2021 ජුලි 17 වන සෙනසුරාදා

ආණ්ඩුව ඩොලර් වෙනුවට ගොවියෝ බිල්ලට දීලා

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 23

- සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

  • මහින්දානන්දලා ජය සමරද්දී ඔය නීති තිබුණද?
  • චම්පික මහතාට ළඟදීම ලොකු වගකීමක් පැවරෙනවා
  • කවුරු කළත් කමක් නෑ විපක්ෂ වැඩේ කෙරෙනවා නම්
  • අපේ පොදු වේදිකාව රනිල් මහත්තයාටත් විවෘතයි
  • රනිල් මහත්තයලාගේ වැඩ ගැන අපට තාම පැහැදීමක් නෑ
  • මේ ආණ්ඩුව වැඩ කරන්නේ රාජපක්ෂලා බලයට ගේන්නයි
  • දේශපාලනය ඇතුළේ නොසිතන දේවල් වෙන්න පුළුවන්

මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන්නෙ විපක්ෂයේ නලින් බණ්ඩාර ගැන. මොකෝ මේ හදිසියේ නම උඩට ආවෙ?

ඒක දන්නෙ රටේ ජනතාව තමා. අපි හැමදාම ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ. ඒ වගේම ජනතාවගේ භූමිකාව හා සමානව විපක්ෂයේ භූමිකාව රඟ දක්වමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරුද්ධව අපි පහර පිට පහර දෙමින් යන්නෙ. ඒ නිසයි ඔය අපේ නම් ගම් උඩින්ම කියවෙන්නෙ. 

නලින් බණ්ඩාර දැන් මාධ්‍යවේදී භූමිකාවක් කරනවා නේද?

මම වැඩියෙන්ම කරන්නෙ විපක්ෂයේ ජනතාවගේ භූමිකාව. 

ඒ වුණාට අපි දැකලා තියෙනවනෙ හැම වෙලාවෙම නලින් බණ්ඩාර මුහුණුපොත හරහා සභා ගැබේ සජීවී විකාශයක් දෙනවා?

ඔව්. අපි හැම වෙලාවෙම තාක්ෂණයත් සමඟ ඉන්නෙ. මේ වගේ උණුසුම්කාරී අවස්ථාවල රටේ ජනතාවට ඇත්ත දැනගන්න අපි ඉතින් මාධ්‍යයේ කාර්යභාරයත් ඉෂ්ඨ කරනවා. 

ජනතාව ඒ සජීවී විකාශ බලලා ප්‍රතිචාර දක්වනවද?

අපෝ ඔව්. විශාල ප්‍රතිචාර තියෙනවා පක්ෂ විපක්ෂ හැමෝගෙන්ම. 

පහළොස් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දවස්වල කතාබහ යනකොට සමාජ මාධ්‍ය හරහා නිකුත් කරපු ලැයිස්තුවක ඔබේ නමත් තියෙනවා අපි දැක්කා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?

ඒවා ගැන මම කතා කරන්නවත් කැමති නෑ. හේතුව තමයි නලින් බණ්ඩාර කියන්නෙ එහෙම මිනිහෙක් නෙමෙයි. මේ සියල්ල මඩ ප්‍රහාර. ඒ නිසයි මම වගේ අයටත් මේ මඩ ප්‍රහාර එල්ල වෙමින් යන්නෙ. අනික මම එහෙම ජීවිතේ චෝදනාවලට ලක් වෙච්ච මනුස්සයෙක් නෙමෙයි.

කවුද මේ මඩ ගහනවා ඇත්තෙ?

මේ දවස්වල වැඩිපුරම අපේ ප්‍රහාරයට ලක්වෙන්නෙ ආණ්ඩුව. ඒ ප්‍රහාර එල්ල කිරීමේ ලැයිස්තුවල ඉන්න පුද්ගලයන් තමයි ඒ මඩ ප්‍රහාරයට එල්ල වෙන්නෙ. මේවා එල්ල කරන්නෙ ආණ්ඩුවට හිතවත් මඩ වෙබ් අඩවි සහ ෆේස්බුක් වලින්. එහෙම මඩ ගහන පිරිසක් කණ්ඩායමක් ආණ්ඩුව විසින් මුදල් දීලා රුකබලා ගන්නවා. ඒ අය ඉන්නෙ අපිට මඩ ගහලා අපේ කටවල් වහන්න. මට කියන්න තියෙන්නෙ එහෙම මඩ ගහලා නලින් බණ්ඩාරලගෙ කටවල් වහන්න, මාර්ග හරස් කරන්න උත්සාහ කරනවා නම් අපි ඒවාට බය නෑ කියලා. 

ඉතින් මඩ ගහන අය දන්නවා නම් කණ්ඩායම් ගැනත් දන්නවා නම් ඒ අය ගැනත් රටට හෙළි කරන්න පුළුවන්නෙ?

අනිවාර් යෙන්ම. අපි ඒ අය හෙළිදරව් කරනවා. අපි මේ වෙනකොට නීතිමය පියවරවලටත් යන්න කටයුතු කරලා තියෙනවා. ඔබ අර ඉස්සෙල්ලා කියපු ළමයාගෙ ප්‍රශ්නෙදි අපේ නම් ඇත්තටම ගාවගත්තෙ ඒ පරීක්ෂණවලින් ඇත්තටම හෙළිදරව් වෙන මිනිස්සු මඟහරින්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමත් කියලා තිබුණා ඒ ලැයිස්තුව අසත්‍යයි කියලා. ඒකෙන් පැහැදිලියි නේද ඇත්තටම මොකක්ද වුණේ වෙන්නෙ කියලා.

දැන් රටේ කොවිඩ් ප්‍රශ්නය උග්‍ර අතට ඇවිල්ලා තියෙන්නෙ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙගුලාසි දාලා තියෙනවා. ඒවා කඩන අයට විරුද්ධව දඬුවම් දෙනවා. නමුත් ඔබලා නිරෝධායන නීතිය කඩ කරලා රට වටේ උද්ඝෝෂණ තියනවා. ඒක නීති විරෝධීයි නේද?

මම පැහැදිලිවම කියනවා මේ දක්වා සමගි ජන බලවේගය මෙහෙයවපු සෑම උද්ඝෝෂණයක්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කළේ. මට ඒ ගැන 100%ක්ම වගකියන්න පුළුවන්. අපි කිසිම වෙලාවක කොරෝනා රෝගය ව්‍යාප්ත කරන්න සහයෝගය දීලා නෑ.  

ආණ්ඩුවේ සමහර අය කරන දේවල්වලට විවේචන එල්ල වෙද්දි ඔබලත් එහෙම කළාම ජනතාව මනින්නෙ ඒ කෝණයෙන්ම නේද?

ඔය සෑම නීතියක්ම තියෙන්නෙ විපක්ෂයට විතරයි. ඔබ දකින්න ඇති පසුගිය බ්‍රහස්පතින්දා නාවලපිටිය නගර සභාව පෙරළලා දාලා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ඇතුළු කණ්ඩායම ජය සමරපු හැටි. එක පොලිස් නිලධාරියෙක්වත් එතන හිටියද? කවුරුහරි කිව්වද ඒක කරන්න එපා කියලා. ඒ නිසා නීතිය කියන දේ සමාන වෙන්න ඕනෙ. 

හැබැයි එදා පාර්ලිමේන්තුව ගාව තිබුණු ඔබලගෙ උද්ඝෝෂණයට කිසිම ප්‍රහාරයක් පොලිසියෙන් එල්ල වුණේ නෑ. ඒත් ඊට පැයකට පස්සෙ ජෝසප් ස්ටාර්ලින් ඇතුළු කණ්ඩායම ගුරු වෘත්තීය අරගලය කරන අවස්ථාවෙ ඔවුන් ඇවිල්ලා පහරදීලා බලයෙන් නිරෝධායනය කරනවා. ඒ වගේම ඔබලා නිදහස් චතුරස්‍රය ඉදිරිපිට කරන උද්ඝෝෂණයටත් කිසිම ප්‍රහාරයක් එල්ල වෙන්නෙ නෑ. දැන් බලන් යනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක්ද රටේ තියෙන්නෙ?

ඇත්තටම ඔය ප්‍රශ්නෙ අහන්න ඕන පොලිසියෙන්. හැබැයි අපි කිසිම වෙලාවක සෞඛ්‍ය නීති කඩ කළේ නෑ. අපි නිදහස් චතුරස්‍රය ඉදිරියෙ කරපු උද්ඝෝෂණයෙදි පොලිසිය ඇවිල්ලා අනතුරු ඇඟෙව්වා. නමුත් අපි ඒ වෙලාවෙ කිව්වා අපි කිසිම නීතියක් කඩ නොකර අදාළ උද්ඝෝෂණය කරනවා කියලා. ඔවුන් ඒක බලාගෙන හිටියා. ඒ නිසා අපි විනයානුකූලවයි ඒ දේවල් කළේ. අපි පක්ෂයක් හැටියට විනය රුකීම ගැන ඇත්තටම සතුටුයි. 

ඒ කියන්නෙ ස්ටාර්ලින්ලා විනය කඩ කරලා සෞඛ්‍ය නීති ගණන් ගන්නෙ නැතුවද උද්ඝෝෂණ කළේ?

නෑ නෑ. ඒ ගැන වෙනම බලන්න ඕන කාරණයක්. මොකද අපි ඒක දැක්කෙ නැති නිසා. හැබැයි එතනදි ඔවුන්ට වෙච්ච අසාධාරණය කිසිම වෙලාවක සිදු නොවිය යුතු දෙයක්. ඔබ දන්නවා උසාවියෙන් ඇප දුන්නාම ඔවුන්ව බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා නිරෝධායන කඳවුරුවලට දානවා. ඒක වැරදි වැඩක්. දැන් නිරෝධායන නීතිය පාවිච්චි කරන්නෙ සම්පූර්ණයෙන්ම දේශපාලන දඩයමකට. 

දැන් ඔය නිරෝධායන නීතියට විරුද්ධව ඔබලා පාරෙ සටන් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා ඔහු මේ නීතියට විරුද්ධව අධිකරණයට යනවා කියලා. ඇත්තටම ඒ නීතියට අභියෝගයක් දෙන්න පුළුවන් පාරට වඩා අධිකරණයෙදි නේද?

අපි පැහැදිලිවම ඔය හැමෝටම කලින් අපේ පක්ෂයෙ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහත්තයා ඇතුළු කණ්ඩායමක් ඔය නීතිය සම්බන්ධයෙන් අධිකරණයට ගියා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා අධිකරණයට යාම ගැන හෑල්ලුවට ලක් කරන්නෙ නෑ. මොකද කොහෙන් හරි විපක්ෂයෙ කාර්යභාරය සිදුවෙන එකයි මේ වෙලාවෙ වැදගත්කම. හැබැයි අපි පාරෙ විතරක් නෙමෙයි අධිකරණය ඇතුළෙත් මේ ප්‍රශ්නයෙ අසාධාරණකම විසඳගන්න ගිහිල්ලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවෙ කියලා තිබුණා විපක්ෂයෙ සටන තනියම එතුමාට ගෙනියන්න බෑ. විපක්ෂයෙ කට්ටියටත් එකතු වෙන්න කියලා එතුමා සමඟ. ඒක ඇහුණාම නිකම් තේරෙන්නෙ නායකත්වය කියන එක විපක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවමින් සිටින බව නේද?

මෙහෙමයි. විපක්ෂය කියන්නෙ අපි. අපි පක්ෂයක් විදිහට ජනතාව වෙනුවෙන් හැම මොහොතකම පෙනී ඉන්නවා. අපිත් එක්ක එකතු වෙනවද කියන එක ඒ පාර්ශ්ව තීරණය කරන්න ඕනෙ. ඒ නිසයි අපි ඕනම කෙනෙක්ට පොදු වේදිකාවක එකතු වෙන්න කියන්නෙ. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයටත් පුළුවන් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න. 

හිටපු නායකතුමා පාර්ලිමේන්තු ආවා නේද? ඔහු ආවාම හිතට පොඩි ගැම්මක් එහෙම ආවෙ නැද්ද?

එහෙම නම් හැඟීමක් නෑ. හැබැයි එතුමාගෙ ආගමනය ගැන අපේ අදහස තියෙන්නෙ එතුමා අනාගතයේ සිදු කරන ක්‍රියා කලාපයත් එක්ක. දැන් ඒකට හොඳම උදාහරණය තමයි මේ ඔබ සාකච්ඡාව කරන මොහොතෙ දහවල් අපේ පක්ෂයේ ආසන සංවිධායකවරයකුට හිමිව තිබූ නාවලපිටිය නගර සභාවත් පෙරළුවා. ඒ පෙරළුවෙ ඔහු අපේ පක්ෂයේ සාමාජිකත්වය ගැනීම නිසා සිදු කළ විනය ක්‍රියාමාර්ගයක් හේතුවෙන්. මොකද ඔහුව එජාපයෙන් ඉවත් කළා. පස්සෙ ඒ වෙනුවෙන් එජාපයේ මන්ත්‍රී කෙනෙක් නම් කරද්දි අන්තිමට පොහොට්ටුවෙ නියෝජ්‍ය නගරාධිපතිවරයාට එජාපයේ මන්ත්‍රීවරු උදව් කරනවා. මොකක්ද ඒකෙ අරමුණ. දැන් ඒකද වෙන්න ඕනෙ. ඒ කියන්නෙ එජාපයේ සහයෝගය තියෙන්නෙ පොහොට්ටුවෙ අයව බලයට ගේන එකටද? ඒ ගැන සැකයක් ඇතිවෙන්නෙ නැද්ද? ඒ නිසා අපිට තවම කා ගැනවත් විශ්වාසයක් නෑ. මොකද එතුමලගෙ ක්‍රියාකාරකම් අපිට තවම පැහැදිලිව පේන්නෙ නෑ. 

ඒ කියන්නෙ එජාපය ආණ්ඩුවට මුක්කු ගහන්නද ආවෙ?

ඒක නම් දන්නෙ නෑ. හැබැයි රෑ දැනියෙල් දවල් මිගෙල් වැඩ හොඳ නෑ. මොකද වෙන්නෙ ඒ දේ. 

මේ වෙනකොට ආණ්ඩුව විසින් රසායනික පොහොර ඉවත දාලා කාබනික පොහොර සංග්‍රාමයකට යන්න සූදානම් වෙනවා. මේක වසර ගණනාවක ඉඳන් ආණ්ඩු උත්සාහ කරපු දෙයක්. මේ ගත්ත තීරණය ගැන ඔබේ අදහස මොකක්ද?

මේ ආණ්ඩුව ගත්ත තීන්දුව දීර්ඝ කාලීනව ගත යුතු ඉතාමත් හොඳ තීන්දුවක්. නමුත් ආණ්ඩුව මේක ක්‍රියාත්මක කරන්න යන්නෙ කෙටි කාලීනව. උදාහරණයක් හැටියට භූතානය අවුරුදු ගාණක ඉඳන් මේකට උත්සාහ කළත් අද වෙනකොට එන්න පුළුවන් වෙලා තියෙන්නෙ 10%ක වගේ ප්‍රමාණයකට. නමුත් ආණ්ඩුව කරන වැඩෙන් වෙන්නෙ ගොවියත් ව්‍යාපාරිකයත් පාරිභෝගිකයත් ඒ වගේම අපනයනකරුවනුත් අමාරුවෙ දැමීමක්. ඒ නිසා මේ ප්‍රතිපත්තිය හොඳයි. භාවිත කරන විදිහයි වැරදි. ඒ නිසයි අපි මේක අනුමත නොකරන්නෙ. 

හැබැයි මන්ත්‍රීතුමා මේක කවදාහරි ඉක්මනින් විය යුතු දෙයක් නේද?

කවදාහරි වෙන්න ඕන දෙයක් දවසින් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අන්තිමට වෙන්නෙ කවදාවත් වෙන්නෙ නෑ. 

ඒ වුණාට ඔබලා මේ අවස්ථාවෙ බොර දියේ මාළු බාන්න හදනවා නේද?

කිසිම වෙලාවක නෑ. අපි ඉන්නෙ ගොවි ජනතාවගේ දුක වෙනුවෙන්. අනික ඔය කාබනික පොහොර කතාවෙ ඇත්තම ගත්තොත් ආණ්ඩුව මේ බලහත්කාරයෙන් වගේ කරන්න හදන්නෙ රටට හිතකර දෙයක් වගේ පේන්න හැදුවට ඇත්තම ප්‍රශ්නෙ ඉදිරි වසර සඳහා පොහොර මිලදී ගන්න ආණ්ඩුවට සල්ලි නෑ. බිලියන ගාණක් යන මුදල ආණ්ඩුවට නැති වුණාම ඒ වෙනුවෙන් ඩොලර් හිඟය ඇති වුණාම ආණ්ඩුව ඒකෙන් බේරෙන්න ගෙනාව ඉතාම අනුවණ ක්‍රියාවක් තමයි 100%ක්ම එකවර කාබනික පොහොර සඳහා මාරුවීම. ඒත් මේකෙන් වෙන්නෙ අහිංසක ගොවියා අන්ත අසරණ වීම. අනාගතයේ ආහාර හිඟයක මඟ සලකුණු තියෙනකොට ආණ්ඩුව කරන්න ඕනෙ බලහත්කාරයෙන් හරි මෙවැනි ක්‍රියා නෙමෙයි. ඉතාම සංයමයෙන් රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීම. ඒත් රටේ මිනිස්සුන්ට පෙන්නන්න හදන්නෙ වෙන ප්‍රතිරෑපයක්. ඒ නිසා ආණ්ඩුව මේ කළේ ඩොලර් වෙනුවට ගොවියො බිල්ලට දුන්න එක.

ආණ්ඩුව ආර්ථික වශයෙන් හිරවීම ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඒත් ආණ්ඩුවේ බොහෝ දෙනා කියන්නෙ මේ ක්‍රමය ගොඩනගන්න පුළුවන්  එකම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා. දැන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිලා තියෙන්නෙ. ජනතාවට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නෙ?

දැන් මෙච්චර කල් මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමැති වෙලා හිටියට ආර්ථික පැත්තෙ වැඩිම බර කොටස ඇද්දෙ තිරයෙන් එහා පැත්තෙ හිටිය බැසිල් රාජපක්ෂ මහත්තයා. දැන් එතුමා තිරෙන් ඉදිරියට ආපුවාම මහා ආර්ථික විප්ලවයක් වෙයි කියලා කවුරුහරි කෙනෙක් හිතනවා නම් ඒක කිසිම තේරුමක් නැති දෙයක්. හොඳම උදාහරණය ගත්තොත් එතුමා 2010 ඉඳලා 2015 වෙනකම් මේ රටේ හිටිය ආර්ථික සංවර්ධන ඇමැති. මොකක්ද වෙච්ච විශේෂ හොඳේ. ඒ නිසා ඒවා බොරු කතා. ඉස්සරහට එතුමා හරියන්නෙ නෑ තව රාජපක්ෂ කෙනෙක් ඕන වෙයි කියයි. එයා හරියන්නෙ නෑ තව කෙනෙක් ඕනෙ කියයි. මේ හැමදාම කරන්නෙ දවසින් දවස රාජපක්ෂවරුන් බලයට එන එක විතරයි. ඊට එහා දෙයක් නම් වෙන්නෙ නෑ. 

දැන් ඔබලා උදය ගම්මන්පිල මහත්තයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕක දිනන්න පුළුවන්ද?

ඕනෑම කෙනෙක් දන්නවා විපක්ෂයට බහුතරයක් නෑ කියලා. හැබැයි විපක්ෂයට තියෙනවා නියමිත භුමිකාවක්. අපි අන්න ඒ භූමිකාව තමයි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නෙ. අත්තනෝමතික විදිහට තෙල් මිලේ බර ජනතාව කරට දැමීම ගැන අපි විපක්ෂයක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග තමයි ඒ ගත්තෙ. ඒක සමහර විට දිනන්නත් පුළුවන්. 

උදය ගම්මන්පිල මහත්තයා කිව්වෙ මේකට මුදල් අමාත්‍යංශයෙ අනුමැතිය හම්බවුණා කියලා. එම අමාත්‍යංශය තමයි ඒක තීන්දු කළේ කියලත් කිව්වා. මුදල් ඇමැති අගමැතිවරයා. ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් නොදා උදය ගම්මන්පිලට විරුද්ධව ආණ්ඩුවේ බෙදීම දැකලා ඒ ගැන හිතලා නේද ඇත්තටම මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ?

අපි නම් කාටවත් බය නෑ. අපි එහෙම බය වෙන්නෙත් නෑ. අපි විපක්ෂයක් හැටියට අපිට පේන දේවල් අනුව තමයි අපි උපක්‍රමශීලීව කටයුතු කරන්නෙ. අපි දැක්කා උදය ගම්මන්පිලට විරුද්ධව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රහාර එල්ල කරනවා. ඉතින් විපක්ෂයක් හැටියට අවස්ථානුකූලව ක්‍රියා කරන එක මම හිතන්නෙ වැරුද්දක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂයක් හැටියට අපේ විවිධ උපක්‍රම අපි පාවිච්චි කරනවා. 

ඔබලාගෙ උද්ඝෝෂණ මාලාවල අපි සමහර පුද්ගලයො දකින්නෙ නෑ. විශේෂයෙන් පාඨලී චම්පික රණවක වගේ අය. ඇයි චම්පික එන්නෙ නැත්තෙ. විපක්ෂයෙ ඇතුළෙ ප්‍රශ්න නිසාද?

විපක්ෂයේ කිසිම බෙදීමක් නෑ. එහෙම පේනවා වෙන්න පුළුවන්. ඒවා ආණ්ඩුව විසින් මවන්නත් පුළුවන්. හැබැයි අපි හැමෝම එකතුවෙලා වැඩ කරන්නෙ. චම්පික රණවක මහත්තයා මේ හැමදේටම ඔහුගේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ඉදිරියෙදි ඔහුට ඉතාම වගකීම් සහගත කාර්යයන් ටිකකුත් පැවරෙනවා. ඉදිරියෙදි ඔහුව දකින්න පුළුවන් වෙයි. අනික උද්ඝෝෂණවලට අපි හැමෝම යන්නෙත් නෑ. එක එක අයට නියමිත වගකීම් තියෙනවා. 

ඔබලා මේ සියල්ල මෙහෙයවලා අවසාන මොහොතෙ උත්සාහ කරන්නෙ ආණ්ඩුව මැතිවරණයට කලින් පෙරළන්නද?

අපි දන්නවා මහ මැතිවරණයක් ඉතා මෑතක නෑ. ඒ වගේම ජනාධිපතිවරණයකුත් නෑ. එහෙම නෑ කියලා අපේ ක්‍රියාකාරකම් සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා දැකලා නිහඬව සිටින්න හැකියාවකුත් නෑ. අපි කරන්නෙ ජනතා අරගලයක්. එතනදි යම් ආකාරයකින් ජනතා හිතවාදී පිරිස් අපි එක්ක එකතු වුණොත් විවිධ පෙරළි වෙන්න පුළුවන්. ඒ නිසා හැමදේම නොවෙයි කියලා විශ්වාස කරන්න බෑ. දේශපාලනය කියන්නෙ නොහිතන දේවල් වෙන මොහොතක්. ඒ නිසා බලාගෙන හිටියොත් හොඳ හොඳ දේවල් ඉදිරියෙදි වෙන්න පුළුවන්. 

ඒ කියන්නෙ ලොකු දෙයක් වෙන්න පුළුවන්?

බලාගෙන ඉන්න. 

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00