2021 ජුලි 17 වන සෙනසුරාදා

රාජපක්ෂ තුරුම්පුව

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 171

බැසිල් මුදල් ඇමැති හැටියට දිව්රුම් දෙන විට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් සහ බැසිල්ට ප්‍රසිද්ධියේ සහාය පළ කරන ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු විසින් රට පුරා පාට පාට චිත්‍රයක් මවා පා තිබුණි. එම චිත්‍රයට අනුව මෙතෙක් රට වැටී තිබූ අඳුරු ආර්ථිකයෙන් රට ගොඩනැගීමට හෙතෙම පැමිණ සිටියි. ඔහු දවසින් දෙකෙන් නැතිවුණත් ටික දවසකින් හෝ විශ්ව කර්ම වැඩ ටිකක් කර ආර්ථිකය ගොඩදාන වැඩපිළිවෙළක් හදනු ඇත. එසේ කරන අතරවාරයේ තෙල් මිලද බඩු මිලද අඩු කරනු ඇත.
රටේ ජනතාවට දැනෙන ආර්ථික ගැටලුව නම් අසීමිතව වැඩි වී තිබෙන බඩු මිලය. ඒ මතට තෙල් මිලද වැඩි වූ විට ජනතාවගේ රතු කට්ට පනින්න ආසන්න විය. කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වී, රැකියා ද අහිමි වී සිටි ජනතාවට තෙල් මිල වැඩි කිරීම දරාගත නොහැකි විය. රතු කට්ට පැනීම තරමක් දුරකට ආණ්ඩුව වළක්වා ගත්තේ බැසිල්ගේ සම්ප්‍රාප්තිය ඉස්සරහට දමාගෙනය. ඒ සඳහා පසුපෙළ මන්ත්‍රීන් පිරිසකගේ සහායද ලැබුණි. එහි ප්‍රතිඵලය ඇමැති ගම්මන්පිලට ''බෙල්ල දීමට'' සිදුවීමය. ඒ නිසා විශ්වාසභංගයකට මුහුණදීමටද ආණ්ඩුවට සිදු වී තිබේ. ආර්ථිකය කෙසේ වෙතත් දේශපාලන සටකපටකම් සහ උපාය මාර්ග පිළිබඳ විශේෂඥ දැනුමැති පිරිසක් ආණ්ඩුවේ සිටින බැවින් විශ්වාසභංගයෙන් ආණ්ඩුව පහසුවෙන් ගොඩ යනු ඇත. එහෙත් ආණ්ඩුව ඇතුළේ පවතින අර්බුදය මේ හේතුවෙන් ඉවර වන්නේ නැත.

විශ්වාසභංගයට මුහුණදීමට ආණ්ඩුව සැලැස්මක් දියත් කරන බව රහසක් නොවේ. එම සැලැස්මේ ප්‍රතිඵලය විය යුත්තේ තුනෙන් දෙකක ඡන්දයෙන් විපක්ෂයේ විශ්වාසභංගය පරාජය කිරීම මිස වෙන කිසිවක් නොවේ. එහිදී ගම්මන්පිලගේ, විමල් වීරවංශගේ ගැටලු අදාළ වන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩු කවදත් මේ වැනි පාර්ලිමේන්තුව ඇතුළේ ගහන ගේම්වලින් වැඩ වරද්දාගෙන නැත.

ආණ්ඩුවේ මේ කෙරුවාව ගැන විපක්ෂය නොදන්නවා විය නොහැක. මේ නිසා විශ්වාසභංගයෙන් ජය ගැනීමේ අදහසක් විපක්ෂය තුළ තිබෙනවා යැයි සිතිය යුතු නැත. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ගම්මන්පිල ඇමැතිට අස්වෙන්නැයි කියූ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ පටන් සෙසු විවේචකයන්ගේ වැඩ බලාගැනීමය. එය සැබෑ ලෙසම පක්ෂය තුළ බෙදීමක් නම් විශ්වාසභංගයේදී ඡන්දය භාවිත වන ආකාරය වෙනස් විය යුතුය. ඒක එහෙම වෙයිද?

දැනට නම් පෙනෙන විදියට එහෙම වෙන්න ඉඩක් නැත. එදා ගම්මන්පිල ඇමැතිවරයාට අස්වෙන්නැයි තර්ජනය කළ මන්ත්‍රීවරු අද කියන්නේ වෙනම කතාවකි. විශ්වාසභංගයකින් විපක්ෂයට ලකුණු දමාගැනීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බව ඔවුන් කියන්නේ දැඩි විශ්වාසයකිනි. ගම්මන්පිල මහතාට එරෙහිව පවතින තමන්ගේ මතයේ වෙනසක් නැති වුවද ආණ්ඩුවක් වශයෙන් තමන් ක්‍රියා කරන්නේ පක්ෂයේ තීන්දුව අනුව බව ඔවුහු පැහැදිලිව කියති. එසේ නම් විපක්ෂය විශ්වාසභංගය ගෙනෙන අවස්ථාවේ කිසියම් මතවාදී ගැටුමක සිටියා නම් එය මේ වන විට සමතයකට පත්ව තිබේ. නැතහොත් ආණ්ඩුව මෙහෙයවන රාජපක්ෂවරුන්ගේ මතයට පිටින් යාමට තරම් ඔවුන්ට හැකියාවක් නැත. වඩාත් පැහැදිලි තත්ත්වය නම් විශ්වාසභංගයේදී තමන්ගේ හෘද සාක්ෂිය පැත්තක තබා ආණ්ඩුව ගන්නා තීන්දුවට අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට සිදුවීමය.

බලයේ සිටින ආණ්ඩුවක ඇමැතිවරයකුට එරෙහි විශ්වාසභංගයකින් විපක්ෂයට ජය ගන්න බැරිය. ආණ්ඩුව ආරක්ෂා කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේ ගැලවීම වන බැවිනි. පවතින ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් අතැතිව සිටී. විපක්ෂයට තිබෙන ආසන සංඛ්‍යාව සියල්ල එකතු කළත් තුනෙන් එකකි. එහෙත් මෙවැනි අවස්ථාවකදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කරන්නේද නැත. ඔවුන් අතරේද විවිධ මතභේද පවතින බැවිනි. වත්මන් ආණ්ඩුවේ ධූරාවලියේ 1-2-3 ස්ථාන තුනම රාජපක්ෂ සහෝදරවරුන් අත පැවතියත් එයට එරෙහිව යාමට ආණ්ඩු පක්ෂයේ කිසිවකුත් මේ අවස්ථාවේදී එකඟ නොවනු ඇත. විපක්ෂ යෝජනාව මෙහිදී පරාජය වීම නියතයකි.

විපක්ෂය කොයි තරම් බලා සිටියත් ශ්‍රීලනිපය මෙම විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින්නේ නැත. එසේ කිරීම ආණ්ඩුවත් සමඟ හැප්පීමකි. එයින් අමාරුවේ වැටෙන්නේ ශ්‍රීලනිප නායකයාද ඇතුළුව සියලු මැති ඇමැතිවරුන්ය. අනෙක් අතට පක්ෂය එවැනි තීන්දුවක් ගත්තත් එයට විරුද්ධව ගොස් ආණ්ඩුව සමඟ එකට ඡන්දය භාවිත කිරීමට සූදානම් පිරිසක්ද ශ්‍රීලනිපයේ සිටියි. මේ නිසා පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ගියත් වෙනත් කිසිම මන්ත්‍රීවරයකු මේ අවස්ථාවේ ආණ්ඩුවට එරෙහි වීමට යන්නේ නැත.

මෙහිදී ශ්‍රීලනිපය ජනාධිපතිවරයා සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාව කෙරෙහි මහත් බලාපොරොත්තුවක් තබාගෙන සිටින බව පැහැදිලිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබීමටත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමටත් තමන් දැක්වූ දායකත්වය ගැන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සිටින්නේ ඉහළ තක්සේරුවකය. එය ඒ ආකාරයටම ජනාධිපතිවරයා පිළිගනියිද යන්න නම් කියන්න බැරිය. එහෙත් පසුගිය දිනවල පැවැති කතාබස්වලදී පැහැදිලි වූයේ පොහොට්ටුවේ නායකයන් වැඩි පිරිසක් ශ්‍රීලනිපය ආණ්ඩුවේම රැඳී සිටිනු දැකීමට කැමැති බවය.

කෙසේ වුවද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමත් සමඟ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ 28 දෙනාගෙන් පස් දෙනෙක්ම රාජපක්ෂවරු බවට පත්ව සිටිති. ඉදිරියේදී තවත් අමාත්‍යවරුන් දෙදෙනකු දිව්රුම් දීමට නියමිත බවද කියන අතර ඔවුන් රාජපක්ෂලා නොවුණත් කැබිනට් මණ්ඩලයෙන් හයෙන් එකක්ම රාජපක්ෂලාය. ඇතැම් දේශපාලන විචාරකයන් පසුගිය දිනවලදී පෙන්වා දී තිබුණේ ලොවේ කිසිම රටක එකම ඇමැති මණ්ඩලයක එකම පවුලක පස් දෙනකු ක්‍රියා නොකරන බවය. මේ පස් දෙනාගෙන් සිව් දෙනකුම මහජන ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබූ අය වීමද විශේෂයකි. බැසිල් රාජපක්ෂ පමණක් මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියත් ඔහු 2010 වසරේ මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ අවස්ථාවේ විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරීපත් වූවේය.

එය කෙසේ වුවද වඩාත්ම සැලකිල්ලට ගත යුත්තේ ආණ්ඩුව එසේ වන විට රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී තිබේද යන්නය. එයට ඇත්තේ එකම පිළිතුරකි. ඒ ප්‍රශ්නවලට විසඳුම් නැත. අද ජනතාව සිටින්නේ බරපතළ පීඩනයක් යටතේය. එයට එක් ප්‍රධාන හේතුවක් කොවිඩ් වසංගතය බව සැබෑය. එහෙත් රටම පෙළන දැඩි ආර්ථික අහේනියට එකම හේතුව එය නොවේ.

එයට හේතු සෙවීම සංකීර්ණ කටයුත්තකි. නමුත් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගනු ලැබූ ඇතැම් ආර්ථික තීන්දුද වත්මන් තත්ත්වයට හේතු වී තිබෙන බවට නැගෙන චෝදනාවලට ආණ්ඩුවට ඍජු පිළිතුරක් නැත. බොහොමයක් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විදේශ විනිමය උපයා ගැනීම සඳහා භාවිත කළ හැකි ''ටූල්ස්'' පැත්තකට දමා ඇති බවය. හරි ''ටූල්ස්'' භාවිත කළා නම් මුදල් ඇමැතිවරයා වශයෙන් තවත් රාජපක්ෂවරයකු පත්වීමට ඉඩක් නොමැති බව ඔවුන්ගේ තර්කයයි. නමුත් තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රාජපක්ෂවරයකු මාරු කිරීම තුළින් පමණක් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට නොහැකි බවය. මේ අය පෙන්වා දෙන එක් උදාහරණයක් වන්නේ රටේ අපනයන වෙළෙඳාමෙන් උපයාගත හැකි 20%කට වඩා ප්‍රමාණයකට වගකියන යුරෝපා සහ බටහිර වෙළෙඳපොළ රැකගැනීමට ආණ්ඩුව ප්‍රමාණවත් උත්සාහයක් නොදරන බවය. පටු දේශපාලන ප්‍රතිපත්ති රැකගැනීම වෙනුවෙන් ඩොලර් උපයන මාර්ග බිල්ලට දීමට ආණ්ඩුව තවදුරටත් කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵල භයානක විය හැකි බවට කතා දෙකක් නැත. එයින් දුක් විඳීමට සිදුවන්නේ ආණ්ඩුවේ බලධාරීන්ට නොව රටේ පොදු මහජනතාවට වීම ලොකුම ඛේදවාචකයයි.

බැසිල් රාජපක්ෂ සෙසු රාජපක්ෂවරුන්ට වඩා ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේ සමත්කම් දක්වන බව තවත් සමහරු පෙන්වා දෙති. ඔහු රාජකාරි භාරගැනීමෙන් පසුව ලොවේ බලවත් රටවල් හතක තානාපතිවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් එය පැහැදිලි වන බව ඔවුන්ගේ මතයයි. එම සාකච්ඡාවලදී පළවූ අදහස් පිළිබඳ ලොකු විස්තරයක් නැත. තානාපතිවරුන් ප්‍රකාශ කර තිබුණේ තමන් වත්මන් රජයේ කටයුතුවලට ඉදිරියේදීත් සහාය දක්වන බවය. එම සාකච්ඡා පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් නිකුත් නොවීමද විශේෂයකි.

මොන අතින් බැලුවත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ වගකීම භාරගත්තේ ඉතාම අසීරු අවස්ථාවක බව පැහැදිලිය. ආර්ථික වශයෙන් මෙතරම් අසීරු කාලයක් නිදහසින් පසුව උදා වී නොතිබුණි. යුද්ධය පැවැති කාලයේත් රටේ ආර්ථික වර්ධන වේගය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාමට ඒ යුගවල සිටි ආණ්ඩුවලට හැකි විය. නමුත් දැන් රට ඇත්තේ ආර්ථික සහ දේශපාලන වශයෙන් අවුල් ජාලයකය. කොවිඩ් වසංගතය එම අවුලට එක් හේතුවක් පමණි. අනෙක් හේතු හරිහැටි හඳුනාගෙන පිළියම් යෙදීම අලුත් මුදල් ඇමැතිගේ ලොකුම වගකීමය.

ආණ්ඩුවට කටයුතු කිරීමට සිදුව ඇත්තේ විපක්ෂයද තදින්ම පීඩනයක් එල්ල කරන අවස්ථාවකය. විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී ගොඩදා ගැනීම පහසු නමුත් එළියේ ප්‍රශ්නවලට පහසු විසඳුම් නැත. සමහර ප්‍රශ්න ඇතිවුණේ ආණ්ඩුව ඇතුළේම මැති ඇමැතිවරුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙනි. උද්ඝෝෂණ මැඩපැවැත්වීමට නිරෝධායන නීතිය උපයෝගී කර ගැනීම එක් උදාහරණයකි.

බැසිල්ගේ පත්වීමට සති කිහිපයකට කලින් සිටම සමාජ ජාල තුළ එක් විහිළු කතාවක් සංසරණය විය. ''රටේ ප්‍රශ්න විසඳිය නොහැක්කේ තමන්ට ප්‍රමාණවත් බලයක් නැති නිසා යැයි ආණ්ඩුව මුලින් කිව්වේය. ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දී 20 වැනි සංශෝධනය සම්මත කර සහාය දුන්හ. දැන් රජයේ අලුත්ම සමාවට කරුණ වැඩ කරගන්න ප්‍රමාණවත් තරම් රාජපක්ෂවරුන් සංඛ්‍යාවක් ආණ්ඩුවේ නොමැති බව කීමය.''

එය එසේ නොවන බව ඔප්පු කර පෙන්වීම අලුත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ අභියෝගයයි.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00