2021 ජුලි 24 වන සෙනසුරාදා

මම ඇමැති නම් විරෝධතා බල්ලකුට ගණන් ගන්නේ නෑ

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 173

එස්.බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

  • ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලින් සීයට අනූ නවයක්ම බොරු
  • බැසිල් ඇමැතිතුමා මුළු රටම ගොඩ දානවා
  • වෙල්ගම මහත්තයලා බිම් මල් වගෙයිනේ
  • අළු දූවිලි වෙච්ච රටවල් ගොඩ ආවේ සල්ලි අච්චු ගහලා
  • විශ්වාසභංගය විපක්ෂයේ මෝඩ වැඩක්
  • මේ පනතෙන් කරන්නෙ විශ්වවිද්‍යාල නම භාවිතයට අවසර දීමයි
  • මහා පරාක්‍රමබාහුට පස්සේ මම තමයි හාල් අතිරික්තයක් හැදුවේ

 

ඔබ දේශපාලනයේ කතාබහට ලක්වන චරිතයක්. වැඩ වගේම කටෙනුත් හැමෝගෙම අවධානය ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි අලුත් ආණ්ඩුව එක්ක ඔබ වැඩිය සද්දයක් නෑ. එස්.බී. දිසානායක එහෙම හිටිය කෙනෙක් නෙමෙයිනේ. ආණ්ඩුව වැඩක් ගන්නෙ නැද්ද? 

නිශ්ශබ්දවත් නෑ මම. මේ වෙනකොට මම ලංකාදීප පත්තරේට කොලම් එකක් දීලා තියෙනවා. ඒ වගේම මම නෙළුම් මාවතේ පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙනවා. ඒ වගේම විශේෂ කටයුත්තක් හැටියට මට පවරලා තියෙන්නෙ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකම. ඒ නිසා ගෙදරට වෙලා ජනතාවත් එක්ක කටයුතු කරමින් ඉන්නවා. 

වැඩ කරන්න හැකියාවක් තියෙද්දි වැඩක් ගන්නෙ නෑ වගේ නේද?

මෙහෙමයි. නොයෙකුත් දේවල් හිතෙනවා ඉතින්. මම කියන්න කැමති නෑ. මම ඒවා එළියෙ කියන්න කැමති නෑ.

හිතෙන්නෙ නැද්ද වැඩක් කරන්න පුළුවන්කම තියෙද්දි නිකම් ඉන්න එක තේරුමක් නෑ කියලා?

ඔව් මම ඉතාම නිරෝගීයි. මට තවම වැඩ කරන්න පුළුවන්. මම ලැබුණු තනතුරේ වැඩ කරමින් ඉන්නවා. 

ඔබ ගොඩක් ආණ්ඩුවල ආණ්ඩුවට එල්ලවෙන චෝදනාවලට බරපතළ වාග් ප්‍රහාර එල්ල කරපු පුද්ගලයෙක්. ඒ අත්දැකීම් එක්ක වර්තමාන ආණ්ඩුවට එල්ලවෙන යම් යම් චෝදනාවලට ආණ්ඩුව පැත්තෙන් ලැබෙන පිළිතුරු හොඳයි කියලා හිතෙනවද?

ඔව්. මටත් එහෙම හිතෙනවා. හැබැයි ඒ එල්ලවෙන චෝදනාවලින් 99.9%ක්ම බොරු. 

දැන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කොතලාවල විශ්වවිද්‍යාල පනත. ඔබ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක්. ඔබට අනුව මේ පනත විශ්වවිද්‍යාල පද්ධතියට හිතකරද?

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කවදාවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට හරි උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හරි අයිතිය තිබුණු විශ්වවිද්‍යාලයක් නෙමෙයි. අපි හරිත විශ්වවිද්‍යාලය, NIBM එක, NSBM එක වගේ විශ්වවිද්‍යාල හැදුවා. ඔය එකක්වත් කොමිසමට හරි උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හරි යටත් කළේ නෑ. ඒ ආයතන ස්වාධීනව ඉතාම හොඳින් දියුණු වෙමින් යනවා මේ වෙනකොට. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඉන්නකොට උසස් අධ්‍යාපන ආයතන පහළොවකට විශ්වවිද්‍යාල උපාධි පිරිනැමීමේ අවස්ථාව ලබා දුන්නා. හැම වසරකම දරුවො විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් විශාල ප්‍රමාණයෙන් රටවල්වලට යනවා. ඒ අය කෝටි ගණනින් අපේ ඩොලර් අරන් යන්නෙ. අපි ඒක නැවැත්තුවා. දැන් බලන්න ලංකාවෙ වැඩියෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් ඉන්නෙ ඔය අපි අවසර දුන්න ආයතනවලින් මාලබේ ස්ලිට් එකට. අනෙත් ආයතනවලත් පන්දාහ දහදාහ වශයෙන් ඉන්නවා. කොතලාවල විශ්වවිද්‍යාලයෙත් පිටරට දරුවො තුන්සීයක් විතර ඉන්නවා. එතකොට ඔය නුවර මාලිගාව යටතේ තියෙන ප්‍රභා විශ්වවිද්‍යාලයේ පිටරට අය විසි ගාණක් ඉන්නවා. ඒ නිසා ඒවා හොඳට යනවා. 

හැබැයි ඔබ කොහොම කිව්වත් චෝදනාවක් තියනවා මේ පනත මගින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ බලතල හීන කරලා ආයතන කිහිපයක බලතල කොතලාවල විශ්වවිද්‍යාල මණ්ඩලයට පත් කරන්න යනවා කියලා?

ඒ චෝදනාව එල්ල කරන්නෙ නොදන්නාකම නිසා. ඔය කියන අය ඔය පනතවත් ඊට කලින් නිකුත් කරපු පනතක්වත් කියවපු නැති අය. ඒක හැමදාම තිබුණෙ ස්වාධීන විශ්වවිද්‍යාලයක් හැටියට. මේ ලංකාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආරක්ෂක විශ්වවිද්‍යාල තියෙනවා. අමෙරිකාවේ ගුවන් හමුදාවට අයිති විශ්වවිද්‍යාලය තමයි ලෝකෙ හොඳම ගුවන් අභ්‍යාස ආයතනය හැටියට තියෙන්නෙ. ප්‍රධාන රටවල් ගොඩකට ආරක්ෂක විශ්වවිද්‍යාල දෙක තුන තියෙනවා. ඒ නිසා ඔය කරන චෝදනාවල කිසිම හරයක් අර්ථයක් පදනමක් නෑ.  

හරි. ඔය පනත ගෙනාපු හරිම හේතුව මොකක්ද?

ඒක කරුණු දෙකක් වෙනුවෙන්. එකක් තමයි 1978 විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනත අනුව ඒ කොමිසම යටතට පත් නොවන කිසිම ආයතනයකට විශ්වවිද්‍යාලය කියන නම භාවිත කරන්න බෑ. හරියට බැලුවොත් එහෙම බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඒ නම යොදන්න බෑ. නමුත් පනත්වලින් ඒ සඳහා අවසර දුන්නා. මේ පනතෙන් කරන්නෙත් විශ්වවිද්‍යාල කියන නම භාවිත කරන්න අවසර දෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයක තිබිය යුතු මහාධිකාරී මණ්ඩල, සෙනෙට් සභා, පීඨ, කවුන්සිල් හරියට පනතකින් පිහිටුවලා නෑ. අන්න ඒ ටික පිහිටුවන එක තමයි අනෙක් අරමුණ. ඒ ඇරෙන්න මේ පනතින් කරන වෙන කිසිම දෙයක් නෑ. 

ඔබ නිකමට උසස් අධ්‍යාපන ඇමැති හැටියට හිටියා නම් මොකද කරන්නෙ?

මම විරෝධතා බල්ලකුට ගණන් ගන්නෙ නෑ එහෙනම්. අනිත් එක ගණන් ගන්න දේකුත් නෑ. ඒක විකාර අවබෝධයක් නැති අනවබෝධය නිසා ගෙන යන විරෝධයක්. 

ගින්නක් නැතිව දුමක් යන්නෙ නෑනෙ ඇමැතිතුමා?

අනේ ගින්නකුත් නෑ දුමකුත් නෑ. අඩුම ගාණෙ මොකක්වත් නෑ. 

අනෙක් කාරණය තමයි ආණ්ඩුව මේ රසායනික පොහොරවලින් කාබනික පොහොර වෙත හදිසියේ මාරුවීම. මේ නිසා ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. ඔබ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙක්. ආණ්ඩුව මේ ගත්ත තීරණය නිසා ලොකු අමාරුවක වැටීමක් නේද වුණේ?

මෙතන කෙටිකාලීන අවාසියක් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලයි ඉන්නෙ. මතක තියාගන්න අපි වගේ දූපතකට තමයි කාබනික පොහොර 100%ක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පකිස්ථානය වගේ රටවල්වලට කරන්න බැරි හේතුව තමයි ඒ රටවල්වල ජලය ගලාගෙන එන්නෙ විවිධ රටවල් හරහා. ඒ නිසා ගොඩක් රටවල්වලට ඒක ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි ලංකාව වගේ රටක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉතාම කෙටි කාලයක් තුළ අවශ්‍ය වාසිය ලබාගන්නත් පුළුවන්. 

හැබැයි දැන් බොහෝ අය කියන්නෙ තව කන්න දෙකකින් පස්සෙ වී හිඟයක් ඇතිවෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

මතක තියාගන්න උතුරු නැගෙනහිර හාල් නිෂ්පාදනය නැතුව තියෙද්දි උතුරු නැගෙනහිරට එක යූරියා බින්දුවක් යවාගන්න බැරුව තියෙද්දි මහා පරාක්‍රමබාහුට පස්සෙ මම තමයි රටේ හාල් අතිරික්තයක් නිෂ්පාදනය කළේ. ඒ 2003. හැබැයි ඊට පස්සෙ අනුර කුමාර කෘෂිකර්ම ඇමැති වෙලා ඒක විනාශ කරලා දැම්මා. අස්වැන්න යම් පහළ වැටීමක් වෙයි. නමුත් දැන් හැමෝම ගොවිතැන් කරනවා. හැබැයි මතක තියාගන්න මේ තීන්දුව සාමාන්‍ය දේශපාලනඥයකුට ගන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි. ඒ නිසා අපි එතුමාව රකින්න ඕනෙ. 

දැන් ඔය ප්‍රශ්නෙ. තව පැත්තකින් ආනයනය සීමා කරලා. එහෙන් ඩොලර් හිඟය. මේවත් එක්ක කොහොමද ඉස්සරහට ආර්ථිකයක් ගෙනියන්නෙ?

මේක මේ අපිට පොදු කාරණයක් නෙමෙයිනෙ. මුළු ලෝකෙම මේ තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නෙ වසංගතයත් එක්ක. මුළු ලෝකෙම කඩා වැටෙනවා. මතක තියාගන්න ලංකාව කඩා වැටුණෙ 3.8%කින්. හැබැයි ඉන්දියාව කඩා වැටුණා 12%කින්. අමෙරිකාව කඩා වැටුණා 9.7%කින්. බ්‍රිතාන්‍ය කඩා වැටුණා 22%කින්. අපි කඩා වැටුණෙ 3.8%කින්. අපිට වඩා බරපතළ ප්‍රශ්න තියෙනවා මුළු ලෝකෙටම. 

ඒ කියන්නෙ අපේ රට ආර්ථිකයෙන් දියුණුයි කියලද කියන්නෙ?

නෑ නෑ. මම පිළිගන්නවා අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා කියලා. ආදායමේ හිඟයකුත් තියෙනවා. මේවා පොදු කාරණා. හැබැයි ලෝකෙ අනෙකුත් රටවල් එක්ක ගනිද්දි අපි ඉදිරියෙන් ඉන්නෙ. 

ඒකට උත්තරේ හොයන්නද ඔබලා බිලියන ගණන් මුදල් අච්චු ගහන්නෙ?

මුදල් අච්චු ගහන එක හැම රජයක්ම කරනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන වාරයක් පාසා මුදල් මුද්‍රණය කරනවා. ඒක මිනිස්සු දන්නෙ නැති කාරණයක්. ඒක මහා කාරණයක් නෙමෙයි. ට්‍රෙෂරි බිල් නිකුත් කරනවා කියන්නෙ මුදල් අච්චු ගහනවා කියන එක තමයි. දන්නෙ නැති අයට ඉතින් මට කරන්න දෙයක් නෑ. 

හැබැයි ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගහලා තියෙන්නෙ මේ වසරෙයි කියලයි කියන්නෙ?

දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ජර්මනිය අළු දූවිලි බවට පත්වුණා. නමුත් ජර්මනියට උපදෙස් දුන්නෙ සල්ලි අච්චු ගහන්න. ෆ්‍රෑන්ක් එකේ වටිනාකම නැත්තටම නැතිවුණා. ඒත් උපදෙස් දුන්නෙ මිනිසුන්ගෙ අතට සල්ලි දෙන්න ඕනෙ නිසා මුදල් අච්චු ගහන්න කියලා. ඒ හා සමානව මිනිසුන්ගෙ මිලදී ගැනීමේ ශක්තිය වැඩි කරන්න කිව්වා. වැඩක් නැත්නම් එක කොටසකට වළවල් කපන්න කිව්වා. අනිත් කොටසට කපාපු වළවල් වහන්න කිව්වා. එහෙමයි ජර්මනිය අවුරුදු පහකින් දියුණු වුණේ. ඒ නිසා ජර්මනිය ගොඩ ආවා අවුරුදු පහකින්. ඔය වගේ තමයි ජපානයත්. ජපානය අළු දූවිලි වෙලා තිබුණෙ. යෙන් එක බින්දුවට වැටිලා තිබුණා. හැබැයි මුදල් අච්චු ගැහුවා. එහෙමයි රටවල් දියුණු වුණේ. එහෙමයි ආර්ථිකය දියුණු කළේ ඒ රටවල්. මේ හැමදේකටම හේතුව තමයි මේ වසංගතය. දැන් අපිට මොනවද තියෙන ආදායම. කිසි දෙයක් නෑ. මේ තරමින් හරි ආණ්ඩුව අල්ලගෙන යන එක ලොකු දෙයක්. 

මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්න ඔබලගේ යෝජනාව වුණේ එකම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා. සියලු බාධා මැද එතුමා පාර්ලිමේන්තුවට ආවා. ඔබත් ඔහු පාර්ලිමේන්තුවට එනකම් බලාගෙන හිටියෙ?

ඉතින් එතුමාට අයිතියක් තියෙනවනෙ පාර්ලිමේන්තුවට එන්න. එතුමනෙ මේ පක්ෂය හැදුවෙ. අද ආණ්ඩුවක් තියෙන්නෙ එතුමා නිසානෙ. ශ්‍රීලනිපයෙන් කඩාගෙන ඇවිල්ලා ඉතා කෙටි කාලයක් තුළ මහා පෙරළියක් කරපු පක්ෂයක් හැදුවෙ එතුමා. ඉතින් එතුමා පාර්ලිමේන්තු එන එක සාධාරණ නැද්ද? 

දැන් ඔබලා හිතනවද මේ ආර්ථික යුද්ධය ජය ගන්න පුළුවන් එකම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා?

මම එකම පුද්ගලයයි කියන්නෙ නෑ. හැබැයි එතුමා මොන දේ බාරගත්තත් සැලැස්මකට අනුව කරනවා. මුදල් ඇමැති වෙලා දිස්ත්‍රික් නායකයන්ගෙ රුස්වීමක් තිබුණා. මම එතනදි දැක්කා එතුමාගෙ දැනුම. එතුමා මේ රටේ සියලු ආර්ථික ගැටලු අකුරක් නෑර අධ්‍යයනය කරලා තියෙනවා. ඒක කතා කරද්දි තේරෙනවා. ඒක හොඳ ආරම්භයක්. එතුමා මුළු රටම ගොඩ දානවා. ඔය පී.බී. ජයසුන්දර වගේ අය මීට වඩා ප්‍රශ්නවලදි ගොඩ අරන් තියෙනවා. 

පසුගිය දවසක ආණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ගෙනල්ලා ආණ්ඩුව ඒක පරාජය කළා. මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් හැටියට තමයි සමරන්නෙ?

ඇත්තටම මෝඩ වැඩක්නෙ විපක්ෂය කළේ. ඒකෙන් කළේ විපක්ෂය ආණ්ඩුවට අලුත් ජීවයක් දුන්නා. සාගර කාරියවසම් ගම්මන්පිලට විරුද්ධව කතා කළාට විශ්වාසභංගයක් ආපුවාම ඒකට විරුද්ධව ඡන්දෙ දෙයි කියලා හිතපු විපක්ෂයක්නෙ ඉන්නෙ. 

ඒ කියන්නෙ සාගර කාරියවසම්ගෙ ප්‍රකාශය අහලා විපක්ෂය ලණුවක් කෑවා කියලද කියන්නෙ?

ලණුවක් කෑවා නෙමෙයි. මෝඩකම ප්‍රදර්ශනය කළා විපක්ෂය. ඒගොල්ලො බැලුවෙ ආණ්ඩුව ඇතුළෙ මේකෙ ගැටුමක් හදන්න. නමුත් මේකෙන් වුණේ ආණ්ඩුව එකතු කළා. විපක්ෂයේ අවබෝධය අඩුයි. රනිල් හිටියා නම් ඕක කරන්නෙ නෑ. මේවාට මිනිස්සු දොස් කියනවා. 

දැන් මේ ප්‍රශ්න මැද්දෙ ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙත් ඇවිල්ලා. අඩුම ගාණෙ ඒ ප්‍රශ්නයවත් විසඳන්න මැදිහත් වෙන්නෙ නෑනෙ?

ඔය කරන වැඩේ හොඳද මට කියන්න ඉස්සෙල්ලා. රටට ආදායමක් නෑ. ආර්ථිකය ඉතාම අමාරුවෙන් යන්නෙ. එතකොට ඔය කරන වැඩේ හොඳද? අඩුම ගාණෙ ඔබතුමාවත් කියන්න මේ කරන වැඩේ ශීලාචාරද? ඕන කෙනෙක්ට තේරෙනවනෙ මේ වෙලාවෙ කරන වැඩේ වැරදියි කියලා. 

හැබැයි මෙතන තියෙන්නෙ වැටුප් විෂමතාවෙ ගැටලුවක්නෙ. ඒවා සාධාරණයිනෙ?

අපි දන්නවා ඒවා සාධාරණයි. නමුත් මේ වෙලාවෙ ඒ දේ ඉල්ලන එක නෙමෙයි කෙරෙන්න ඕනෙ. එකතුවෙලා මේ රට ගොඩනගන්න වැඩක් කරන එක. අපි කියන මේ ගුරුවරු දෙවිවරුනෙ. මේවා සාධාරණ නෑනෙ. 

ශ්‍රීලනිපයේ මහලේකම්වරයා පසුගිය දවසක ආණ්ඩුව විවේචනයට ලක් කළා. ඔහුට ලැබුණු අමාත්‍යංශය පවා. ඔබ ශ්‍රීලනිපයේ හිටිය ජ්‍යෙෂ්ඨයෙක්. මේක ආණ්ඩුවට රතු එළියක් නෙමෙයිද?

ඕවා නිකම් කතා විතරයි. ඕවා වැඩ නෙමෙයි.

ඒ කියන්නෙ ඒවා නිකම්ම නිකම් කතා විතරද?

ඔව්. ඒවා කතා විතරයි. එච්චරයි.

ඒ වගේම මේ වෙනකොට කුමාර වෙල්ගම මහත්තයා අපි ශ්‍රී ලංකා කියලා ශ්‍රීලනිපය ගොඩනගමින් යනවා. පරණ කට්ටිය එකතුවෙයිද?

අපෝ ඔය වගේ අය ඉතිහාසයෙත් හිටියා. ඕවා බිම් මල් වගේනෙ. 

 ගයාන් ගාල්ලගේ 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00