2023 මාර්තු 12 වන ඉරිදා

දැන් බෝලේ අපේ පැත්තේ බැට් කරන්න ලෑස්ති වෙන්න

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 289

රුපියල නගිද්දී ඩොලරය පල්ලම් බැස්සේය. මේ ඉහළ පහළ යෑම ලාංකීය දේශපාලන භූමියටද සැලකිය යුතු බලපෑමක් එල්ල කළේය. ඉහළ පහළ යමින් තිබූ මැතිවරණ උණුසුම පරයමින් ඩොලර් කතාව සැමට විෂය වූයේ එබැවිනි. පාර්ලිමේන්තුවේද වාද විවාද බොහෝ වූ අතර පක්ෂ මාරු පිළිබඳ කටකතා සහ තනතුරු අහිමිවීම් පිළිබඳ කතාද පැතිර යමින් තිබුණි.

පසුගිය සතියේ බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වුණි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහභාගී වූහ. මෙහිදී දේශපාලනික සහ ආර්ථික කරුණු විශාල වශයෙන් සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර විවාදාත්මක මාතෘකාවක් වී ඇත්තේ ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාගයේ භාෂා මාධ්‍ය සම්බන්ධ කතිකාවකි.

මෙම විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම තීරණය කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය විය.

''ස්ව භාෂාවලින් මේ විභාගයට මුහුණදෙන්න සිංහල, දෙමළ ළමයින්ට අවස්ථාව තියෙන්න ඕනෑ...''

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී යෝජනා කර සිටියේය.

''ඕක අපෙන් හැමදාම අහපු ප්‍රශ්නයක්. අපි ඕකට මැදිහත් නොවී ඉමු. අධිකරණ සේවා කොමිසමයි, අග්‍රවිනිශ්චයකාරතුමයි ඔය තීන්දු අරගෙන තියෙන්නේ.''

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව අධිකරණ අමාත්‍යවරයාට එලෙස පිළිතුරු බැඳ ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. මේ සම්බන්ධව සභාවේ විවිධ අදහස් පළ වී තිබේ. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සිය අදහස පසෙකලීමට එතරම් මනාපයක් නොදැක් වූ බවක්ද කියැවේ. එම අවස්ථාව සිසුනට ලබාදිය යුතු බව ඔහු දිගින් දිගටම කියා ඇත.

මෙම රුස්වීමට පෙරදා ස්ව භාෂාවෙන් විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් නීති විද්‍යාලයේ සිසුන් කළ උද්ඝෝෂණයක්ද ඊට හේතු විය. මෙම පිරිස බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයේ නිරත වූහ. පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේදීම මෙම පිරිස හමු වී සාකච්ඡා කළ විජයදාස රාජපක්ෂ මහතා ඔවුන්ට විසඳුමක් ලබාදීමට පොරොන්දු විය. උද්ඝෝෂකයන් පිට වී ගොස් ඇත්තේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මේ සම්බන්ධව එකඟතාවක් නිර්මාණය නොවුණි.

''ඔය වැඩේ විතරක් නෙවෙයි, ඉදිරියේදී රටේ පාසල්වලත් නීතිය උගන්නන්න පියවර ගන්න ඕනෑ...''

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව විජයදාස රාජපක්ෂ මහතා අවසානයේ එවන් අදහසක් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ස්වභාෂා විභාග ගැටලුව සම්බන්ධව තවදුරටත් පැහැදිලි පිළිතුරක් නැත. මෙම මන්ත්‍රී කණ්ඩායමේ හමුව පිළිබඳ දේශපාලන කරළියේ තවත් කතා අසන්නට ලැබුණි. ජනපති මැතිවරණය සම්බන්ධව දැක්වූ අදහස්‍ ඒ අතරින් ප්‍රමුඛ විය.

''මැතිවරණයක් තිබ්බ කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. අපි ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. සමහරු කිව්වා මේ රට ගොඩගන්න අවුරුදු හතරක් ඕනෑ කියලා. ඒත් මම මාස අටක කාලයක් ඇතුළත ගොඩක් දේවල් කරල තියෙනවා...''

පැතිරෙන ආරංචි අනුව මෙවන් කතාවක් ජනාධිපතිවරයා මෙම හමුවේදී කියා තිබේ. ඒ අනුව රුපියල ශක්තිමත් වීම සම්බන්ධවද ඔහු කතාකර ඇත. ඉදිරි මාසයේදී පළමු අයි.එම්.එෆ්. සහනය ලැබෙනු ඇති බවත්, ඒ සමඟ ජනතාවට බදු අඩුකර සහන ලබාදීමට හැකියාවක් ඇති බවත් ජනාධිපති ප්‍රකාශ කර ඇතැයි කියවේ.

ගොඩනැගෙමින් පවතින ස්ථාවරත්වය සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබාගැනීමට ජනපති අදහස් දැක්වූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි. දැන් ''බෝලේ අපේ පැත්තට ඇවිල්ල නිසා බැට් කරන්න සූදානම් වෙන්න...'' ජනපති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අමතා එවන් ප්‍රකාශයක් කළ බවටද මාධ්‍ය වාර්තා පළවී තිබුණි.

පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔවුන් හමුවට පොලිස්පති, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මුද්‍රණාලයාධිපති ඇතුළු පිරිසක් කැඳවනු ලැබීය. එහෙත් මෙම හමුවට පොලිස්පති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පැමිණ සිටියේ නැත. පොලිස්පතිවරයා සිය නියෝජිතයකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා එවා තිබුණි. පොලිස්පති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම හමුව සඳහා සහභාගී නොවීමට හේතුව ලෙස දක්වා තිබුණේ, ජාතික ආරක්ෂක කවුන්සලයේ රුස්වීමක් පැවතීමයි.

කෙසේ හෝ අවසානයේ මැතිවරණ කොමිසම, මුද්‍රණාලයාධිපති ඇතුළු නියෝජිතයන් සමඟ සිය සාකච්ඡාව පවත්වා තිබේ. මැතිවරණය පැවැත්වීමට සුදුසු දිනය අප්‍රේල් 25 වැනිදා බව ඒ අනුව තීරණය වී ඇත. කෙසේ වෙතත් මෙදින පැවැති බව කී ආරක්ෂක කවුන්සල රුස්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ වාද විවාද ඇතිවුණි.

''ගරු අගමැතිතුමා දන්නවද? නොදන්නවාද? දන්නේ නෑ. අද උදේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සාකච්ඡාවකට ආරාධනා කරලා තිබුණා. එතුමා ඒ සාකච්ඡාව මග හැරලා තියෙනවා නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ සාකච්ඡාවක් තියෙනවා කියලා. ඉතින් එහෙම දෙයක් නෑනෙ. ජනාධිපතිතුමා මෙතැනනේ. ඉතින් මෙතැන එහෙම මීටිමක් තිබුණෙ නෑනේ...''

මෙදින ජනපති පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඒ අනුව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය යොමු කළේය.

''මම ගියේ නෑ. මෙතැන හිටියේ. ජනාධිපතිතුමා උදෑසනම නැෂනල් සිකියුරිටි කවුන්සිලයේ සාකච්ඡාවට සහභාගි වුණා. සහභාගිවෙලා පසුව තමා ජනාධිපතිතුමා මෙතැනට ආවේ..''

විපක්ෂ නායකවරයාට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලෙස පිළිතුරු බැන්දේය. විපක්ෂනායකවරයා නැවත ඊට එදිරිව අදහස් පළ කළේය.

''රාජ්‍ය ආරක්ෂක ඇමැතිත් මෙතන. අගමැතිත් මෙතන. මං හිතන්නේ සිහින ලෝකෙ නැෂනල් කවුන්සිල් මීටින් එකක් තියාගන්න ඇති. වෙන මොනවටවත් නෙමෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සාකච්ඡාවට යෑම වැළැක්වීම සඳහා.''

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ගැටුම පිළිබඳ අලුත්ම තත්ත්වයක් පසුගිය සතියේ දැකබලා ගත හැකි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කෙටි කලකට විදෙස්ගත ගතවූ බව කියැවුණි. ඒ උපාධි ප්‍රදානෝත්සවයක් සම්බන්ධ කටයුත්තකටය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසියේම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරයට එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත් කළේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙය පෙර ගැටුමේ ප්‍රතිඵලයක් බවයි.

''අදත්, හෙටත්, තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහත්මයාම තමයි. එහෙම දෙයක් වෙලා නෑ. සම්පූර්ණ බොරු. මහ ලේකම්තුමා පිටරට ගියා. ඒ නිසා නියෝජ්‍ය මහ ලේකම්තුමා වැඩ බලනවා. එච්චරයි.''
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මෙය තාවකාලිකව සිදුකළ පත්වීමක් බවයි.

''මහලේකම්තුමා මේ සැරේ ටිකක් දවස් ඉන්නව කියලා ප්‍රකාශ කරල තිබුණා. නියෝජ්‍ය මහලේකම් විදිහට තමා මම වැඩකළේ. මේ වකවානුව වැඩ රාජකාරි බොහොමයක් තියෙනවා. පක්ෂ කාර්යාලයේ සහ රටේ. ඒ නිසායි මේ කටයුත්ත මට බාර දුන්නෙ, කරගෙන යන්න කියලා...'' අභිනවයෙන් පත්වූ වැඩබලන මහ ලේකම් සරත් ඒකනායක මහතාද කීවේ එවැන්නකි.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දයාසිරි ජයසේකර මහතාට පක්ෂය තුළ ගොඩනැගී ඇති විරෝධයද මෙම පත්කිරීමට හේතුවක් වී ඇති බවකි. වැඩබලන මහලේකම්වරයා වෙනුවෙන් වැඩ බාරගැනීමේ උත්සවයක් පවා ශ්‍රීලනිපය සංවිධානය කර තිබුණේ එනිසාවෙන් යැයි කියැවේ. මේ අතර පක්ෂයෙන් තරමක් වෙන් වෙන්න සිටි පාර්ශ්ව කොළ එළි දල්වා ඇතැයි පෙනී ගියේය.

''මහ ගෙදරින් පොඩ්ඩක් එළියට ගියපු පාර්ශ්වවලට නැවතත් මහ ගෙදරට එන්න දොර ඇරලා තියෙනවා කියන පණිවුඩය අපි කියනවා.''

මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ පසුගිය සමයේ ශ්‍රිලනිපයෙන් තරමක් ඈත් වී ආණ්ඩුවට සමීපව කටයුතු ශ්‍රීලනිප ජාතික දුමින්ද දිසානායක මහතායි. 

පොහොට්ටුවෙන් වෙන්වී නිදහස් ජනතා සන්ධානය සමඟ කටයුතු කරමින් සිටින මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පිළිබඳවද පසුගිය සමයේ විවිධ කතිකාවක් නිර්මාණය විය. ''ජී.එල්. පොහොට්ටුවේ සභාපති ධුරයෙන් ඉවත් කරනවා'' පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්  ප්‍රකාශ කරද්දී මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රතිචාරය වූයේ ''එහෙනම් මට ඒ ලියුම් එවන්න'' යන්නයි.

මෙම ගැටුම අතරේ පසුගිය සතියේ නිල නොවන මට්ටමේ මේ සුවිශේෂී ආරංචියක් අප වෙත ලැබුණි. ඉන් කියැවුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර අතිශය පෞද්ගලික මට්ටමින් දුරකථන සංවාදයක් පැවැති බවකි. මෙය විශේෂිත සංවාදයක් බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සංවාදය ඉතා සුහද දුරකථන සංවාදයක් වූ බවද එම ආරංචි මාර්ග කියා සිටී. කෙසේ වෙතත් දුරකථන සංවාදය අතර සාකච්ඡා කළ කරුණු පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත. එහෙත් මෙම සංවාදයේ ප්‍රතිඵල හෙට අනිද්දාට බලාගත හැකිවෙතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ඇමැතීය. ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ජනපති සිදුකළේ විශේෂ ප්‍රකාශයකි.

''මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව විදියට සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා. IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම මේ මාසය අවසන් වීමට පෙර තුන්වැනි හෝ හතරවැනි සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ අපිට ලෝක බැංකුවෙන් පළමු මුදල් වටය ලැබෙනවා...''

ජනපතිගේ මෙම විශේෂ ප්‍රකාශයට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවකට සූදානම් වී සිටි බවටද තොරතුරු වාර්තා වේ. ඉහත සතිවලදී ජනපති කතාවේ වූ උණුසුම් වචන හුවමාරු පදනම් කරගෙන ඔවුන් එම සැලසුම සකසා තිබූ බව කියැවේ.
ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය අතරතුර සැර විවේචනයක් සිදුකළහොත් ''ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්'' යනුවෙන් ලියූ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීමට මෙම පිරිස සූදානමින් සිට තිබේ. කෙසේ වෙතත් මෙදින ජනාධිපතිවරයා වෘත්තීමය භාවයක් සහිතව පාර්ලිමේන්තුව ඇමැතීය. ඒ සමඟ ඔවුනට එම විරෝධය හකුලා ගැනීමට සිදුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කළේය. ඒ අනුව එක්තරා වැඩසටහනකට සම්බන්ධ වෙමින් සමගි ජනබලවේගය සම්බන්ධව ඔහු මෙසේ පවසා තිබුණි.
''සමගි ජනබලවේගයේ සන්ධාන නායකයෝ අතර අභ්‍යන්තර සාකච්ඡා පවත්වල තියෙනවා. ඒකෙදි සමහරු පෙන්වා දීලා තියෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගය උඩට එනවා, ඔවුන් වර්ධනය වුණාම මහ මැතිවරණයේදී විශාල ජයග්‍රහණයකට පාර කපනවා. ඒ නිසා දැන් ඉල්ලන්න ඕනෑ පළාත් පාලන ඡන්දය නෙවෙයි. ඉල්ලන්න ඕනෑ මහා ඡන්දයක්, කියලා...''

අනුර කුමාර දිසානායක මහතා කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාද මෙයට අනුකූලත්වයක් දක්වා ඇති බවකි. ආරම්භයේදී පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටි නිසාවෙන්, එකවරම සිය මතය වෙනස් කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවේදී කී බවද අනුර කුමාර දිසානායක මහතා පවසයි. කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සමගි ජනබලවේගය තහවුරු කර නොමැත.

ගෙවී ගිය මාසයේ, පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ රටපුරා සිය රුස්වීම් පැවැත්වූහ. එහෙත් ආණ්ඩුවේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් එවන් විශාල රුලි දැකගත නොහැකි විය. දැන් එම වටපිටාව වෙනස් කිරීමට ඔවුන් සූදානම් වෙන බව කියැවේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා කැඳවීම් ලැබුවේ පොහොට්ටුවේ දිස්ත්‍රික් සංවිධායකයෝය. පොහොට්ටුවේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම රුස්වීම සංවිධානය කර තිබුණි.

ආරංචි අනුව, රුස්වීමට හැට දෙදෙනෙකුට ආරාධනා කළ තිබූ අතර තිබූ අතර පනස් නව දෙනෙක් සහභාගී වූහ. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විදෙස්ගත වී සිටි අතර තවත් සංවිධායකයන් දෙදෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වා තිබුණි.

''මොකක්ද මේ මැතිවරණය තිබ්බොත් අපි කරන්නෙ.'' මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන නායකයන් මුලසුනේ තබාගෙන පිරිස සාකච්ඡා කළේ ඒ පිළිබඳවයි.

''අපි එක ප්‍රධාන රුස්වීමක් විතරක් එක පළාතකට තියමු. පළාත් නවයට රුස්වීම් නවයක්. දිස්ත්‍රික් මට්ටමින් ආසන මට්ටමෙන් ලොකු රුස්වීම් තියන්න අවශ්‍යතාවයක් නෑ.'' රුස්ව සිටි බොහෝ දෙනකුගේ අදහස වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

අනුරාධපුරයෙන් එස්.එම්. චන්ද්‍රසේන, මහනුවරින් කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, කුරුණෑගලින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු, කළුතරින් රෝහිත අබේගුණවර්ධන ඇතුළු පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයන් එය අනුමත කරමින් කතාකර තිබේ.

''දැන් ගැටලුවක් නෑ. ටිකක් හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි ගිහිල්ලා වැඩේ කරමු.''

මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂද සිය අදහස් පිරිස හමුවේ ඉදිරිපත් කර තිබේ.

''මේක ජාතික මැතිවරණයක් නෙවෙයි. ගමේ ඡන්දෙ. ගමේ මිනිස්සුන්ගෙ ඡන්දවලටයි කතා කරන්න ඕනෑ. ගමේ මිනිසුන්ගේ හිත දිනාගත්ත අපේක්ෂකයෝ ජනතාව ඇතුළට යවලා පුළුවන් තරම් ගමට කතා කරන්න. පොඩි පොඩි රුස්වීම් වැඩිපුර තියෙන එක තමා වඩා වැදගත්. අපි ඒ හරහා නැවතත් ජනමතය දිනාගමු.''

මේ අතර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඉදිරියේදී යෙදෙන මැයි දිනය සම්බන්ධවද අදහස් දක්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''අපි මේ පාර මැයි දිනය හොඳට තියන්න ඕනෑ. එකපාරකුත් අපි මැයි දිනය හොඳට සංවිධානය කළානෙ. දිස්ත්‍රික් මට්ටමින් ජනතාව සංවිධානය කරලා. කොළඹ ඇවිල්ලා. ලොකුවට මේ පාර මැයි දිනය තියන්න ඕනෑ.''

මේ අතර මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිතභාවය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා සිදුවී තිබේ. එහිදී බැසිල් රාජපක්ෂ දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

''මැතිවරණය පැවැත්වුවත් නැතත්, දැන් අපි හොඳට සූදානම් වෙන්න ඕනෑ. මම නම් කැමති නෑ, මැතිවරණ කල් දානවට. එහෙම උනාම පක්ෂවලට තමන් ඉන්න තැන දැනගන්න බැරි වෙනවා...''

I චමිදු නිසල් සිල්වා