ඝකාලීන වැටුප් විෂමතාවලට හේතු වෙයි. වසර ගණනාවක් තිස්සේ විෂමතා සකස් නොවෙන විට රජයේ සේවකයෝ අසහනයට පත් වෙති. එම සේවක අසහනය පුපුරා යන්නේ වැඩවර්ජන ඔස්සේය. ඒවාට විසඳුම් සෙවීම පමාවන විට ඔවුන්ගේ සේවය ලැබිය යුතු පිරිස්වලට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. ගුරු - විදුහල්පති සටනේ එම අසාධාරණයට ලක්ව සිටින්නේ ජාතියේ අනාගතය වීම ලොකුම අවාසනාවය.

ගුරු - විදුහල්පති වැටුප් සටන ආරම්භයේදී මෙය මෙතරම් දුරදිග යනු ඇතැයි ආණ්ඩුව සිතන්නට නැත. එහෙම සිතුවා නම් මේ සටන මෙහෙයවන ජෝසප් ස්ටාලින්ලා නිරෝධායන නීතිය යටතේ කුදලාගෙන ගොස් මුලතිව්වල අතහැර ඇවිළෙන ගින්නට පිදුරු දැමීමෙන් වළකිනු ඇත. මේ සටන බුර බුරා ඇවිළෙන ගින්නක් බවට පත්කර නොගැනීමේ වගකීම දෙපක්ෂයම සතු බවද පෙන්වා දිය යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00