2021 ජුනි 12 වන සෙනසුරාදා

පාටි මූඩ් එකෙන් ගැලවෙමු

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 76

සංචරණ සීමා දික් කරනවාද ලිහිල් කරනවාද යන තීරණ අතරේ රට දෝලනය වෙමින් තිබේ. ඒ අතරවාරයේ සංචරණ සීමා පිළිබඳව කිසිදු හැඟීමකින් තොරව කටයුතු කරන පිරිස් හේතුවෙන් පවතින තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වීමට ඉඩ තිබෙන බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. හෝටල්වල පාටි දැමීම, කොළඹ ඇතුළු නගර සහ නගරාසන්න ප්‍රදේශවල කානිවල් දැම්මාක් මෙන් වාහන නවතා ලොරි සහ වෑන් රථ වටා රොක් වෙමින් බඩු මිලදී ගන්නා දර්ශන, අධිවේගයේ දින දෙකක් තුළ වාහන ලක්ෂයකට වඩා ගමන් කිරීම වැනි සිදුවීම්වලින් පෙනී යන්නේ සංචරණ සීමාවලට අනුගත වීමට වඩා තමන්ගේ වැඩේ කරගැනීමට ජනතාව උනන්දු වන බවය. එහි කෙළවර ඇත්තේ එකම ප්‍රතිඵලයක් පමණි. සංචරණ සීමා වඩාත් තදින් ඉදිරියටද ක්‍රියාත්මක වීමය.

දැඩි නීති රීතිවලින් හැමදාම බැඳී සිටීමට කැමැති කිසිවකුත් නැත. එසේ නම් කළයුතු වන්නේ එම නීති රීතිවලින් ගැලවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මිස ඒවාට එරෙහිව කටයුතු කිරීම නොවේ. සුපිරි හෝටල්වල සිට පෞද්ගලික නිවාස දක්වා පාටි දැමීම් සිදුවන බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙයි. කොළඹ ෂැංග්‍රිලා, ක්‍රෙස්කැට් මොනාච් වැනි සුපිරි ගණයේ හෝටල් තුළ පමණක් නොව කැස්බෑව වැනි පළාත්වල මංගල උත්සව ශාලා තුළ පවා පාටි දමන පිරිස් වෙති. එසේම වව්නියාව, යාපනය වැනි ඈත දිස්ත්‍රික්කවලද පාටි දැමීම් සිදුවෙයි. මේවා පිළිබඳව පොලීසියට තොරතුරු ලැබුණු විට පමණක් වැටලීම් සිදුකිරීමත් සහභාගී වූ පිරිස් නිරෝධායනයට යොමුකිරීමත් සිදුවුවද එසේ පොලීසිය නොදැන කොතරම් පාටි දැමීම් රටපුරා සිදුවනවාදැයි කිසිවෙක් හරිහැටි නොදනිති. එහෙත් ඒ සෑම පාටියකින්ම කොවිඩ් මර්දනයට හෝ සංචරණ සීමා ඉවත්කර ගැනීමට කිසිදු සහායක් ලැබෙන්නේ නැත. සිදුවිය හැක්කේ පාටි පොකුරු බිහිවීම පමණි. පාටි පොකුරු සංචරණ සීමා තව තවත් තද කිරීමක් පමණි.

සංචරණ සීමා දිගින් දිගටම මහජනතාව අතින් කඩවීම පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන්ම පැමිණිලි ලැබෙමින් තිබේ. ඔවුන් රජයට බලකරන්නේ ජනතාවගේ හැසිරීම දැනට වඩා පාලනය නොවුණොත් සංචරණ සීමාවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන බවය. දිනෙන් දිනම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන අවස්ථාවක සංචරණ සීමා ලිහිල් කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් රට හැමදාම වසාගෙන සිටීමද කළ නොහැක. එය රජයද අන්තෝ ජටා - බහි ජටා තත්ත්වයට ඇද දැමීමකි.

දක්ෂිණ අධිවේගයේ පැය 48කදී ලක්ෂයකට අධික වාහන සංඛ්‍යාවක් ධාවනය වී තිබුණේ ගිය සතියේය. එතරම් වාහන සංඛ්‍යාවක් ධාවනය වීමෙන් පවා පෙනී යන්නේ සංචරණ සීමා ඇතැම් වාහනවලට බල නොපාන බවය. මේ එක් වාහනයක එක පුද්ගලයකු ගමන් කළත් එම දින දෙකේ පමණක් ලක්ෂයක පිරිසක් නිවෙස්වලින් බැහැරව සමාජය සමඟ එක්වී සිටින බව තහවුරු වෙයි. වෛද්‍ය නිලධාරීන් පිරිසකගේ අනුමැතිය ඇතිව කොළඹින් ගිය පිරිසකට ගාල්ලේදී සිදුවූ එන්නත් කිරීමද එවැනිම සංචරණ සීමා කඩවූ අවස්ථාවකි. එහෙත් එම පිරිසට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්නට නැත.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ කොවිඩ් ආසාදිත හා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාවද ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බවය. ජනගහනයට සාපේක්ෂව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යා සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටීම එයට හේතු වී තිබේ. මේ තොරතුර හෙළිකළ මාධ්‍ය සාකච්ඡාවේදී සංගමයේ උප සභාපති වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබුණේ රටේ සංචරණ සීමා පනවා ඇති බව කියා තිබුණද මාර්ගවල පවතින තත්ත්වය අනුව එවැන්නක් නොපෙනෙන බවය. මේ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලුදෙනා මතක තබාගත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
මේ ප්‍රකාශය හෝටල්වල පාටි දමන, මහාමාර්ගවල අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන සියලුදෙනාම තදින් සිතට ගත යුතු බව පෙන්වා දිය යුතුය. හෙට දවසේ සියලුදෙනාගේ යහපත උදෙසා අද දවස කැපකිරීමට නොහැකි නම් අප සියලුදෙනාටම ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල බව අවබෝධ කරගැනීම අවශ්‍යය. කණ්ඩායමක් එකතු වී දමන පාටි එක ෂැංග්‍රිල්ලා හෝටලයේ කළත් නිවෙසක් ඇතුළේ සිදුකළත් ප්‍රතිඵලය විය හැක්කේ එකමය. අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවලට ඉඩ නොදීමය. මෙවැනි සිදුවීම් කොළඹ නගරයේ පමණක් නොව ඈත දුෂ්කර ප්‍රදේශවල පවා සිදුවන බවත් ඒවායින් වැළකී සිටින තරමට සංචරණ සීමා ඉවත්කර ගැනීම ඉක්මන් කරගත හැකි බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

රට සම්පූර්ණයෙන් වසා දමා වැඩි කාලයක් තබා ගැනීමට සිදුවුවහොත් එය විශේෂයෙන් රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි පීඩනයක් ගෙනදීමට හේතුවන බව පැහැදිලිය. එහෙත් රෝගයේ ශීඝ්‍ර පැතිරීම පාලනය කර ගැනීමකින් තොරව රට විවෘත කිරීම මරුට අත වැනීමකට දෙවැනි නැත. සංචරණ නීති ඉවත් කෙරුණත් අප අවට වෛරසය පැතිරෙන බව අමතක කර කටයුතු කරන යම් අයෙක් වෙතොත් ඔහු සිදුකරන්නේ රටටම ද්‍රෝහිකමකි.