2021 ජුලි 31 වන සෙනසුරාදා

සිනොවැක් එන්නත් මිලියන 13ක් මිලදී ගැනීමේ සූදානමක්!

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 37

ඩෙල්ටා ප්‍රභේදයට අඩුම ප්‍රතිචාරයක් දක්වන එසේම ඉහළම මිලකට අලෙවි කරන චීන “සිනොවැක්” එන්නත් මිලියන 13ක් මිලදී ගැනීමට රජය මගින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයන් විරෝධයක් දක්වන බව දැනගන්නට තිබේ. 

ජ්‍යෙෂ්ඨයන් පිරිසක් දක්වන ආකාරයට සිනොවැක් එන්නතක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 15කටය. එය ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි තරම් ඉහළ මිලකි. වෙනත් එන්නත් මිලදී ගැනීමට එතරම් මුදලක් වැය නොකෙරේ. වෛද්‍ය විශේෂඥයන් පිරිසක් පවසන්නේ සිනොවැක් අඩුම සඵලතාවක් පෙන්නුම් කරන එන්නත බවය. හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සිනොවැක් එන්නතට ලැබුණත් එය ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සඵලතාව පිළිබඳ දත්ත ඇත්තේ ඉතාම සුළු වශයෙනි.

මෙරට විශේෂඥයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් තමන්ට ඇති එකම දත්ත සටහන චිලී රටේ සිදුකෙරුණු අධ්‍යයනයක් වාර්තාවක් පමණක් බවය. එහිදී ප්‍රමාණවත් තරම් ප්‍රතිදේහ ඇති වූ බව පෙනී ගියත් ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයට එසේ වන බව සනාථ වී නැත. සායනික වශයෙන් හෝ ලෝකයේ භාවිතය තුළින් හෝ ඩෙල්ටා වට එරෙහි සිනොවැක් එන්නතේ කාර්ය සාධනය පිළිබඳ දත්ත සටහන් නැත.

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය මගින් පත්කෙරුණු කොවිඩ් 19 එන්නක් පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් අටදෙනා අතුරින් තිදෙනකු මේ වනවිට ඉල්ලා අස්වී තිබේ. සිනොවැක් එන්නත හදිසි භාවිතය සම්බන්ධයෙන් තමන් ලබාදුන් උපදෙස් ඖෂධ නියාමන අධිකාරිය මගින් නොසලකා හැරීම හේතුවෙන් මේ වෛද්‍යවරුන් තිදෙනා කමිටුවෙන් අස් වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. කමිටු සාමාජිකයන් අට දෙනාම දැනට ශ්‍රී ලංකාව තුළ සෙසු එන්නත් වල අඛණ්ඩ සැපයුමක් පවතින බැවින් සිනොවැක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවට එකඟවී ඇතැයිද සඳහන්ය. ඒ අතරින් සිව් දෙනකු සිනොවැක් එන්නත් එකක් හෝ මිලදී ගැනීම අනවශ්‍ය බව ප්‍රකාශකර ඇති අතර සෙසු සිව්දෙනා එයින් සුළු ප්‍රමාණයක් පමණක් මිලදී ගත යුතු යැයි නිර්දේශ කර තිබේ. 

කෙසේ වුවද අප දැනගන්නට ඇත්තේ මේ වනවිට සිනොවැක් එන්නත් මිලියන 13ක් මිලදී ගැනීමට කටයුතු සූදානම් කෙරෙන බවය. එම ප්‍රමාණය ඉලක්ක ගත ජනගහණයෙන් සීයට තිහේ සිට හතළිහකට ප්‍රමාණයක් බවද සඳහන්ය. &මේක මහා විශාල ප්‍රමාණයක්* යැයි එක් විශේෂඥයෙක් ප්‍රකාශකර තිබේ.

ලොවේ රටවල් 80ක් පමණ චීන සිනොවැක් එන්නත භාවිත කර තිබේ. එහෙත් එම රටවල් ගණනාවක එන්නත් දෙකම ලබාදී තිබුණත් රෝගය පැතිරයාම අඩු වී නැත. එම රටවල වැඩිපුරම පැතිර තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි. 
 

ඩේලි මිරර්

සිනොවැක් ගැනීමේ තීන්දුවක් නෑ

කෙසේ වුවද සිනොවැක් එන්නත මිලදී ගැනීමට රජය මගින් තීන්දුවක් ගෙන නැතැයි ජාතික එන්නත්කරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කරයි. 
 

ඩේලි මිරර්

කොතලාවල විශ්ව විද්‍යාලයට රාජ්‍ය බැංකු 2කින් බිලියන 36ක්!

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ප්‍රබල විරෝධතා මැද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගෙන ඒම සඳහා රජය සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන අතරවාරයේ එම විශ්ව විද්‍යාලය සඳහා රාජ්‍ය බැංකු දෙකක් මගින් රුපියල් බිලියන 36.54ක් ලබා දී තිබේ. මේ සඳහා ඇප වී සිටින්නේ භාණ්ඩාගාරයයි.

කොතලාවල පනත් කෙටුම්පතට රටපුරා විරෝධය පළ කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා (20) 1978 විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළේය. “විශේෂ අවශ්‍යතා සඳහා වන විශ්ව විද්‍යාල” විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කිරීමට හැකිවන සේ එම සංශෝධනය ඉදිරිපත් කර තිබේ. 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයකුට අනුව වත්මන් ක්‍රමවේදය යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට කළ හැක්කේ අධ්‍යයන වර්ෂයක් සඳහා අයවැය ඇස්තමේන්තුවක් ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සඳහා යොමු කිරීමට පමණි. එම අරමුදල් ලබාදීම සඳහා ඉන්පසු ප්‍රතිපාදන කොමිසම කටයුතු කරයි. 

කොතලාවල විශ්ව විද්‍යාලය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකුව පිළිවෙලින් රුපියල් බිලියන 35.07ක් සහ රුපියල් මිලියන 835ක් බැරකළ යුතු යැයි අප දුටු භාණ්ඩාගාර වාර්තාවේ සඳහන් වේ. 

සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00