2021 මැයි 29 වන සෙනසුරාදා

පමා නොවී එන්නත දෙමු

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

මේ ගෙවෙමින් පවතින්නේ රටේ කොවිඩ් වසංගතයේ භයානකම හෝරාවකි. තුන්දහසකට ආසන්නව ආසාදිතයන් සංඛ්‍යාවක් දිනපතාම වාර්තා වෙයි. මරණ සංඛ්‍යාවද දිනකට 30ක් ආසන්නව සිදුවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මීටත් වඩා තවත් භයානක තත්ත්වයක් ඉදිරියේදී උදා වනු ඇතිදැයි අනාවැකි පැවසිය නොහැක. එහෙත් මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ අනාවැකි පළකිරීමට වඩා පවතින භයානක හෝරාවෙන් ගැලවිය හැකි වඩාත්ම සාර්ථක උපක්‍රම කුමක්දැයි වටහා ගනිමින් ඒ අනුව හැඩගැසීමය. හැකි පමණින් ආසාදිතයන්ට නිරාවරණය වීමෙන් වැළකී සිටීමය.

අප එකිනෙකා ප්‍රවේශම් වූවොත් එය සමස්ත සමාජයම අවදානමෙන් මුදාගැනීමේ වැදගත්ම පියවරක් වෙයි. අප අවට ඇති සමාජය අනාරක්ෂිතව පවතින තාක් අප කිසිවකුටත් සැබෑ ආරක්ෂාවක් නැත. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් උදේ සිට රෑ වනතුරු අපට අසන්නට, දකින්නට ලැබෙයි. එහෙත් ඊට ඕනෑකමින් අනුගත වන පිරිස කොතරම්ද යන්න පිළිබඳව නම් ගැටලුවක් පවතී. පසුගියදා සංචරණ සීමාවන් ලිහිල් කළ දවසේ එය පැහැදිලිව දැකගත හැකි විය. අවශ්‍යතා සපුරා ගැනීමට මූලිකත්වය දිය යුතු වුවද ඒ සඳහා තමන්ගේ ආරක්ෂාව පරදුවට තබා අවදානම් ලෙස ක්‍රියා කිරීම අනුවණ ක්‍රියාවකි. එයින් තමන් රැකෙන්නේ නැත. තමන් නොරැකුණොත් සමාජය රැකෙන්නේද නැත. මේ දෙකම නොකෙරෙන විට සංචරණ සීමා තව තවත් ගෙලටම තද වනු මිස බුරුල් වීමක් නැති බව තේරුම් ගත යුතු වෙමු.

අවදානමෙන් ගැලවීමට තිබෙන හොඳම උපක්‍රමය එන්නත්කරණය බව ලොවම පිළිගෙන තිබේ. එය අපේ රටටද අදාළය. එන්නත් ගෙන්වා දීම රජයේ වගකීමක් වන විට තමන්ට එන්නත ලැබෙන තෙක් ජනතාව වෛරසයට නිරාවරණය වීමෙන් වැළකෙන සියලු පියවර ගැනීම අවශ්‍යය. සමාජයේ වැඩි දෙනකුට වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට නොහැකි වුවහොත් එන්නත්කරණයෙන් ලැබෙන සහනයද තවත් ඈතට යාම වළක්වා ගත නොහැකි වනු ඇත.

එන්නත්කරණය රටේ තවත් ප්‍රදේශ කිහිපයකට පුළුල් කිරීමටද පියවර ගෙන තිබේ. ඊයේ පෙරේදා දිනවල ශ්‍රී ලංකාවට චීනයෙන් පරිත්‍යාගයක් ලෙස තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 05ක ප්‍රමාණයක් ලැබිණි. එය චීනයෙන් මෙරටට ලැබුණු දෙවැනි පරිත්‍යාගයයි. මේ එන්නත් ලැබුණු වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළේ එම එන්නත් කිසිදු පමාවකින් තොරව රටේ වඩාත්ම අවශ්‍ය ප්‍රදේශවල ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසටය. ඒ අනුව සෞඛ්‍ය අංශ ද වහාම ක්‍රියාත්මක වී එම එන්නත් ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබිණි. එවැනි ආකාරයකට හෝ එන්නත්කරණය පුළුල් කිරීමට පියවර ගැනීම රටේ ජනතාවට මහත් සැනසිල්ලක් බවද කිව යුතුය.

කෙසේ වුවද එන්නත් රටට ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් රටේ ජනතාව අතර විශාල දුක් ගැනවිල්ලක් තිබිණි. එන්නත් ලබාගැනීමට විශාල පෝලිම් ඇතිවූයේත් එම පෝලිම් ඉතාම අනතුරුදායක ලෙස කොවිඩ් පොකුරු ඇතිවීමට දොර හැරදීමක් බවට පත්වූයේත් එන්නත ලැබේද නොලැබේද යන්න ගැන ජනතාව තුළ තිබූ විශාල දෙගිඩියාව හේතුවෙනි. එන්නත් රටට ලැබීමට පෙර ඒ පිළිබඳ රජයේ ඇතැම් දේශපාලනඥයන් විසින් අනවශ්‍ය ලෙස විවිධ බලාපොරොත්තු ඇතිකිරීමද එම දෙගිඩියාවට හේතු විය. මෙය තම තමන්ට ලකුණු දමාගැනීමට අවස්ථාවක් නොව රටේ ජනතාවගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් බව සියලු දේශපාලනඥයන් විසින් අවබෝධ කරගත යුතුය. තත්ත්වයෙන් බාල ගණයේ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන විපක්ෂයේ දේශපාලනඥයන් විසින්ද මෙය අවබෝධ කරගත යුතුය.

තමන්ට එන්නත් ලැබෙන්නේ කවදාද, කෙසේද යන්න දැනගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ පිළිබඳ සැබෑ කරුණු සඟවා ජනතාවට බොරු පොරොන්දු දීමෙන් පළක් නැත. පසුගිය දිනවල වෛද්‍ය වෘත්තිකයන්ගේ මාපියන් ඇතුළු සමීප ඥාතීන්ට එන්නත් ලබාදීම අර්බුදයකට ගියේද මේ හේතුවෙනි. රෝහල් සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ නිවෙස්වල සිටින සමීප ඥාතීන් සියලු දෙනාම වෛරසයට පහසුවෙන් ගොදුරු වන අවදානම් කාණ්ඩයකි. මේ පිරිසට දෙවැනි එන්නත ලබාදීම එහි පළමු එන්නත හෝ නොලැබී සිටි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් පිරිස්වලටත් පී.එච්.අයි.වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් තුළත් දැඩි අසහනයක් ඇතිකිරීමට පවා හේතු විය. වැඩවර්ජන තර්ජනද එල්ල විය. ග්‍රාම නිලධාරීන් තමන්ගේ රාජකාරිවලින් ඉවත් වීමට පවා තීන්දු කර තිබිණි. වෛද්‍ය ක්ෂේත්‍රයේ සමීපතමයන්ට පවා එන්නත ලබාදීමේ වැදගත්කම පිළිබඳව රජය මගින් සෙසු පිරිස් නිසි පරිදි දැනුවත් කර නොතිබීම මේ තත්ත්වය වඩාත් උත්සන්න කිරීමට හේතු වූ බවද පෙන්වා දිය යුතුය. එසේම වෛද්‍යවරුන්ද තම සමීප ඥාතීන්ට පමණක් නොව එම කණ්ඩායමට නොවැටෙන සෙසු පිරිස්වලට පවා එන්නත ලබාදීමට ක්‍රියා කළා නම් එයද නුසුදුසු ක්‍රියාවක් බවද කිව යුතුය.

එන්නත්කරණය කොවිඩ් මාරාන්තික වෛරසයට එරෙහි ප්‍රබලම ආයුධය නම් එයින් රටේ වැඩි පිරිසක් සන්නද්ධ කිරීම රජයේ වගකීමය. ඒ සඳහා සුදුසු කාලසටහනක් සකස් කර ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීම ප්‍රමාද කළ යුතු නැත. එන්නත් ඇනවුම් කිරීමේදී රජය ප්‍රමාද වූ බවට චෝදනා එල්ලවෙන පසුබිමක ඉදිරියේදී හෝ එම අඩුපාඩු මගහරවාගැනීම වැදගත්ය. එන්නත ගෙන්වා ගැනීමට රජයේ ඉහළම ප්‍රමුඛත්වය හිමිවිය යුතුය.