2021 ජුලි 17 වන සෙනසුරාදා

’’පූර්ණකාලීන මුදල් ඇමැතිවරයෙක් පත් කිරීම සතුටක්’’

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 40


ශ්‍රී ලංකාව පසුගිය වසර 30ක කාලය තුළදී පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකු පත්කර ඇත්තේ වසර 07ක කාලයක් සඳහා පමණක් බව බැසිල් රාජපක්ෂ මහතා පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකු වශයෙන් පත්කරනු ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් කොළඹ විද්වතුන්ගේ සංවිධානයක් වන ''ඇඩ්වොකාටා'' මගින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි. ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික කළමනාකාරීත්ව ගැටලු නිරාකරණය සඳහා එසේ ස්වාධීන මුදල් අමාත්‍යවරයකු පත් කිරීම හොඳ විසඳුමක් විය හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

පසුගිය දශක තුන තුළදී වසර 23ක කාලයක් මුදල් අමාත්‍ය පදවිය දරණ ලද්දේ ආණ්ඩුවේ ප්‍රධානියා විසිනි. ''ඇඩ්වොකාටා'' සංවිධානය පෙන්වා දෙන්නේ එය ''බරපතළ වැරැද්දක්'' බවය. ආර්ථික ප්‍රගතියේදී එම ධුර දෙකම එකසේ වැදගත්කමක් ඉසිලීම එයට හේතු වී තිබේ.

''රජයක ප්‍රධානියාට පැවරෙන පුළුල් රාජකාරි භූමිකාව තුළ ඵලදායි මුදල් ඇමැතිවරයකු වශයෙන් කටයුතු කිරීම එකම පුද්ගලයකුට කළ නොහැකි තරම්ය. රටේ ප්‍රධානියා වශයෙන් රාජ්‍ය පාලනයට ප්‍රමුඛත්වය ලැබෙන බැවිනි. ඵලදායී මුදල් අමාත්‍යවරයෙක් බාහිරින් එල්ලවෙන දේශපාලන බලපෑම් ප්‍රතික්ෂේප කරමින් මූල්‍යමය විනයක් පවත්වාගෙන යා යුතු වෙයි. පක්ෂ සන්ධානයකින් සැදුම්ලත් ආණ්ඩුවක ප්‍රධානියකුට මේ අවශ්‍යතා එකවර ඉටුකිරීමට හැකියාවක් නැත.'' යැයිද එම සංවිධානය කියයි.

විෂයට කැපවූ මුදල් අමාත්‍යවරයකු නොසිටීම රට තුළින් ආදායම් එකතු කිරීම දුර්වල කර ඇති බවට තහවුරු කළ හැකි සාක්ෂි තිබෙන බවද ඔවුහු කියති. නිදහසින් පසු 1990 කාලය පමණ දක්වා ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් පමණ වූ අතර පසුගිය වසර 10 තුළදී එය 11.4% දක්වා පහත බැස තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

- ඩේලි මිරර්

ආර්ථික විද්‍යාඥයන්ගේ උකුසු ඇස!

රටේ ආර්ථික දත්ත පිළිබඳව තුන් මාසයකට වරක් වාර්තාවක් නිකුත් කිරීම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රාජකාරියකි. එහෙත් වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ පටන් එම දත්ත තොරතුරු නිකුත් කිරීම ප්‍රමාද වෙමින් පවතී. එයට හේතු කුමක්දැයි දන්නේ එම දෙපාර්තමේන්තු නිලධාරීන්ම පමණි.

රටේ ආර්ථිකයේ බැරූරැම් තත්ත්වය පිළිබඳ වාර්තා නිකුත් කිරීමේදී එම දත්ත වෙනස් කරන බවට පසුගිය කාලයේදී ප්‍රබල විවේචනයක්ද තිබිණි.

2021 වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය පිළිබඳ දත්ත වාර්තා නිකුත් වනතුරැ ආර්ථික විද්‍යාඥයන් සහ විශ්ලේෂකයන් මහත් කැමැත්තෙන් මේ දිනවල බලාගෙන සිටිති. එම වාර්තාව නිකුත් වීමට නියමිතව තිබුණේ ජූනි 15 වැනිදාය.

- සන්ඩේ ටයිම්ස්

බැසිල්ට පුළුල් බලතල

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ ජනාධිපති හැරුණු විට වඩාත්ම වැදගත් පුද්ගලයා බවට බැසිල් රෝහණ රාජපක්ෂ (69) මහතා එකරැයින් පත්විය. මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් 08 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා බැසිල්ගේ නිල තනතුර වශයෙන් දැක්වුණේ ආර්ථික පුනර්ජීවනය සඳහා වන විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වශයෙනි. දේශපාලන වශයෙන් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක විය. බැසිල් බොහෝවිට රාජකාරි ඉටුකළේ බත්තරමුල්ල කාර්යාලයේ සිටිමිනි.

බැසිල් මෙවර පාර්ලිමේන්තුවට පැමිණියේ 03 වැනි වරටය. ඒ මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය ආයතන සහ සංස්ථා 27ක ප්‍රධානියා වෙමිනි.

කෙසේ වුවද රටේ බොහෝ දෙනකු නොදැන සිටි කාරණය වූයේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමත් සමඟ පූර්ණ කැබිනට් මණ්ඩල ප්‍රතිසංවිධානයක් සිදුකිරීමට නියමිත වූ බවය. එම කාර්යය සතියකට හෝ දෙකකට කල් දැමීමට තීන්දු වූයේ අමාත්‍ය උදය ගම්මන්පිලගේ විශ්වාසභංග යෝජනාව හේතුවෙනි. අඩුම තරමින් ඇමැතිවරැන් දෙදෙනකුගේ ධුර වෙනස් වීමට ඉඩක් තිබේ.

කෙසේ වුවද පසුගිය කාලය තුළදී ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විවිධ අමාත්‍යවරැන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධනය පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඇත. මෙහිදී මිලදී ගැනීම් සිදුකර ඇති ආකාරය කෙරෙහිද දැඩි අවධානයක් යොමුකර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා නව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍යමය වැරදි නිවැරදි කිරීමට පමණක් නොවන බව පැහැදිලිය.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00