2022 නොවැම්බර් 20 වන ඉරිදා

හිටපු ජනපතිගේ නිවෙස අසළට නාඳුනන අමුත්තෙක් ඇවිත්

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 476

අයවැය 2023 සතිය පුරා දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාව විය. පක්ෂ මාරුවීම් සම්බන්ධවද විවිධ පුවත් අසන්නට ලැබුණි. අයවැය සමඟ සිතූතරම් දේශපාලන උණුසුමක් නිර්මාණය නොවීය. තවත් පසෙකින් දේශපාලන කරළියේ අවධානය යොමුව තිබුණේ කුමන්ත්‍රණ සහ පක්ෂ අභ්‍යන්තර අර්බුද පිළිබඳ කතාවලටය.

නිදහසින් පසු පළමුවරට බංකොලොත් වූ ආර්ථිකයට දෙවුර තබමින් පසුගිය සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

අයවැය ඉදිරිපත් කරමින් වත්මන් ලෝකයේ නව ප්‍රවණතාවයන්ට ගැලපෙන අලුත් ආර්ථික පදනමක් සකස් කරමින් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඉන්දියාව, චීනය ප්‍රමුඛ අනෙකුත් රටවල් සමගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව අදහස් හුවමාරු කර ගන්නවා. මේ පියවරවල් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වෙතැයි අපිට විශ්වාසයක් තිබෙනවා."

ජනපති අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුපුරුදු පරිදි සංවිධානය කරන "තේ සාදය" මෙදින නොපැවත්වුණි. නිල සාදය නවතා දමා තිබුණද, පැමිණි ප්‍රභූන්ට සහ තානාපතිවරුන්ට තේ එකක් සහ කෙටි ආහාරයක් ලබාදීමට ජනපති කටයුතු කළේය. රට තුළ පවතින ආර්ථික වටපිටාව හේතුවෙන් සාදය නොපැවැත්වීමට ජනපති තීරණය කර තිබුණේ කල් ඇතිවය.

සවස් වරුවේ මෙම තේ පානය අතරතුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. දෙදෙනා කෙටි සංවාදයක නිරත වූහ.

"හැම කාරණාවකටම වගේ මේකටත් විරුද්ධ වෙන්න එපා. දැන් තේරෙනවා නේද රට අන්තිම අමාරු තත්ත්වයක තියෙන්නේ. මේකට ඕගොල්ලොත් පොඩ්ඩක් උදව් කරන්න."

සජිත් ප්‍රේමදාස හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළකර ඇත්තේ එවන් අදහසකි. දේශපාලනය පසෙක තබා රට ගොඩගැනීමට එකතුවීමේ අවශ්‍යතාවය ජනපති තවදුරටත් ඔහුට පැහැදිලි කර ඇතැයි කියැවේ.

"ඔව්. අපි මේ ගැන එකඟතාවයක් ඇති කරගමු. සමහර කාරණාවලදී එකතුවෙලා වැඩ කරන්න. එහෙනම් මම ඒකට කමිටුවක් පත්කරන්නම් අපේ පැත්තෙන්."

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා තිබුණේ තම පාර්ශ්වයෙන් තිදෙනෙක් මේ සඳහා පත්කරන බවයි. ඒ අනුව ඔහු ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම කමිටුව සඳහා පත්කළ බව දේශපාලන ආරංචි ඔස්සේ දැනගැනීමට ලැබේ.

ජනපති, අගමැති එකතු වී තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් තිදෙනකුද ඉදිරියේදී ඒ සඳහා පත්කරනු ඇති බව කියැවේ. මේ අනුව ජාතික වශයෙන් වැදගත් වන කටයුතුවලදී එකඟතා නිර්මාණය කරගැනීමට මෙම පිරිසට භාරවනු ඇත.

මේ අතර කොළඹ කිංස්බරි හෝටලයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය වැය දා සවස් වරුවේ සංවිධානය කිරීමට කටයුතු යෙදුවේය. එහෙත් අවසන් මොහොතේදී එයද අවලංගු කිරීමට ජනපති කටයුතු කළ බව කියැවුණි.

"පවතින ආර්ථික වාතාවරණය යටතේ, සුපිරි තැන්වල මන්ත්‍රීවරු එකතුවෙලා භෝජන සංග්‍රහ පවත්වන එකත් එච්චර හොඳ නැහැ..." දේශපාලන ආරංචි අනුව මෙම රාත්‍රී භෝජනය අහෝසි කිරීම පිටුපස වූයේ එවැනි අදහසකි.

මේ අතර පසුගිය සතියේදී රාජිත සේනාරත්න ආණ්ඩුවට එනතුරු බොහෝදෙනා බලා සිටියහ. ඒ පිළිබඳ බොහෝ දේශපාලන ඉඟිද පළව තිබුණි. රාජිත සේනාරත්න ඇතැම් යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවලදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන පැහැදීමෙන් කතා කරනු දැකගත හැකිවිය.

"යම් පදවියක් අරගෙන ඒකෙන් කාල බීලා පිස්සු කෙළිනවා නම් ඒක වැරදියි. ඒත් ඒක ආයුධයක් විදිහට පාවිච්චි කරලා මේ රටේ ජනතාව සේවය කරනවා නම් හොඳයි."

මේ අතර තමන් විවිධ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වූ බවත් එහෙත් එය පැනීමක් ලෙස අර්ථකථනය කිරීම නුසුදුසු බවත් රාජිත සේනාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය ඇමැති ලෙස රාජිත සේනාරත්න ආණ්ඩුවට එක්වන බවට පැතිර ගිය ආරංචිවලින් දැඩි ලෙස කිපුණේ පොහොට්ටුවයි. නිල නොවන ලෙස පොහොට්ටුවේ පිරිස් ජනපති වෙත විවිධ පණිවිඩ යවා තිබුණි.

"රාජිතලා වගේ අය ගන්න එපා අපි කැමති නැහැ. එයාට නඩු එහෙමත් තියෙනවා. සෞඛ්‍ය ඇමතිකමනම් කොහොමටවත්ම දෙන්න හදන්න එපා! ඒකට අපි විරුද්ධයි" මේ ආදී පණිවිඩ කිහිපයක්ම ජනපති වෙත පොහොට්ටුව පාර්ශ්වයෙන් යවා තිබූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් මෙම නව දේශපාලන දීගය සැලසුම් කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එහෙත් බලාපොරොත්තු ලෙසින් අයවැය අතරේ එම පක්ෂ මාරුව සිදු නොවුණි. එමනිසාම රාජිත සේනාරත්න ඉදිරියේදී සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳ තවමත් දේශපාලන කරළියේ බොහෝ දෙනා බලා සිටිති.

පසුගිය සතියේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවෙස අසලට නන්නාඳුනන පුද්ගලයකු පැමිණි පුවතක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයා දෙතුන් විටක් නිවෙස අවට කැරකී ඇති බව ආරක්ෂක අංශ නිරීක්ෂණය කර තිබේ. ඔහුගේ රූප ස්වභාවය ඇඳ සිටි ඇඳුම් පැළඳුම්ද සැක උපදවන සුළු ඒවා බව කියැවේ.

කිහිපවිටක් ගමන් කිරීමෙන් අනතුරුව නිවෙස ඉදිරිපිට සිටි ආරක්ෂක නිලධාරීන් වෙත පැණි බීම වර්ග සහ බනිස් වැනි ද්‍රව්‍ය රැගෙනවිත් ලබාදීමට ඔහු උත්සාහ දරා ඇතැයි කියැවේ.

"ඔබතුමාලා මෙතන මහන්සිවෙලා හිටගෙන ලොකු රාජකාරියක් කරනවානෙ. ඒ නිසා මම පොඩි සංග්‍රහයක් ගෙනාවා. මේක බරගන්න..."

පැතිර ගිය දේශපාලන ආරංචි අනුව මෙම පුද්ගලයා සඳහන් කර ඇත්තේ එවැන්නකි. එසේ වෙතත් හමුදා නිලධාරීන් එම ආහාර පාන බාරගැනීම ප්‍රතික්ෂේප කොට තිබේ.

මේ අවස්ථාවේදී පිටව ගිය පුද්ගලයා නැවත වරක් ඒ අවට සැරිසරනු ආරක්ෂක නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. මෙහිදී ඇතිවුණු සැකය මත එම පුද්ගලයා අල්ලා මිරිහාන පොලීසිය වෙත භාරදීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇතැයි කියැවේ.
පසුගිය සතියේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී පිරිසක් සමගි ජන බලවේගයට එක් වූ බවට පුවතක් පළ විය. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම මෙලෙස සජබය සමඟ එක් වූ බවට මාධ්‍ය වාර්තා පළ විය. 

කෙසේ වෙතත් පසුව කරළියට ආවේ වෙනත් කතාවකි. ඉදිරි අයවැය විවාදයේදී කාලය වෙන්කර ගැනීම, විපක්ෂයේ පොදු කටයුතුවලදී සහයෝගයෙන් වැඩ කිරීම ආදී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම පිරිස වික්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ පිරිසක් හමුවූ බවය.

“විපක්ෂ කණ්ඩායමක් විදිහට වැඩ කරද්දි, සමගි ජන බලවේගයේ සහයෝගය ලබාගන්න තමා අපි ගියෙ."

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය නිවේදනයක් පවා නිකුත් කළාය. තමා සමගි ජන බලවේගයට එක්වී ඇතැයි බවට පළවන මාධ්‍ය වාර්තා ජනතාව නොමග යවන සුළු සත්‍යයෙන් තොර ඒවා බව ඇය අවධාරණය කළාය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්ත තමා විදෙස්ගත වූ බැවින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නොදන්නා බව පවසා තිබුණි. මීට අමතරව ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සජබයට එකතු වූ බවට වන පුවත් ප්‍රතික්ෂේප කොට තිබුණි. 

මෙම ගමන පිළිබඳ තොරතුරු සමගි ජන බලවේගයේ යමකු විසින්ම විකෘති කොට පළ කළ බවට සැකයක්ද පසුව නිර්මාණය වූයේ එනිසාය.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමට නායකත්වය ලබා දුන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කැපීපෙනුණු සිදුවීමකි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද නිහඬව සිටියේය. බොහෝ දුරට චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගය සමඟ එක්වනු ඇතැයි දේශපාලන කරළියේ කටකතා ද පැතිර ගියේය. 

පත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධව ද ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි පසුගිය සතියේ තොරතුරු අනාවරණය විය. ව්‍යවස්ථාදායක සභාවට නම් කරන ජනාධිපතිවරයාගේ නියෝජිතයා පිළිබඳ මෙම ගැටලුව නිර්මාණය වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නම්කොට කතානායකවරයා වෙත දන්වා යවා ඇතැයි කියැවේ. 

“ඒ නියෝජනය අපට ලැබිය යුතුයි. නිමල් සිරිපාල මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කෙනෙක්. ඒකත් ගැටලුවක් නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදියට පත්වෙන්න ඕන අපේ කෙනෙක්."
මෙම පත්වීම සම්බන්ධව විරෝධය පාමින් මෙලෙස පොහොට්ටුව කරළියට පැමිණියේය. 

ආණ්ඩුව ද  විපක්ෂය ද කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවිය. එහෙත් යම් පමාවක් මෙම මත ගැටුම නිසා ඇතිවිය. 

විපක්ෂ නායකවරයා සිය නියෝජිතයා ලෙස කබීර් හෂීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම්කොට එවා තිබුණි. අග්‍රාමාත්‍යවරයා ද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු ඔහුගේ නියෝජිතයන් පත් කිරීමට සූදානමින් සිටියේය. දේශපාලන කරළියේ බොහෝ දෙනා ද කීවේ මෙම සති අන්තයේ දී මෙම සියලු පත්කිරීම් නිමා විය යුතු බවකි.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය හමුවීමට ගිය පුවතක් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පිරිස හිටපු ජනාධිපතිවරිය හමුවූ අවස්ථාවේදී ඇය මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ කියා ඇත්තේ අපූරු කතාවකි.

“මම දේශපාලන ලෝකෙ කරගත්ත මෝඩම වැඩේ තමයි මෛත්‍රීව ජනාධිපති කරන්න උදව් කරපු එක." 

පැමිණි පිරිස සමඟ මෙලෙස පැවසූ ඇය, කවර තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් තමා ඉවත් නොවන්නේ යැයි ද පවසා ඇතැයි කියැවේ.

“ඔව් ඔව්.. මැඩම් අස්වෙන්න එපා. අපිත් ඇමැතිකම් දැරුවත් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වෙන්නෙ නෑ."

මෙම සාකච්ඡාවෙන් පසුව පසු අවස්ථාවක පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර හා දුමින්ද දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකිනෙකා මුණගැසී ඇත. එහිදී සිදුවූ සංවාදයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙමින් පවතියි.
“දුමින්ද දැන් කොහෙද ඉන්නෙ? ආණ්ඩුවට ගිය අයත් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න යන්නෙ. ඔයත් එන්න." 

ආරංචි මාර්ග අනුව දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක හට නැවත පක්ෂය කටයුතුවලට සම්බන්ධ වී සාමාන්‍ය පරිදි වැඩ කරන ලෙස පවසා තිබේ.

“මොනවද චන්ද්‍රිකාත් එක්ක ගිහිල්ලා කතා කළේ" මෙලෙස විමසා තිබුණේ දයාසිරි ජයසේකරය. 

"මොනවත් නෑ. මේ නිකම් ගිහිල්ලා හම්බවුණා."

දුමින්ද එවන් පිළිතුරක් ලබා දෙන විට සමච්චලයට මෙන් දයාසිරි "මුකුත් කතා කළේ නැත්නම් මොකටද ගිහිල්ලා හම්බවුණේ." යනුවෙන් පවසා ඇතැයි දේශපාලන කරළියේ කතා අතර අසන්නට ලැබේ.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක ඉදිරි කැබිනට් පත් කිරීම්වලදී තමන්ට අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ලැබේ. එහෙයින් ඔහු මේ දිනවල ආණ්ඩුව සමඟ සමීපව වැඩ කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා දාහතේම සභාපති ධුර සියල්ලම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටීමෙන් ඇතිවූ ගැටලුව ද පසුගිය සතියේ විසඳුනි. පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ කතාබහ ඇතිවිය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශයක් කළේය.

“පසුගිය ආණ්ඩු කාලෙත් අපිට දුන්නෙ කිහිපයයි. හතරක් විතර. දැන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ අපිට. පාර්ලිමේන්තු සංයුතිය අනුව තමයි මේවා බෙදෙන්න ඕනෑ. අපි දහයයි හතයි විදිහට බෙදාගමු." 

දහයයි හතයි ලෙස සභාපති ධුර බෙදාගැනීමට විපක්ෂයේ එතරම් කැමැත්තක් නොවීය. ආණ්ඩුව අඩියක් පසුපසට ගෙන ආංශික කාරක සභා සභාපති ධුර නමයයි අටයි ලෙස බෙදාගැනීමට අවසානයේ එකඟ විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුලදී මේ සම්බන්ධව දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ ජ්‍යෙෂ්ඨයන්ගේ කරුණු පැහැදිලි කිරීම් මත ඔහු පසුව නම්‍යශීලී වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවී ගිය සතිය ජනතා විමුක්ති පෙරමුණට තරමක් සුවිශේෂී සතියක් වූයේ ඉල් මහ සැමරුම යෙදී තිබුණු නිසාවෙනි. එම උත්සවයේදී ගෝල්ෆේස් අරගලය වැනි බාග ජයග්‍රහණ ගෙනෙන සටන් මේ රටට තවදුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තරයේ අවධාරණය කළේය.

“අද සැබෑ ජනතාවාදී කඳවුරට එරෙහිව ඩුප්ලිකේට් කඳවුරු හදන කුමන්ත්‍රණයක් තිබෙනවා. ජනතාව සංවිධානය නොවෙන, අරමුණක් නැති, ඉලක්කයක් නැති ඕනෑම සටනක් අමිහිරි අත්දැකීම්වලින් කෙළවර වෙනවා. ඒක තමයි වුණේ පසුගිය ගෝල්ෆේස් සටනට. ඉලක්කය පැහැදිලි නෑ. බාග ජයග්‍රහණ. මේ රටට තවදුරටත් අවශ්‍ය බාග ජයග්‍රහණ නෙවෙයි."

මේ අතර පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවෙස වන වෙස්ට්මිනිස්ටර් මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා සමාජ අර්බුදය, දේශපාලන තත්ත්වය සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ජාතික ජන බලවේගය නිවේදනය කළේය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද සහභාගි වූ බව කියැවුණි.

පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද යම් කැළඹීමක් ඇතිව තිබුණි. උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ජනතා විමුක්ති පෙරමුණේ පවතින අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිදු කළ වීඩියෝවක් ඊට හේතුව විය. 

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය පසුගිය සිකුරාදාට යෙදී තිබුණි. සුපුරුදු පරිදි කල් ඇතිවම මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි අභයාරාම අධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් වසර ගණනාවක සිට පවත්වන කිරි අම්මාවරුන්ගේ දානයට ආරාධනා කළහ.

මේ අතර බ්‍රහස්පතින්දා හමු වූ චීන තානාපති ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ජන්ම දිනය වෙනුවෙන් තිළිණ සහ මල් කළඹක් රැගෙනවිත් තිබුණි. සිකුරාදා හිටපු ජනාධිපතිවරයා වෙත දස අතින් සුබ පැතුම් ගලා ආවේය. සමාජ මාධ්‍යයේ ද ඔහු ගැන විවිධාකාර වූ සටහන් පළවුණි. මහින්ද රාජපක්ෂ මහතා සිකුරාදා සැමරුවේ ඔහුගේ හැත්තෑ හත්වැනි ජන්ම දිනයයි. එදින පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් එක්ව සංවිධානය කළ විශාල දානමය පුණ්‍යකර්මයක් තංගල්ලේ දී පැවතුණි. දහස් නමක් විෂය දානමය පින්කමක් ලෙස එය සංවිධානය විය.

මෙදින ඉන්ධන ගැටලු හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එක්වී බස් රියක් රැගෙන තංගල්ල කාල්ටන් නිවෙස බලා ගමන් කළ පුවතක් ද දැනගැනීමට ලැබුණි.

දේශපාලන කරළියේ නිරන්තර අවධානයට ලක්වන නීතිඥ සංගමය පිළිබඳව ද  පසුගිය සතියේ අප වෙත ආරංචි ගලා ආවේය. එය නීතිඥ සංගමයේ නිලවරණයට සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයන් පිළිබඳ කතාවකි.

නීති ක්ෂේත්‍රයේ ආරංචි අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සභාපති තරගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියේය. ‍

ඔහු සමඟ තරගයට පැමිණ සිටියේ ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාය. කෙසේ වෙතත් අවසන් මොහොතේදී සරත් ජයමාන්න මහතා මෙම තරගයෙන් ඉවත් වන බවට ආරංචියක් පැතිර ගියේය. 

මේ සම්බන්ධව දේශපාලන කරළියේ මෙන්ම නීති ක්ෂේත්‍රය තුළ ද පැතිර ගිය ආරංචි අනුව කියැවුණේ  ජයමාන්න මහතාට දේශපාලන බලපෑමක් එල්ල වී ඇති බවයි. එක්තරා රැඩිකල් දේශපාලන පක්ෂයක් විසින් එම බලපෑම සිදු කර ඇති බවද කියැවේ. එසේම තවත් පිරිසකට අනුව යම් ආගමික කණ්ඩායමක බලපෑමක් ද ඔහුගේ ඉල්ලා අස්වීමේ සූදානමට හේතු වී තිබේ.

සරත් ජයමාන්න මහතා මෙම තරගයෙන් ඉවත් වුවහොත් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සභාපති තරගයට එක්වනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් සිදුවෙමින් පවතින මෙම සිදුවීම්, තරමක් ආන්දෝලනාත්මක සිදුවීම් බව නීතිඥ සංගමයට සම්බන්ධ ඇතැම් නීතිඥවරු සඳහන් කරති.

I චමිඳු නිසල් ද සිල්වා